2018 ජූලි 12-13 යන දිනවල තායිලන්ත අග්‍රාමාත්‍යවරයා ශ්‍රී ලංකාවේ සංචාරයක

2018 ජූලි 12-13 යන දිනවල තායිලන්ත අග්‍රාමාත්‍යවරයා ශ්‍රී ලංකාවේ සංචාරයක

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ආරාධනය පරිදි තායිලන්ත අග්‍රාමාත්‍ය ජනරාල් ප්‍රයුත් චන්-ඔ-චා මහතා 2018 ජූලි මස 12-13 යන දිනවල ශ්‍රී ලංකාවේ සංචාරයක නියැළෙයි. 2015 නොවැම්බර් මස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ තායිලන්ත සංචාරයේදී පැවැත්වුණු සාකච්ඡාවල පසුබිමෙහි මෙම සංචාරය සිදු කෙරේ.

ජූලි මස 12 වැනි දින අපරභාගයේ අග්‍රාමාත්‍ය චන්-ඔ-චා මහතා ශ්‍රී ලංකාවට ළඟාවීමට නියමිතය. ජූලි මස 12 වැනි දින සන්ධ්‍යාවේ, ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපති සිරිසේන මහතා විසින් ඔහු පිළිගනු ලබන අතර, තායිලන්ත අග්‍රාමාත්‍යවරයාට ගෞරව පිණිස හමුදා උත්තමාචාර හා ආචාර වෙඩිමුර පැවැත්වේ. ඉන් අනතුරුව සංස්කෘතික සබඳතාවල සිට වාණිජ කටයුතු හා පුද්ගල-පුද්ගල සම්බන්ධතා දක්වා ශ්‍රී ලංකාව හා තායිලන්තය අතර ඇති ද්විපාර්ශ්වික සම්බන්ධතා සම්පූර්ණයෙන්ම ආවරණය වන පරිදි නිල ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට නියමිතය. එදිනම සන්ධ්‍යාවේ තායි අග්‍රාමාත්‍යවරයා හා නියෝජිත පිරිස වෙනුවෙන් ජනපති සිරිසේන මහතා ජනාධිපති නිල නිවසේදී නිල රාත්‍රී භෝජන සංග්‍රහයක් පවත්වයි.

මෙම සංචාරය අතරතුරදී පහත දැක්වෙන ලේඛනවලට අත්සන් තැබීමට අපේක්ෂිතය:

  • වරදකරුවන් හුවමාරු කරගැනීම පිළිබඳ හා දඬුවම් පැමිණවීමේදී සහයෝගීව ක්‍රියාකිරීම පිළිබඳ ගිවිසුම
  • උපායමාර්ගික ආර්ථික හවුල්කාරීත්වය පිළිබඳ අවබෝධතා ගිවිසුම
  • ප්‍රාථමික නිෂ්පාදනවල එකතුකළ අගය සම්බන්ධ තාක්ෂණික සහයෝගීතාව පිළිබඳ අවබෝධතා ගිවිසුම
  • ස්වයංපෝෂිත ආර්ථික දර්ශනය ශ්‍රී ලංකාවේ භාවිතා කිරීම මත පදනම්වූ තිරසර ප්‍රජා සංවර්ධන ආකෘතිය පිළිබඳ ඒකාබද්ධ ක්‍රියාකාරී වැඩසටහන

අනාගතයේදී  එළැඹීමට අපේක්ෂිත ශ්‍රී ලංකාව හා තායිලන්තය අතර නිදහස් වෙළෙඳ ගිවිසුම පිළිබඳ සාකච්ඡා ආරම්භ කිරීම මෙම සංචාරයේ සුවිශේෂි අංගයකි.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා තායිලන්ත අග්‍රාමාත්‍යවරයා වෙනුවෙන් උදෑසන භෝජන සංග්‍රහයක් පවත්වන අතර ඉන් අනතුරුව දෙරට අතර ආර්ථික සහයෝගීතාව, වෙළෙඳාම හා ආයෝජනය යන කරුණු මත පදනම් වූ සාකච්ඡා පැවැත්වීමට නියමිතය.

අපගේ පොදු සහ ඓතිහාසික සංස්කෘතික උරුමය ආවර්ජනය කරමින් අග්‍රාමාත්‍ය චන්-ඔ-චා මහතා මහනුවර ශ්‍රී දළදා මාලිගය වැඳ පුදා ගැනීමට නියමිත අතර ශ්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු හා අස්ගිරි පාර්ශ්වවල අති පූජනීය මහනායක හිමිවරුන්ද බැහැදැකීමට නියමිතය. තායිලන්ත අග්‍රාමාත්‍යවරයා සිය ශ්‍රී ලංකා සංචාරය සනිටුහන් කිරීම පිණිස පේරාදෙණිය උද්භිද උද්‍යානයේ පැළයක්ද රෝපණය කරනු ඇත.

 

 

විදේශ කටයුතු අමාත්‍යාංශය
කොළඹ

 

2018 ජුලි මස 10 වැනිදා

Print Friendly, PDF & Email
Please follow and like us:

Close