මානව හිමිකම් කවුන්සිලයේ 44 වැනි සැසියන්‍යාය පත්‍රය 3: සාමකාමී රැස්වීමේ නිදහස සහ ඇසුරු කිරීමේ අයිතිවාසිකම් පිළිබඳව විශේෂ වාර්තාකරු සමඟ අන්තර් ක්‍රියාකාරී සංවාදය2020 ජූලි 09

මානව හිමිකම් කවුන්සිලයේ 44 වැනි සැසියන්‍යාය පත්‍රය 3: සාමකාමී රැස්වීමේ නිදහස සහ ඇසුරු කිරීමේ අයිතිවාසිකම් පිළිබඳව විශේෂ වාර්තාකරු සමඟ අන්තර් ක්‍රියාකාරී සංවාදය2020 ජූලි 09

Pic
මානව හිමිකම් කවුන්සිලයේ 44 වැනි සැසිය
න්‍යාය පත්‍රය 3: සාමකාමී රැස්වීමේ නිදහස සහ ඇසුරු කිරීමේ අයිතිවාසිකම් පිළිබඳව විශේෂ වාර්තාකරු සමඟ අන්තර් ක්‍රියාකාරී සංවාදය
2020 ජූලි 09
ශ්‍රී ලංකාවේ ප්‍රකාශය

උප සභාපතිතුමනි,

2019 ජූලි 18 සිට 26 දක්වා ශ්‍රී ලංකාවේ සංචාරය කිරීම පිළිබඳ වාර්තාව (A/HRC/44/50/Add.1) සම්බන්ධයෙන්, සාමකාමී රැස්වීමේ නිදහස සහ ඇසුරු කිරීමේ අයිතිවාසිකම් පිළිබඳ විශේෂ වාර්තාකරු ක්ලෙමන්ට් න්‍යාලෙට්සසි වූල් මහතාට ශ්‍රී ලංකාව සිය ස්තූතිය පළ කරයි. විශේෂ වාර්තාකරුගේ සංස්කරණය නොකළ ඉදිරි වාර්තාවේ අන්තර්ගතය පිළිබඳව ශ්‍රී ලංකා රජය සිය අදහස් හුවමාරු කර ගත් අතර, ඒවායින් සමහරක් අද ඉදිරිපත් කොට ඇති අවසාන සංස්කරණයට ඇතුළත් කර ඇත. මෙම අන්තර්ක්‍රියාකාරී සංවාදයේදී, එම වාර්තාවේ අඩංගු කරුණු පිළිබඳව තවත් අදහස් කිහිපයක් බෙදා ගැනීමට ද සමහර කරුණු සම්බන්ධයෙන් යාවත්කාලීන කිරීම් සැපයීමට ද  අපි අපේක්ෂා කරන්නෙමු.

උප සභාපතිතුමනි,

විශේෂ වාර්තාකරු විසින් සිය වාර්තාවෙන් පිළිගෙන ඇති පරිදි, ශ්‍රී ලංකා රජය විශේෂ වාර්තාකරු සමඟ ඵලදායීව හා අර්ථවත් ලෙස සම්බන්ධ වීමට ඇති කැපවීම පෙන්නුම් කරමින්, “විශේෂයෙන් එවකට පැවති විශාල දුෂ්කරතා සැලකිල්ලට ගනිමින්, මෙම සංචාරයට පෙර, සංචාරය අතරතුර දී හා ඉන් පසුව” විශේෂ වාර්තාකරුට පූර්ණ සහයෝගීතාවය හා සහයෝගය ලබා දුන්නේය.

මෙම වාර්තාවේ සඳහන්, ශ්‍රී ලංකාවේ “පශ්චාත්-ගැටුම් හා බහු-වාර්ගික සමාජයක් ලෙස විශේෂිත තත්ත්වයන්” ලෙස පිළිගැනීම සහ පාස්කු ඉරුදින එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරවලට ගොදුරු වූවන්ට විශේෂ වාර්තාකරුගේ ශෝකය පළකිරීම අපි සැලකිල්ලට ගන්නෙමු.

