වොෂින්ටන් ඩී.සී. හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය 75 වැනි ජාතික නිදහස් දිනය සමරයි

වොෂින්ටන් ඩී.සී. හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය 75 වැනි ජාතික නිදහස් දිනය සමරයි

ඇමරිකාවේ ශ්‍රී ලංකා තානාපති මහින්ද සමරසිංහ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් වොෂින්ටන් ඩී.සී. හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය 2023 පෙබරවාරි 4 වැනි දින 75 වැනි නිදහස් දින සැමරුම පැවැත්වී ය.

තානාපතිවරයා විසින් ජාතික ධජය එසවීමත් සමඟ මෙම උත්සවය ආරම්භ වූ අතර ඉන්  අනතුරුව ජාතික ගීය ගායනා කිරීම, සම්ප්‍රදායික පොල්තෙල් පහන දැල්වීම හා මාතෘ භූමිය වෙනුවෙන් දිවි පිදූ විරුවන් වෙනුවෙන් විනාඩි දෙකක නිශ්ශබ්දතාවයක් පැවැත්වීම යනාදිය සිදුකරන ලදී. ඉන් පසුව බෞද්ධ, හින්දු, ඉස්ලාම් සහ ක්‍රිස්තියානි ආගමික වතාවත් සිදුකරමින් උත්සවයේ කටයුතු සිදු කරන ලදී.

බෞද්ධ ආගමික වතාවත් පැවැත්වීම, වොෂින්ටන් බෞද්ධ විහාරයේ විහාරාධිපති සහ උතුරු ඇමරිකාවේ ප්‍රධාන සංඝනායක මහරගම ධම්මසිරි නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ, මේරිලන්ඩ් බෞද්ධ විහාරයේ විහාරාධිපති සහ උතුරු අමෙරිකාවේ ප්‍රධාන අධිකරණ සංඝනායක කටුගස්තොට උපරතන නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ සහ වොෂින්ටන් ඩී.සී. මහමෙවුනාව බෞද්ධ භාවනා මධ්‍යස්ථානයේ විහාරාධිපති තලාවේ දමිත බෝධි හිමියන් විසින් සිදුකරන ලදී. හින්දු ආගමික වතාවත් ස්වාමි රගුපති කුරුක්කල් විසින් ද, ඉස්ලාම් ආගමික වතාවත් ගඩාෆි ඉස්මයිල් පූජකතුමා විසින් ද, ක්‍රිස්තියානි ආගමික වතාවත් වොෂිංටන්හි වතිකානු තානාපති කාර්යාලයේ ප්‍රථම ලේකම් මොන්සිඤ්ඤෝර් ජෝන් පෝල් පේද්‍රේරා හිමිපාණන් විසින් ද පවත්වන ලදී.

75 වැනි ජාතික නිදහස් දින සැමරුම වෙනුවෙන්, ජනාධිපති රනිල් වික්‍රමසිංහ, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන සහ විදේශ කටයුතු අමාත්‍ය එම්.යූ.එම්. අලි සබ්‍රි යන මැතිවරුන් නිකුත්  කළ නිදහස් දින පණිවුඩ ප්‍රකාශයට පත් කෙරුණු අතර ශ්‍රී ලංකාවේ ජනතාවට සුබ පතමින් එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දකුණු හා මධ්‍යම ආසියානු කටයුතු කාර්යංශයේ සහයක ලේකම්, තානාපති ඩොනල්ඩ් ලූ මැතිතුමා විසින් එවන ලද වීඩියෝ පණිවිඩය ද විකාශනය කරන ලදී. එම පණිවුඩය හරහා එතුමා සිය ප්‍රථම ශ්‍රී ලංකා සංචාරය පිළිබඳව සිහිපත් කළ අතර, ශ්‍රී ලාංකික ජනතාවගේ උණුසුම් සත්කාර, රටේ සුන්දරත්වය සහ තේජස සදා මතකයේ රැදී ඇති බව ප්‍රකාශ කළේ ය. තානාපති ලූ මැතිතුමා, ජාතීන් දෙක අතර විශේෂ සබඳතාවක් ගොඩනගා ගන්නේ කෙසේද යන්න නැවත අවධාරණය කරමින් සිය කථාව අවසන් කළ අතර ශ්‍රී ලංකාවේ අනාගතය සහ වර්ධනය සඳහා එක්සත් ජනපදයේ සහය ලබා දෙන බවට සහතික විය.

