ශ්‍රී ලංකාවේ තේ කර්මාන්තය ව්‍යාප්ත කිරීම සඳහා ලාභදායි චීන වෙළඳපොළ තුළ පවතින අවස්ථා

ශ්‍රී ලංකාවේ තේ කර්මාන්තය ව්‍යාප්ත කිරීම සඳහා ලාභදායි චීන වෙළඳපොළ තුළ පවතින අවස්ථා

තානාපති ආචාර්ය පාලිත කොහොන මැතිතුමා හුබෙයි පළාතේ හෙෆෙන්ග් ප්‍රදේශයේ පැවති ‘තීරය සහ මාර්ගය ජාත්‍යන්තර තේ වෙළඳ සංසදයේ’ ආරාධිත කථිකයෙකු ලෙස සහභාගී විය. හෙක්ටයාර 700,000කට අධික ප්‍රමාණයකට  විහිද යන නිකැළැල් තේ වතු හුබෙයි පළාත සතු ය.

තේ පිළිබඳ විශේෂඥයින් (බොහෝ විද්වතුන් ඇතුළුව), රජයේ සහ විවිධ පක්ෂවල ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, තේ වෙළෙන්දන් සහ රාජ්‍යතාන්ත්‍රික නිලධාරීන් සහභාගී වූ මෙම රැස්වීමට  ආරාධිත කථිකයෙකු ලෙස සහභාගී වූ තානාපති කොහොන මැතිතුමා, තේ කර්මාන්තය හරහා අඛණ්ඩව ශ්‍රී ලංකාවට හිමි වන වැදගත්කම පිළිබඳව  අවධාරණය කළේ ය. ශ්‍රී ලංකාවේ ශ්‍රම බලකායෙන් 10% කට වැඩි පිරිසකට සෘජුව හෝ වක්‍රව රැකියා නිර්මාණය කර ඇති මෙම ප්‍රධාන කෘෂිකාර්මික නිෂ්පාදනය, විදේශ විනිමය උපයන ප්‍රමුඛයකු බවට පත්ව ඇත. රජයේ ආදායම ඉහළ නැංවීමට සුවිශේෂී දායකත්වයක් ලබා දෙන තේ කර්මාන්තය, ශ්‍රී ලංකාවේ නිදහස් අධ්‍යාපනය සහ නිදහස් සෞඛ්‍ය සේවා පද්ධතිවලට අරමුදල් සැපයීම සම්බන්ධයෙන් වක්‍ර සහය ලබා දෙයි. තවද, මෙම කර්මාන්තය ප්‍රධාන වශයෙන් රඳා පවතින්නේ තේ දළු නෙළන කාන්තා ශ්‍රම බලකාය මත ය.

චීනයේ තේ කර්මාන්තය ආශ්‍රිතව සිදු වූ නව්‍යකරණය එහි ග්‍රාමීය පුනර්ජීවන වැඩසටහනේ සාර්ථකත්වයට බෙහෙවින් දායක විය. ඒ හා සමානව, සංණ්‍යාංකණය ඇතුළුව ශ්‍රී ලංකාවේ තේ කර්මාන්තය තුළ සිදු වන කඩිනම් නව්‍යකරණය හරහා, ශ්‍රම බලකායේ සහ විශේෂයෙන්ම මෙම කර්මාන්තයේ නියුතු දහස් සංඛ්‍යාත කාන්තාවන්ගේ ජීවිත සැබෑ වෙනසකට ලක් කළ හැකි ය. වඩාත් හොඳ රැකියා අවස්ථාවන් සොයා නගරවලට සංක්‍රමණය වීමේ නැඹුරුවක් දක්වන තරුණ ප්‍රජාව  ඔවුන්ගේ ප්‍රදේශ තුළම රඳවා ගැනීමට ද එය උපකාරී වනු ඇත.

චීනය තේ සඳහා දක්වන දැඩි ඇල්ම හේතුවෙන් ශ්‍රී ලංකාවේ උසස් තත්ත්වයේ තේ සඳහා චීනයේ ලාභදායි සහ පුළුල් වන වෙළඳපොළ තුළ අවස්ථා නිර්මාණය කරගත හැකි ය.  එනමුදු චීනයේ ප්‍රමිතීන් සහ විශේෂ අවශ්‍යතා නිරීක්ෂණය කළ යුතු ය. නිදසුනක් ලෙස, චීනය තුළ කාබනික තේ මිල අධික වුවද, විශේෂයෙන්ම සෞඛ්‍ය පිළිබඳව සැලකිලිමත් වන වැඩිහිටි පාරිභෝගිකයින් අතර එය ශීඝ්‍රයෙන් ජනප්‍රිය වූ නමුදු ඒ හරහා වෙනත් අවශ්‍යතා සපුරාලීමට ද චීනයට සිදු විය.

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය

බීජිං

2023 මැයි 17 වැනි දින

 

Print Friendly, PDF & Email
Please follow and like us:

Close