ත්‍රස්තවාදයේ නව ප්‍රකාශනයක් හා සම්බන්ධ අභියෝග සමඟ රට පොරබදමින් සිටිය දී පවා, විශේෂ වාර්තාකරුගේ සංචාරය සඳහා පහසුකම් සැලසීම, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් යාන්ත්‍රණ සමඟ ඵලදායී ලෙස අඛණ්ඩ කටයුතු කිරීමට ශ්‍රී ලංකාව දක්වන කැපවීම පෙන්නුම් කරයි. විශේෂ වාර්තාකරුගේ මෙම සංචාරය පසුගිය වසර 5 තුළ දී ශ්‍රී ලංකාව සඳහා විවිධ තේමාත්මක වරම් පිළිබඳ විශේෂ ක්‍රියා පටිපාටි බලධාරීන් විසින් රටවල්වල සිදු කරන ලද සංචාර 9 අතරට ඇතුළත් වූ අතර, මෙම සහයෝගී සංවාදයට ධෛර්ය දීම සඳහා අපි කැපවී සිටිමු.

උප සභාපතිතුමනි,

ප්‍රජාතන්ත්‍රවාදය පූර්ණ ලෙස සාක්ෂාත් කර ගැනීම සඳහා සාමකාමී රැස්වීම සහ ඇසුරුකිරීම සඳහා ඇති අයිතිවාසිකම් අත්‍යවශ්‍ය වන බවට ශ්‍රී ලංකාව විශේෂ වාර්තාකරු සමඟ එකඟ වෙයි. මෙම අයිතිවාසිකම් සඳහා දිගු කලක් තිස්සේ සහතික කර ඇති වැදගත්කම ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මඟින් සනාථ වේ. ශ්‍රී ලංකාවේ වෘත්තීය සමිති ව්‍යාපාරය 1900 ගණන්වල මුල් භාගය දක්වා දිවෙන අතර, රැස්වීම සහ ඇසුරුකිරීම සඳහා වූ කම්කරුවන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට පමණක් නොව, 1930 හා 1940 ගණන්වල දී යටත් විජිත පාලකයින් විසින් පනවන ලද සීමාවන් මධ්‍යයේ, ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වූ අරගලයේ ද ප්‍රමුඛ පෙළේ නියමුවෙකු විය.

අද වන විට, මෙම අයිතිවාසිකම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14 වැනි වගන්තිය යටතේ සහතික කර ඇති අතර, ඒවා සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය (ICCPR) විසින් පිළිගෙන ඇති සීමාවන්ට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 15 වන වගන්තිය යටතේ දක්වා ඇති සුවිශේෂී හේතුවලට පමණක් යටත් වේ. 14 වැනි වගන්තිය පිළිබඳව ශ්‍රී ලංකා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ගනු ලැබූ තීන්දුවල සාරවත් අධිකරණ විනිශ්චය මගින් පෙන්නුම් කරන්නේ සාමකාමී රැස්වීමේ නිදහස සහ ඇසුරු කිරීමේ අයිතිය යුක්ති සහගත මූලික අයිතිවාසිකමක් ලෙස ශ්‍රී ලංකා අධිකරණය නිරන්තරයෙන් තහවුරු කර ඇති ආකාරයයි. මෙරට තුළ යමෙකු විසින් නිරීක්ෂණය කරනු ලබන විරෝධතා, උද්ඝෝෂණ සහ විවිධ කණ්ඩායම් එක්රැස් කිරීම හා ඇසුරු කිරීම, ශ්‍රී ලංකාවේ විචිත්‍රවත් ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාදාමය තුළ මෙම අයිතිවාසිකම් ජනතාව විසින් භුක්ති විඳින ආකාරය පෙන්නුම් කරයි.

