පරිසර සංරක්ෂණය ශ්‍රී ලංකාවේ ජාතික සංවර්ධන ක්‍රියාවලියේ තිරසාර අංගයක්

පරිසර සංරක්ෂණය ශ්‍රී ලංකාවේ ජාතික සංවර්ධන ක්‍රියාවලියේ තිරසාර අංගයක්

 D0k8QqGX0AEbIU8

 

පරිසරය සංරක්ෂණය කිරීම සහ පෝෂණය කිරීම සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම දීර්ඝ ඉතිහාසයක් කරා දිව යන අතර, පරිසරය ජාතික සංවර්ධනයේ  තිරසාර අංගයක් බවට පත් කිරීම සඳහා වූ ප්‍රතිපත්ති සහ වැඩසටහන් ගණනාවක් ශ්‍රී ලංකා රජය විසින් දියත් කර ඇති බව, ජිනීවා නුවර පැවති 2019 ලෝක වනජීවි සැමරුම අමතමින් ජිනීවා හි ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත ඒ්‍.එල්.ඒ.  අසීස් මහතා පැවසීය.

'ලෝකය සහ එහි ජනතාව වෙනුවෙන් දිය යට ජීවය සංරක්ෂණය' යන තේමාව යටතේ පැවැත් වූ මෙම වසරේ වනජීවි දින සැමරුමේ දී අදහස් දක්වමින් තානාපතිවරයා කියා සිටියේ, තර්ජනයට ලක් වී ඇති වන සතුන් හා ශාක විශේෂ වල අන්තර්ජාතික වෙළඳාම පිළිබඳ සම්මුතියේ (CITES) පාර්ශ්ව කරුවන්ගේ 18 වන සමුළුව මෙම වසරේ මැයි 23 සිට ජුනි 3 දක්වා කොළඹ දී පැවැත්වීමට ලැබීම ආඩම්බරයක් සහ ගෞරවයක් ලෙස ශ්‍රී ලංකාව සලකන බවයි.

"කොළඹ දී පවත්වන්නට නියමිත සමුළුව සඳහා, මේ දක්වා පැවැත්වුණු සියලු සමුළු අභිබවමින්, වාර්තාගත කාර්ය පත්‍රිකා සහ සත්ව/ශාක විශේෂ ලැයිස්තු ගත කිරීමේ යෝජනා ප්‍රමාණයක් ලැබීම පිළිබඳව අප ඉතා සතුටු වෙනවා. සිත් ගන්නා සුළු කරුණ වන්නේ මෙවර සමුළුවට ඉදිරිපත් කර ඇති යෝජනා අතරින් පාර්ශ්ව රටවලින් වඩාත් ම වැඩි සහයෝගයක් ලැබී ඇත්තේ මාකෝ මෝරුන් සහ බාලෝලි විශේෂ ඇතුළු මත්ස්‍ය විශේෂ වලට අදාළ යෝජනා වලට වීමයි. මෙම යෝජනා ත්‍රිත්වයට සම අනුග්‍රහය ලබා දෙමින්, මෙවර සමුළුව කාබන් සංවේදී ක්‍රමවේදයකට අනුව පැවැත්වීම සඳහා ක්‍රියා කිරීමට හැකි වීම පිළිබඳව ශ්‍රී ලංකාව සතුටු වෙනවා."

දිය යට මෙන්ම ගොඩ බිම ජෛව විවිධත්වයෙන් ද ආඪ්‍ය වූ රටක්, සහ සාගරය, ගංගා, වැව් අමුණු සමග ජීවිතය ගත කරන ජනතාවක් වශයෙන්, ජලජ පරිසර පද්ධති වෙත එල්ල වී ඇති අභියෝග, පෘතුවියේ සහ එහි ජනතාවගේ අභියෝගයන් ලෙස සැලකිය යුතු බව ශ්‍රී ලංකාව තරයේම විශ්වාස කරන බවත් තානාපතිවරයා සඳහන් කළේය.

"ජාත්‍යන්තර වශයෙන් ගත් විට ජලජ පරිසර පද්ධතීන් සංරක්ෂණය කිරීම සඳහා ශ්‍රී ලංකාව අන්තර්ජාතික සම්මුති ගණනාවක් යටතේ කැපවී සිටිනවා. මීට අමතරව, 'ලෝක පිවිතුරු සාගර ව්‍යාපාරය', 'කොරල්පර සුරැකීමේ ජාත්‍යන්තර වැඩපිළිවෙළ', 'පොදු රාජ්‍ය මණ්ඩලීය පිවිතුරු සාගර සංධානය' සහ සාගර

සංරක්ෂණ සහ නීල ආර්ථික සහයෝගිතාව යන ගෝලීය වැඩසටහන්වල ද ශ්‍රී ලංකාව පාර්ශ්වකරුවකු ලෙස කටයුතු කරනවා. කඩොලාන ප්‍රතිස්ථාපනය සඳහා වූ පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රියාකාරී කණ්ඩායමේ ද ශ්‍රී ලංකාව කැපී පෙනෙන භූමිකාවක් සිදු කරනවා. "

2019 වසරේ ලෝක වනජීවී දිනය සඳහා ජිනීවා නුවර පැවති මෙම සැමරුම, තර්ජනයට ලක් වී ඇති වන සතුන් හා ශාක විශේෂ වල අන්තර්ජාතික වෙළඳාම පිළිබඳ සම්මුතියේ ලේකම් කාර්යාලය, එක්සත් ජාතීන්ගේ වෙළඳ කටයුතු සහ සංවර්ධනය පිළිබඳ සමුළුව, යුරෝපය සඳහා වූ එක්සත් ජාතීන්ගේ ආර්ථික කොමිසම, එක්සත් ජාතීන්ගේ පරිසර සංවිධානය, සහ ජිනීවා පරිසර ජාලය යන ආයතන මඟින් සංවිධානය කර තිබිණි .

ජෛව විවිධත්වය සංරක්ෂණය කිරීම සහ ප්‍රතිලාභ බෙදා ගැනීම තුළින් අත්කර ගත හැකි තිරසාර ආර්ථික වාසි, කාබන් සංවේදී කර්මාන්ත සහ වෙ‍ළද කටයුතු සඳහා අවශ්‍ය තාක්ෂණය හුවමාරු කර ගැනීම, තර්ජනයට ලක් වී ඇති සත්ත්ව හා ශාක විශේෂ වෙළදාම් කිරීම වැළැක්වීම සඳහා ගත හැකි ශක්තිමත් ක්‍රියාමාර්ග, මෙම සැමරුමේ දී ප්‍රධාන වශයෙන් සාකච්ඡාවට බඳුන් විය.

 

 

ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත කාර්යාලය
ජිනීවා
9 මාර්තු 2019
Print Friendly, PDF & Email
Please follow and like us:

Close