සිය දේශනය ආරම්භ කළ තානාපති මහින්ද සමරසිංහ මැතිතුමා, ශ්‍රී ලංකාව වසර 450ක විදේශ ආධිපත්‍ය සහ යටත්විජිතභාවයෙන් පසුව 1948 වසරේ දී නිදහස ලැබූ බව සිහිපත් කළේ ය. එතැන් සිට වසර 75ක ගමන් මග ආවර්ජනය කිරීමට අද අවස්ථාව උදාවී ඇති බවද එතුමා පැවසී ය. මෙම කාලසීමාව තුළ ධනාත්මක මෙන්ම සෘණාත්මක දේ කෙරෙහි ද අවධානය යොමු කළ යුතු බවද එතුමා සඳහන් කළේ ය. ශ්‍රී ලංකාව මෙම වසර 75 ක කාලය තුළ වසර 30 කට වැඩි කාලයක් මුළුල්ලේ දරුණුතම ත්‍රස්තවාදයට එරෙහිව සටන් කරමින් සිටි බව එතුමා සිහිපත් කළේ ය. ඊට අමතරව තරුණ කැරලි දෙකක් ඇති වූ බවද එතුමා පැවසී ය. තරුණ ජීවිත විශාල ප්‍රමාණයක් අහිමි වූ අතර අතුරුදන් වූ පුද්ගලයන් ද විය. මෙම පුද්ගලයන් සම්බන්ධයෙන් ජාත්‍යන්තරයට වගකීමට ශ්‍රී ලංකාවට සිදුවිය.

තානාපතිවරයා ධනාත්මක කරුණු කිහිපයක් ද මෙහිදී ඉස්මතු කළේ ය. විවෘත ආර්ථික ප්‍රතිපත්තිය, විශ්ව සෞඛ්‍ය ආවරණය වෙනුවෙන් අඛණ්ඩ ආයෝජනය සහ නිදහස් අධ්‍යාපනය හදුන්වාදීම සිදු කළ දකුණු ආසියාවේ පළමු රට ශ්‍රී ලංකාව යි. ශ්‍රී ලංකාව මෙම ප්‍රතිපත්තිමය මුලපිරීම් කිහිපයක පුරෝගාමියා විය. ජනතාව  සඳහා සිදු කළ මෙම ආයෝජන හේතුවෙන් කලාපයේ අනෙකුත් රටවලට පෙර මානව සංවර්ධනයේ ඉහළ මට්ටමක් ශ්‍රී ලංකාව තුළින් පිළිබිඹු විය. 2009 වසරේ දී යුද අර්බුද අවසන් වීමෙන් පසු ශ්‍රී ලංකාවට ලැබුණු ජාත්‍යන්තර සහයෝගය පිළිබඳව සඳහන් කළ එතුමා, ගැටුම් පැවති සමය තුළ විවිධ ජන කොටස් අතර පුළුල් සංහිඳියාවක්, සාමයක් සහ සාමූහික හැඟීමක් ඇති කර ගැනීමේ අවස්ථාව රටට අහිමි වූ බව පැවසී ය.

2022 වසරේ දී තරුණයින් විසින් මෙහෙයවන ලද විරෝධතා පිළිබඳව සඳහන් කළ එතුමා ඒ සම්බන්ධයෙන් රජය සිය අවධානය යොමු කිරීමට සූදානම් බවට පැහැදිලි පණිවිඩයක් ලබා දී ඇති බව ප්‍රකාශ කළේ ය. එහිදී පෙනීගියේ ක්‍රමයේ වෙනසක්‌ වෙනුවෙන් පෙනී සිටි තරුණ තරුණියන් අතර දේශපාලන, වාර්ගික හෝ ආගමික භේදයක්‌ නොමැති බවයි. යහපත් අනාගතයක් කරා එක්ව ඉදිරියට යාමේ දී සහ එකමුතුකම ප්‍රවර්ධනය කිරීමට දරන ප්‍රයත්නයේ දී තරුණ පරපුරේ අදහස්වලට ඉඩ සැලසීමට ජනාධිපති වික්‍රමසිංහ මැතිතුමා පියවර ගන්නා බව ද එතුමා ප්‍රකාශ කළේ ය.

අවශ්‍ය වන්නේ ශ්‍රී ලංකාව බහු සංස්කෘතික, බහු වාර්ගික, බහු ආගමික සහ බහු භාෂා ජාතියක් බව පිළිගැනීම බවත් අගතියෙන් හා භේදයෙන් තොර ජාතික අනන්‍යතාවයක් ගොඩනගා ගැනීමට සියලු දෙනා උත්සාහ කළ යුතු බවත් තානාපති සමරසිංහ මැතිතුමා වැඩිදුරටත් පැවසී ය. ආරක්ෂා කළ යුතු සහ පෝෂණය කළ යුතු ශක්ති ප්‍රභවයක් ලෙස අපගේ විවිධත්වය හඳුනාගැනීම, තිරසාර සංවර්ධනය සහ තිරසාර සාමයක් ළඟා කර ගැනීම සඳහා ඉවහල් වන පූර්ව අවශ්‍යතාවක් වේ.

දමිළ බසින් ජාතික ගීය වාදනය කිරීමෙන් අනතුරුව නිදහස් දින උත්සවය අවසන් විය.

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය

වොෂින්ටන් ඩී.සී.

2023 පෙබරවාරි 09 වැනි දින

 

 

 

Print Friendly, PDF & Email
Please follow and like us:

Close