වොෂින්ටන් ඩී.සී. හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය 2023 වසර සඳහා වැඩ අරඹයි

වොෂින්ටන් ඩී.සී. හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය 2023 වසර සඳහා වැඩ අරඹයි

වොෂින්ටන් ඩී.සී. හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය 2023 ජනවාරි 02 වැනි දින තානාපති මහින්ද සමරසිංහ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් 2023 වසර සඳහා වැඩ ආරම්භ කළේ ය.

සම්ප්‍රදායට අනුව ජාතික කොඩිය එසවීමෙන් හා ජාතික ගීය ගායනා කිරීමෙන් අනතුරුව, වසරේ පළමු දින වැඩ ආරම්භ කෙරුණු අතර, ඉන් පසුව මාතෘ භූමිය වෙනුවෙන් දිවි පිදූ රණවිරුවන් සහ අනෙකුත් පුද්ගලයන් සිහිකර විනාඩි දෙකක නිශ්ශබ්දතාවයක් ද පැවැත්විණි. අනතුරුව රාජ්‍ය නිලධාරීන් විසින් සිදු කරනු ලබන ප්‍රතිඥාව දෙන ලදී.

තානාපති කාර්යාලය 2023 වසර තුළ සාක්ෂාත් කර ගත යුතු දේ පිළිබඳ මාර්ගෝපදේශ ඉදිරිපත් කළ තානාපති මහින්ද සමරසිංහ මැතිතුමා සිය කාර්ය මණ්ඩලය අමතා ඔවුන් දිරිගැන්වී ය. නව වසර නිමිත්තෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා නිකුත් කළ පණිවිඩය පිළිබඳව තානාපතිවරයා විසින් මෙහිදී යළිදු අවධාරණය කෙරිණි. තවද, ජාතිය ගොඩගැනීම සඳහා ශ්‍රී ලාංකිකයන් සියලු දෙනාම අත්වැල් බැඳගත යුතු බවට ජනාධිපතිවරයා පළ කළ අදහස ද තානාපතිවරයා විසින් අවධාරණය කෙරිණි.

ශ්‍රී ලංකාවේ විවිධත්වය විශාල ශක්තියක් වන බැවින් එය ආරක්ෂා කළ යුතු බව තානාපති සමරසිංහ මැතිතුමා සඳහන් කළේ ය. අපගේ හරවත් විවිධත්වය වැළඳ ගන්නා සහ ඊට ගෞරවය දක්වන සැබෑ ශ්‍රී ලාංකික අනන්‍යතාවක් වැඩි වර්ධනය කරන ලෙස එතුමා ඉල්ලා සිටියේ ය. 2022 වසරේ දී ලද ප්‍රතිඵලවලටත් වඩා මහත් ප්‍රතිඵල ලබාගැනීම සඳහා එක්ව කටයුතු කරන ලෙසද එතුමා තානාපති කාර්යාලයේ කාර්ය මණ්ඩලයෙන් ඉල්ලා සිටියේ ය.

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය

වොෂින්ටන් ඩී.සී.

2023 ජනවාරි 03 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close