මානව හිමිකම් කවුන්සිලයේ 58 වැනි නිත්‍ය සැසිවාරයේදී ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු අමාත්‍ය ගරු විජිත හේරත් මහතා විසින් සිදුකරන ලද කතාව  ඉහළ මට්ටමේ රැස්වීම

මානව හිමිකම් කවුන්සිලයේ 58 වැනි නිත්‍ය සැසිවාරයේදී ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු අමාත්‍ය ගරු විජිත හේරත් මහතා විසින් සිදුකරන ලද කතාව  ඉහළ මට්ටමේ රැස්වීම

මානව හිමිකම් කවුන්සිලයේ 58 වැනි නිත්‍ය සැසිවාරයේදී

ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු අමාත්‍ය ගරු විජිත හේරත් මහතා විසින් සිදුකරන ලද කතාව

 ඉහළ මට්ටමේ රැස්වීම

සභාපතිතුමනි,

සම්භාවනීය නියෝජිතයිනි,

සභාපතිතුමනි, මෙම කවුන්සිලයේ සභාපතිවරයා ලෙස ඔබ තේරී පත්වීම පිළිබඳව මම ඔබට සුබ පතනවා.

සභාපතිතුමනි,

මාස කිහිපයකට පෙර පැවැති ජනාධිපතිවරණයේදී සහ පාර්ලිමේන්තු මැතිවරණයේදී, ශ්‍රී ලංකාවේ ජනතාව විසින් ආර්ථික, සමාජීය සහ දේශපාලනික පරිවර්තනයක් කරා රට යොමු කිරීම සඳහා ශක්තිමත් ජනවරමක් සහිත නව රජයක් තෝරා පත් කර ගැනීමට ප්‍රගතිශීලී තීරණයක් ගනු ලැබුවා. 2024 නොවැම්බර් මාසයේ පැවැති මෙම මැතිවරණවල ප්‍රතිඵල විවිධ මානයන්ගෙන් විශේෂ වැදගත්කමක් දරනවා. එතුළින්, උතුර, දකුණ, නැගෙනහිර, බටහිර යන රටේ සියලුම දිශා සහ ප්‍රදේශවල වෙසෙන  සියලු ජනවර්ග සහ ආගම්වලට අයත් ජනතාව, වෙනසක් සහ ධනාත්මක පරිවර්තනයක් සඳහා සහය දක්වමින් ඔවුන්ගේ සාමූහික හා ඒකීය මතය පිළිබිඹු කළා. මැතිවරණයෙන් පසු පිහිටුවන ලද වත්මන් පාර්ලිමේන්තුව, අපගේ ඉතිහාසය තුළ සියලු ජන කොටස් වඩාත්ම හොඳින් නියෝජනය කෙරෙන පාර්ලිමේන්තුව වන අතර, වාර්තාගත කාන්තාවන් සංඛ්‍යාවක්, මලයහ ප්‍රජාවේ කාන්තාවන් දෙදෙනෙකු ඇතුළුව විවිධ ප්‍රජාවන් නියෝජනය කෙරෙන නියෝජිතයින් සහ දෘශ්‍යාබාධිත පුද්ගලයෙකු රටේ ව්‍යවස්ථාදායකයේ කොටසක් ලෙස ක්‍රියා කරනවා.  මෙම නියෝජනය කිරීම, ස්ත්‍රී පුරුෂ භාවය, ජනවාර්ගිකත්වය හෝ වෙනත් හේතු මත පදනම් වූ වෙනස්කම් නොසලකා එහි සියලුම ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම කෙරෙහි අවධානය යොමු කරන ශ්‍රී ලංකාවේ නව මාවත වි‍ද්‍යමාන කරනවා.

දසවැනි පාර්ලිමේන්තුවේ පළමු සැසිවාරයේ සමාරම්භක උත්සවයේදී අපගේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා කළ කතාවෙන් උපුටනයක් දැක්වීමට මම කැමතියි: “මැතිවරණ මඟින් ජනතාව සහ අප අතර ගිවිසුමක් ඇති වනවා. එසේ වන්නේ අප අපගේ ප්‍රතිපත්ති ප්‍රකාශන සහ අදහස් ඉදිරිපත් කරන විට සහ රටේ අනාගතය හැඩගස්වා ගත යුතු ආකාරය ගෙනහැර දක්වන විටයි. මෙම අදහස් කෙරෙහි විශ්වාසය තබන ජනතාව අප වෙනුවෙන් ඡන්දය ප්‍රකාශ කළා. ඔවුන්ගේ ඡන්දය අපට ලබා දීමෙන් සහ අපට පාලනය කිරීම සඳහා ජනවරම ලබා දීමෙන් ජනතාව මෙම සම්බන්ධතාවේ ඔවුන්ගේ කොටස ඉටු කර තිබෙනවා. දැන්, එළැඹ ඇත්තේ ජනතාවට සේවය කිරීම තුළින් අපගේ කොටස ඉටු කිරීමේ වාරයයි.”