මෙම ව්‍යවස්ථාමය අයිතිවාසිකම්, ශ්‍රී ලංකාවේ සමාජය පුරා මානව හිමිකම් ක්‍රියාකාරීන්, වෙනත් සිවිල් සමාජ ක්‍රියාකාරීන්, විශ්වවිද්‍යාල සිසුන් මෙන්ම වෘත්තීය සමිති ද විසින් භාවිත කර තිබේ. සේවා යෝජකයින් විසින් අසාධාරණ ශ්‍රම පිළිවෙත් අනුගමනය කිරීම තහනම් කිරීම සඳහා සපයන ලද, 1999 අංක 56 දරණ කාර්මික ආරවුල් (සංශෝධින) පනත මඟින් කිසිදු සේවා යෝජකයෙකු විසින් පහත සඳහන් දේ සිදුනොකළ යුතු බවට නියම කොට ඇති බව සඳහන් කළ හැකිය:

(අ)   යම් සේවකයකු, තම සේවා නියුක්තියේ කොන්දේසියක් ලෙස, ඕනෑම වෘත්තීය සමිතියකට බැඳීමට හෝ ඉන් වැළකී සිටීමට ඉල්ලා සිටීම හෝ, ඔහු බැඳී සිටින වෘත්තීය සමිතියක සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වීමෙන් වැළකී සිටින ලෙස ඉල්ලා සිටීම;

(ආ) යම් වෘත්තීය සමිතියක සාමාජිකත්වය දැරීම නිසා හෝ වෘත්තීය සමිති කටයුතුවල නිරත වීම නිසා පමණක් යම් සේවකයකු සේවයෙන් පහ කිරීම;

(ඇ) යම් සේවකයෙකු වෘත්තීය සමිතියක සාමාජිකයෙකු, තනතුරක් දරන්නෙකු හෝ නියෝජිතයෙකු වීම හෝ දිගටම එසේ පැවතීම වැළැක්වීම සඳහා කිසියම් පෙළඹවීමක් හෝ පොරොන්දුවක් ලබා දීම;

(ඈ)      යම් සේවකයෙකු විසින්

                (i) වෘත්තීය සමිතියක් පිහිටුවීම; හෝ

                (ii) මූල්‍යමය හෝ වෙනත් ආකාරයකින් වෘත්තීය සමිතියකට සහාය වීම;

                වැළැක්වීම;

(ඉ)       වෘත්තීය සමිතියක කටයුතු සිදුකෙරෙන ආකාරයට බාධා කිරීම;

(ඊ)        වෘත්තීය සමිතියක සේවකයකු හෝ තනතුරක් දරන්නෙකුට එරෙහිව,

            (i) විනිශ්චයකරුවෙකු හෝ බලධාරියෙකු ඉදිරියේ එවැනි සේවකයෙකු හෝ තනතුරක් දරන්නෙකු විසින් යහපත් විශ්වාසයකින් කළ ප්‍රකාශයක් සඳහා; හෝ

          (ii) එවැනි සාමාජිකයින්ගේ සේවා කොන්දේසි විසඳීම හෝ සහනයක් ලබා ගැනීම සඳහා කාර්මික ආරවුලක් ඇති කර ගැනීම පිණිස, සේවා නියුක්ති නියමයන් හා කොන්දේසිවලට අදාළව සේවායෝජකයාගේ ක්‍රියා හෝ   අතපසු කිරීම් පිළිබඳව එම සේවකයා හෝ තනතුරු දරන්නා විසින්  කරන ලද කිසියම් ප්‍රකාශයක් සඳහා

                සේවයෙන් ඉවත් කිරීම හෝ විනය ක්‍රියාමාර්ග ගැනීම;

(උ)       සේවකයන් වෙනුවෙන් කේවල් කිරීමට අපේක්ෂා කරන, සේවකයන්ගෙන් සියයට හතළිහකට නොඅඩු සාමාජිකත්වයක් ඇති එවැනි වෘත්තීය සමිතියක් සමඟ කේවල් කිරීම ප්‍රතික්ෂේප කිරීම. මෙම ඡේදයේ අරමුණ සඳහා, සේවායෝජකයා සමඟ කේවල් කිරීමට අපේක්ෂා කරන සේවකයන්ගෙන් අවම වශයෙන් සියයට හතළිහක්වත් එවැනි වෘත්තීය සමිතියක සාමාජිකයන්දැයි නිශ්චය කර ගැනීම සඳහා, කම්කරු කොමසාරිස්වරයාට හෝ ඒ වෙනුවෙන් ඔහු විසින් බලය පවරන ලද නිලධාරියෙකුට ඕනෑම සේවා ස්ථානයක දී ඡන්ද විමසීමක් පැවැත්විය හැකිය.

