යුරෝපා පාර්ලිමේන්තුවේ ‘ශ්‍රී ලංකාවේ මිතුරෝ’ ආසිර්වතම් තානාපතිවරිය සමඟ බ්‍රසල්ස් හි රාත්‍රී භෝජන සාකච්ජාවක් සඳහා එක් වෙයි

යුරෝපා පාර්ලිමේන්තුවේ ‘ශ්‍රී ලංකාවේ මිතුරෝ’ ආසිර්වතම් තානාපතිවරිය සමඟ බ්‍රසල්ස් හි රාත්‍රී භෝජන සාකච්ජාවක් සඳහා එක් වෙයි

යුරෝපා සංගමයේ ශ්‍රී ලංකා තානාපතිනී ග්‍රේස් ආසිර්වතම් මහත්මිය විසින් ශ්‍රී ලංකාවේ මිතුරන් නියෝජනය කරන යුරෝපා පාර්ලිමේන්තු මන්ත්‍රී (MEPs) කණ්ඩායමක් වෙත 2023 සැප්තැම්බර් 5 වන දින තානාපති නිල නිවෙසේදී සංවාදාත්මක සහ ඵලදායී රාත්‍රී භෝජන සංග්‍රහයක් පිරිනමන ලදී.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකාවේ මිතුරෝ සමූහයේ සභාපති සහ යුරෝපා සංගම් පාර්ලිමේන්තුවේ විශාලතම පක්ෂය වන යුරෝපීය මහජන පක්ෂයේ (EPP) මන්ත්‍රී, චෙක් ජනරජයේ ටොමාස් සෙචොව්ස්කි සහ අනන්‍යතාව සහ ප්‍රජාතන්ත්‍රවාදය (ID) පක්ෂයේ මන්ත්‍රී, සමූහයේ උප සභාපති ජර්මනියේ මැක්සිමිලියන් ක්‍රාහ් ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 8 දෙනෙකු සහභාගී වූහ.

විදේශ හා දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම, සංචාරක ප්‍රවර්ධනය, අපනයන, ආයෝජන ප්‍රවර්ධනය සහ රට ආර්ථික සමෘද්ධිය කරා ගෙන යාම සඳහා වූ වඩාත් දැඩි ආර්ථික ප්‍රවර්ධනය ක්‍රියාමාර්ග තුලින් ශ්‍රී ලංකා රජයේ ආර්ථික ප්‍රකෘතිය සඳහා වන උපාය මාර්ග පිළිබඳ සවිස්තරාත්මක විශ්ලේෂණයක් තානාපති ග්‍රේස් ආසිර්වතම් මහත්මිය විසින් ඉදිරිපත් කරන ලදී.

මෙයට අදාලව, කාන්තාවන් ඇතුළු ශ්‍රී ලංකාවේ වඩාත් අවදානමට ලක්විය හැකි සමාජ අංශ සවිබල ගැන්වීම උදෙසා යුරෝපා සංගමය වෙත සිදුවන ශ්‍රී ලංකා අපනයන සඳහා යුරෝපා සංගමයේ GSP Plus තීරුබදු සහන වඩාත් වැදගත් ලෙස සලකමින් අභියෝගාත්මක කාලවලදී යුරෝපා සංගමය ශ්‍රී ලංකාවට ලබා දුන් අඛණ්ඩ සහයෝගය සහ උපකාරය තානාපතිනිය අගය කළාය.

ඉදිරි දශකය සඳහා යුරෝපා සංගමයේ GSP සහනය සම්බන්ධයෙන් නව රෙගුලාසි පිළිබඳ සාකච්ඡා යුරෝපා පාර්ලිමේන්තුවේදී පැවැත්වෙන අතර, ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රකෘතිය සහ  සෞභාග්‍යය උදෙසා සියලුම GSP Plus සම්බන්ධ කොන්දේසි සම්පුර්ණ කරමින් සිදු කරන පරිවර්තනීය ගමනට සහයෝගය දැක්වීම සඳහා  යුරෝපා සංගමයේ GSP Plus තීරුබදු සහනය අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමේ තීරණාත්මක වැදගත්කම තානාපති ආසිර්වතම් මහත්මිය අවධාරණය කළාය.