සභාපතිතුමනි,

2022 වසරේදී, ශ්‍රී ලංකාව නිදහසින් පසු මුහුණ දුන් එහි ගැඹුරුම හා සංකීර්ණම සමාජ, ආර්ථික හා දේශපාලන අර්බුදයට මුහුණ දුන්නා. ඔබ දන්නා පරිදි, ආර්ථික අර්බුදයේ බලපෑම ජනගහනයේ සියලුම කොටස්වලට, විශේෂයෙන් දිළිඳුම සහ සමාජයේ වඩාත්ම අවදානමට ලක්විය හැකි කොටස්වලට බලපාන මානුෂීය තත්වයක් ඇති කළා. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ නායකත්වයෙන් යුත් රජය ආර්ථිකය ස්ථාවර කිරීමෙහිලා සාර්ථක වී ඇති අතර, අවස්ථා සාධාරණ ලෙස බෙදා හැරීම තුළින් ආර්ථික පරිවර්තනය සහ වඩා හොඳ ආර්ථික ප්‍රජාතන්ත්‍රවාදයක් සඳහා අඩිතාලම දැමීමේ ක්‍රියාවලියක අපි දැනට යෙදී සිටිනවා. අපගේ ජනතාවට, විශේෂයෙන් වඩාත්ම අවදානමට ලක්විය හැකි අයට එල්ල විය හැකි ආර්ථික අභියෝගවල අඛණ්ඩ බලපෑම පිළිබඳව අපි හොඳින් දන්නා අතරම, රජය ජනතාවගේ ආර්ථික හා සමාජීය අයිතිවාසිකම් අභිවර්ධනය කිරීම සඳහා තීරණාත්මක පියවර ගනිමින් සිටිනවා. පසුගිය සතියේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද 2025 ජාතික අයවැයෙන්, සමාජ සුභසාධනය සහ ආරක්ෂාව සඳහා වැඩි ප්‍රතිපාදන ඇතුළුව ජනතාවට අත්‍යවශ්‍ය සහන සහ බලගැන්වීම ලබා දීම සඳහා ක්‍රියාමාර්ග මාලාවක් ගැනීමට අපි කැපවී සිටිනවා. විශේෂයෙන්ම, අයවැය යෝජනා මඟින් සෞඛ්‍ය හා අධ්‍යාපනය සඳහා පෙර නොවූ විරූ සැලකිය යුතු ප්‍රතිපාදන වෙන් කර ඇති අතර කාන්තාවන්, අනාථ දරුවන්, ආබාධිත හෝ ඔටිසම් රෝගයෙන් පීඩිත දරුවන්, වතුකර ජනතාව, සිසුන්, ආබාධ සහිත පුද්ගලයින් සහ රටේ ගැටුම්වලින් පීඩාවට පත් හෝ ඌන සංවර්ධිත ප්‍රදේශවල ජීවත් වන පුද්ගලයින් වැනි අවදානමට ලක්විය හැකි කණ්ඩායම් සඳහා බලගැන්වීමේ ක්‍රියාමාර්ග රැසක් අප ගෙන තිබෙනවා.

ගැටුම්වලින් පීඩාවට පත් උතුරු සහ නැගෙනහිර පළාත්වල ජනතාවගේ සමාජ-ආර්ථික තත්ත්ව වැඩිදියුණු කිරීම සහ නැවත පදිංචි කිරීම, නිවාස, වන්දි සහ යටිතල පහසුකම් සංවර්ධනය වැනි වැදගත් අවශ්‍යතා සපුරාලීම කෙරෙහි විශේෂ අවධානයක් යොමු කර තිබෙනවා.