අන්තර්ජාතික මට්ටමේ දී, එක්සත් ජාතීන්ගේ මූලික මානව හිමිකම් ගිවිසුම් මෙන්ම ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ ද මූලික සම්මුතීන්, විශේෂයෙන් ම, ඇසුරු කිරීමේ නිදහස සහ සංවිධානය කිරීමේ අයිතිය ආරක්ෂා කිරීම පිළිබඳ අංක 87 සම්මුතිය සහ සංවිධානය කිරීමේ අයිතිය සහ සාමූහික කේවල් කිරීම පිළිබඳ අංක 98 සම්මුතිය ඇතුළුව සම්මුතීන්  බොහොමයක් ශ්‍රී ලංකාව විසින් අනුමත කොට ඇත.

උප සභාපතිතුමනි,

ප්‍රජාතන්ත්‍රවාදී, නීති රීති පදනම් කරගත් සමාජ සඳහා ඇති ප්‍රධාන අභියෝගයක් වන්නේ තරඟකාරී මානව හිමිකම් අතර සාධාරණ සමතුලිතතාවයක් ඇති කිරීමට ඇති හැකියාවයි. එමනිසා, සාමකාමී එක්රැස්වීමකට හා ඇසුරු කිරීමට ඇති අයිතිවාසිකම් ඉතා වැදගත් වනවා සේම, ඔවුන් වෙනත් පුද්ගලයින්ගේ හෝ කණ්ඩායම්වල අයිතිවාසිකම් උල්ලංඝනය නොවන අයුරින් වගකීමෙන් යුතුව කටයුතු කිරීමද වැදගත් වේ. අපගේ මතය අනුව මෙම මූලික සලකාබැලීම,  සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතියේ 21 සහ 22 වන වගන්තිවල දක්වා ඇති “ජාතික ආරක්ෂාව හෝ මහජන ආරක්ෂාව, මහජන සාමය, මහජන සෞඛ්‍යය හෝ සදාචාරය ආරක්ෂා කිරීම නැතහොත් අන් අයගේ අයිතිවාසිකම් සහ නිදහස ආරක්ෂා කිරීම” පිළිබඳ රැස්වීමේ/ඇසුරු කිරීමේ සීමාවන් ශක්තිමත් කරයි. ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ, විශේෂයෙන් ම සංවර්ධනය වෙමින් පවතින බහු වාර්ගික හා බහු-ආගමික රටක් ලෙස ‘වාර්ගික හෝ ආගමික සමගිය’ සහ ‘ජාතික ආර්ථිකය’ ඇතුළුව, මෙම අයිතිවාසිකම් සීමා කිරීම සඳහා පදනම සපයන්නේ ද මෙම සලකා බැලීමම ය.

සාමකාමීව එක්රැස්වීමේ හා ඇසුරු කිරීමේ අයිතිවාසිකම් පිළිබඳ මෙම සීමාවන් නීත්‍යානුකූලභාවය, අවශ්‍යතාවය සහ සමානුපාතිකභාවය යන මූලධර්මයන්ට අනුකූලව ක්‍රියාත්මක වන බව සහතික කිරීමට ශ්‍රී ලංකා රජය උත්සාහ දරා තිබේ.