පාරිසරික තිරසාරත්වය සහ දේශගුණික ක්‍රියාකාරකම් සඳහා ශ්‍රී ලංකාවේ දැඩි කැපවීම පිළිබඳව ද තානාපති ආසිර්වතම් මහත්මිය අවධානය යොමු කළාය. 2050 වන විට ශුද්ධ-ශුන්‍ය කාබන් විමෝචනය සාක්ෂාත් කර ගැනීමේ ශ්‍රී ලංකාවේ ඉලක්කය ඇය නැවත අවධාරණය කළ අතර වන ආවරණය පුළුල් කිරීමට සහ පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් වෙත මාරු වීමට දරන අඛණ්ඩ උත්සාහයන් ඉස්මතු කළාය. තවද, මෙම හරිත බලශක්ති සංක්‍රාන්තිය සඳහා පහසුකම් සැලසීම සඳහා යුරෝපා සංගමය සමඟ ගවේෂණය කරන සහයෝගීතා අවස්ථා පිළිබඳව ඇය සඳහන් කළාය.

ශ්‍රී ලංකා මිතුරෝ  සමූහයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ටොමාස් සෙචොව්ස්කි, ආර්ථිකය ස්ථාවර කිරීමට සහ ස්ථිර ප්‍රතිපත්තිමය මැදිහත්වීම් හරහා රට ධනාත්මක මාවතකට යොමු කිරීමට ශ්‍රී ලංකා රජය දරන උත්සාහය පිළිබඳව ප්‍රශංසා කළේය. ජාත්‍යන්තර වෙළඳාම පිළිබඳ යුරෝපීය පාර්ලිමේන්තු කමිටුවේ (INTA) දකුණු ආසියාව සඳහා නිත්‍ය වාර්තාකරු ද වන උප සභාපති මැක්සිමිලියන් ක්‍රාහ්, ශ්‍රී ලංකාවේ ක්‍රියාකාරී ආර්ථික ස්ථායීකරණ පියවරයන්  පිළිබඳව පළ කළ මෙම ප්‍රශංසනීය අදහස් අනුමත කළේය. ශ්‍රී ලංකාවට අවශ්‍ය අවස්ථාවන්හි දී සහය වීමට ඔවුන්ගේ කැපවීම යලි තහවුරු කරමින් රටේ ආර්ථික ප්‍රකෘතියට සහාය වීම සඳහා යුරෝපා සංගමයේ GSP Plus තීරුබදු සහන අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමේ වැදගත්කම ඔහු අවධාරණය කළේය. හවුල් ප්‍රජාතන්ත්‍රවාදී වටිනාකම්, අන්‍යෝන්‍ය ගෞරවය සහ සමාජ-ආර්ථික සංවර්ධනය මත දැඩි ලෙස පදනම් වූ ශ්‍රී ලංකාව සහ යුරෝපා සංගමය අතර පවතින සහයෝගීතාවය මෙම අවස්ථාවට සහභාගී වූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ප්‍රශංසාවට ලක් විය.

සංවාදාත්මක රාත්‍රී භෝජන සංග්‍රහය ශ්‍රී ලංකාව සහ යුරෝපා සංගමය අතර සහයෝගීතාවයේ සහ හවුල්කාරිත්වයේ වැදගත්කම අවධාරණය කරමින් ශ්‍රී ලංකාවේ දේශපාලන හා ආර්ථික ප්‍රයත්නවල ප්‍රගතිය, අභියෝග සහ අභිලාෂයන් පිළිබඳ ඵලදායි අදහස් හුවමාරු කර ගැනීමට වේදිකාවක් සැපයීය.

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය

බ්‍රසල්ස්

2023 සැප්තැම්බර් 08

 

Print Friendly, PDF & Email
Please follow and like us:

Close