- පාස්කු ඉරුදින එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් අනතුරුව ප්‍රකාශයට පත් කරන ලද හදිසි රෙගුලාසි, ඒවා දීර්ඝ කිරීම සඳහා අවශ්‍ය වූ තත්ත්වයන් අහෝසි වූ වහාම, අදාළ නීතියට අනුකූලව ඉවත් කරන ලදී. විශේෂ වාර්තාකරු විසින් “ත්‍රස්තවාදී ප්‍රහාරවලින් ජාතිය ආරක්ෂා කිරීමේ නීත්‍යානුකූල අවශ්‍යතාවය” හඳුනාගෙන ඇති බව අපි පිළිගනිමු. මෙම රෙගුලාසි යටතේ අත්අඩංගුවට ගත් පුද්ගලයින් පිළිබඳව කඩිනමින් විමර්ශනය කර, ඔවුන් නිදහස් කිරීම හෝ සුදුසු නීතිමය ක්‍රියාදාමයන් වෙත යොමුකිරීම හෝ සිදුකරන ලද බව යාවත්කාලීන කිරීමට කැමැත්තෙමු.

- රාජ්‍ය නොවන සංවිධාන (NGOs) ලියාපදිංචි කිරීම සම්බන්ධයෙන්, එකී ලියාපදිංචි කිරීමට අදාළ අවශ්‍යතා, නීත්‍යානුකූල ජාතික ආරක්ෂක අවශ්‍යතා සමඟ, ඇසුරු කිරීමේ නිදහස ආරක්ෂා කිරීම සඳහා රජය දක්වන කැපවීම, සමතුලිත කිරීම අරමුණු කර ගෙන ඇති බව අපි සටහන් කරමු. පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් අනතුරුව සිදු කරන ලද පරීක්ෂණවල දී, ත්‍රස්තවාදීන් ඔවුන්ගේ ක්‍රියාකාරකම්/සංවිධාන සඳහා මුදල් මාරු කිරීම පිණිස විධිමත් නොවන ක්‍රියාවලියක් අනිසි ලෙස භාවිතා කිරීමේ හැකියාව පෙන්නුම් කර ඇති බව සැලකිය යුතු කරුණකි.

- සමහර රාජ්‍ය සේවාවන් අත්‍යවශ්‍ය යැයි ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන්, සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය විසින් ද විධිවිධාන සලසා ඇති පරිදි, ඇතැම් වෘත්තීය සමිති ක්‍රියාමාර්ග මගින් මහජනතාවගේ අයිතිවාසිකම්වලට ආසන්න තර්ජනයක් එල්ල වූ අවස්ථාවල දී පමණක්, මෙම නීතිමය විධිවිධාන රජය විසින් භාවිතා කර ඇති බව සැලකිල්ලට ගත යුතුය. මෙම නීතිය මෑත අතීතයේ දී දෙවරක් පමණක් භාවිතා කර ඇත්තේ, ප්‍රවාහන සේවා සේවකයින්ගේ අඛණ්ඩ වැඩවර්ජන ජනගහනයෙන් විශාල කොටසක මූලික මානව අයිතිවාසිකම්වලට තර්ජනයක් වන විට දී බව අපි ඉස්මතු කිරීමට කැමැත්තෙමු.

- විශේෂ වාර්තාකරුගේ වාර්තාවේ සඳහන් කර ඇති දැනුම් දීමේ අවශ්‍යතාව අදාළ වන්නේ, විශේෂයෙන් ම කාර්යබහුල කාල වේලාවන්හි දී පොදු මාර්ගවලට අවහිරවීම හා  එහි ප්‍රතිඵලයක් ලෙස මහජන ජීවිතය කඩාකප්පල් වීම කළමනාකරණය කිරීමේ අරමුණෙන් යුතු, පෙළපාලි සඳහා පමණි. මේ වසරේ පෙබරවාරියේ සිට, සෙසු ජනතාවගේ එදිනෙදා ජීවිතයට සිදුවන බාධා අවම වන පරිදි සිය විරෝධතා හෝ එක්රැස්වීම් සිදු කිරීම සඳහා, රජය විසින් අගනුවර මධ්‍යයේ ඒ සඳහාම වෙන්කරන ලද ඉඩක් ලබා දී ඇත.

- විශේෂ වාර්තාකරු විසින් සිය වාර්තාවේ සඳහන් කර ඇති පරිදි, නීතිවිරෝධී එක්රැස්වීම් විසුරුවා හැරීමට ගන්නා පියවර නීත්‍යානුකූල, සමානුපාතික හා හුදෙක් නීතිය හා සාමය පවත්වාගෙන යාම සහ සමාජය ආරක්ෂා කිරීම සඳහා විය යුතු බවට 2016 දී පොලිස් දෙපාර්තමේන්තුව විසින් පොලිස් බලකායට පැහැදිලි නියෝග නිකුත් කර තිබේ. බලය භාවිතා කිරීමට අවසර දී ඇත්තේ, ජනතාවගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය නොවන අයුරින්, නියමිත නීති හා මාර්ගෝපදේශයන්ට දැඩි ලෙස අනුකූලව, ක්‍රියාත්මක කළ හැකි අවසාන අවස්ථාව ලෙස පමණි. පොලීසියේ සාමාජිකයින්ට ඔවුන්ගේ මානව හිමිකම් පුහුණු වැඩසටහන්වල කොටසක් ලෙස මේ පිළිබඳව විධිමත් පුහුණුවක් ලැබේ. මෙම නියෝග සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කිරීම සහතික කිරීම සඳහා රජය කටයුතු කරනු ඇති අතර, නීතියේ නියමිත ක්‍රියාදාමය අනුව, වැරදි සම්බන්ධයෙන් නිලධාරීන් වගකිව යුතු බවට සහතික වේ.

- සෝදිසි කිරීම් සහ බිය ගැන්වීම් පිළිබඳ වාර්තා සම්බන්ධයෙන්, නීතිය ක්‍රියාත්මක කරන බලධාරීන්ට හෝ ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කොමිසම හෝ ජාතික පොලිස් කොමිසම වැනි ස්වාධීන ජාතික ආයතන වෙත විධිමත් පැමිණිලි කිරීමට අදාළ පාර්ශවයන්ට අපගේ ආරාධනය නැවත අවධාරණය කරන අතර, ඒ අනුව චෝදනාවට ලක්වූ සිදුවීම් විමර්ශනය කිරීමට පියවර ගත හැකිය. සිවිල් සමාජ අවකාශය ආරක්ෂා කිරීම හා ප්‍රවර්ධනය කිරීම සහ බිය ගැන්වීම් සම්බන්ධයෙන් ලැබෙන පැමිණිලි විමර්ශනය කර නඩු පැවරීම සහතික කිරීම සඳහා රජය කැපවී සිටී.

විශේෂයෙන් ම විනාශකාරී පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයෙන් අනතුරුව, ජාතික ආරක්ෂාව සඳහා සාමාන්‍ය ආරක්ෂක ජාල ක්‍රියාත්මක කිරීම හැරුණු විට, ආරක්ෂක හමුදා සහ බුද්ධි අංශ විසින් රටේ කිසිදු නිශ්චිත පිරිසක් අධීක්ෂණය කිරීමේ නිරත නොවන බව ද යළිත් අවධාරණය කෙරේ. ලොව පුරා සිටින රැඩිකල් හා අන්තවාදී කොටස්වල උපායමාර්ගවල නවීනත්වය මධ්‍යයේ ඕනෑම රටක් සඳහා එහි ජාතික ආරක්ෂක අවශ්‍යතා පාවාදීම හේතුවෙන්  කණගාටුදායක ප්‍රතිවිපාකවලට මුහුණ දීමට සිදුවන බව අපි විශ්වාස කරමු. එබැවින් ආරක්ෂක අංශයේ ප්‍රතිසංස්කරණවලට අදාළ නිර්දේශ ඉදිරිපත් කිරීමේ දී, එම යථාර්ථය පිළිබඳව සැලකිලිමත් වන ලෙස රජය විශේෂ වාර්තාකරුගෙන් ඉල්ලා සිටී.

Print Friendly, PDF & Email
Please follow and like us:

Close