රජය උතුරු සහ නැගෙනහිර පළාත්වල යටිතල පහසුකම් සංවර්ධනය, ජීවනෝපායන්ට සහය වීම සහ කර්මාන්ත ප්‍රවර්ධනය කිරීම සඳහා ක්‍රියාකාරීව කටයුතු කරමින් සිටින අතර, සම්බන්ධතාව වැඩි දියුණු කිරීම සහ ප්‍රාදේශීය සංවර්ධනයට සහාය වීම අරමුණු කර ගෙන තිබෙනවා.

2025 ජනවාරි 01 වැනි දින අතිගරු ජනාධිපතිතුමා විසින් "ක්ලීන් ශ්‍රී ලංකා" ව්‍යාපෘතිය දියත් කිරීමත් සමඟ, රජය නව දේශපාලන සංස්කෘතියක් සහ සදාචාරාත්මක පාලනයක් ඇති කිරීම සඳහා සහතිකවීමක් හඳුන්වා දීමට පියවර ගෙන තිබෙනවා. 'ක්ලීන් ශ්‍රී ලංකා' වැඩසටහන යනු පාරිසරික, සමාජීය සහ පාලන ව්‍යුහයන් තුළ වෙනසක්, ඒකාබද්ධතාවක් සහ සහයෝගීතාවක් ඇති කිරීම සඳහා පාරිසරික, සමාජීය සහ පාලන මුලපිරීම්වල ජාතික පරිශ්‍රමයන් ඉලක්ක කරගත් සාමූහික කටයුත්තක්.

ජනතාව විසින් ලබා දී ඇති ජනවරමට අනුකූලව, අපේ රට තිරසර සංවර්ධනයක් කරා ගෙන යාමේදී, රජය අවංකභාවයට ප්‍රමුඛත්වය දෙන අතර ආර්ථික බිඳවැටීමට හේතු වූ අවපාලනය සහ දූෂණය පිළිබඳ ගැටලු විසඳීමට ප්‍රමුඛත්වය දෙනු ඇති. සෑම මට්ටමකම රජයේ ව්‍යුහයන් ඩිජිටල් ක්‍රමයට පරිවර්තනය කිරීම තුළින්, අකාර්යක්ෂමතාව සහ දූෂණය අවම කිරීම සහතික කිරීමට අපි බලාපොරොත්තු වනවා.

සභාපතිතුමනි,

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ නායකත්වයෙන් යුත් රජය, ජාතිය, ආගම, පංතිය සහ කුලය මත පදනම් වූ කිසිදු භේදයකින් හෝ වෙනස්කම් කිරීමකින් තොරව තම ජනතාවගේ විවිධත්වයට ගරු කරන සහ අගයන එක්සත් ශ්‍රී ලංකාවක් නිර්මාණය කිරීම සඳහා කටයුතු කිරීමට දැඩි ලෙස හා අවංකව කැපවී සිටිනවා. අපේ රට තුළ භේදකාරී ජාතිවාදය හෝ ආගමික අන්තවාදය නැවත ඇතිවීමට අපි කිසිසේත් ඉඩ තබන්නේ නැහැ.අපගේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මඟින් සුරක්ෂා කොට ඇති ප්‍රජාතන්ත්‍රවාදය සහ නිදහස පිළිබඳ මූලික හා දිගුකාලීන මූලධර්මවලට සම්පූර්ණයෙන්ම ගරු කරමින් සියලු පුරවැසියන්ගේ මානව හිමිකම් ආරක්ෂා කිරීමට අපි කටයුතු කරනවා. සෑම පුරවැසියෙකුටම තම ආගම ඇදහීමට, තම භාෂාව කතා කිරීමට සහ තම සංස්කෘතික වටිනාකම් අනුව බියෙන් හෝ වෙනස්කම් කිරීමකින් තොරව ජීවත් වීමට නිදහස තිබිය යුතු වනවා. තම විශ්වාසයන්, සංස්කෘතිය හෝ දේශපාලන අනුබද්ධතා ඔවුන් අනවශ්‍ය පීඩනයකට හෝ අගතියකට ලක් කරනු ඇතැයි කිසිවෙකුට හැඟිය යුතු නැහැ. මේ සඳහා පරිපාලන, දේශපාලන සහ මැතිවරණ ක්‍රියාවලීන් සක්‍රීය කෙරෙනු ඇති.

ජාතික සමගිය සහ ප්‍රතිසන්ධානය තවදුරටත් පවත්වාගෙන යාම සඳහා රජය ප්‍රත්‍යක්ෂ පියවර ගැනීමට ප්‍රතිඥා දී තිබෙනවා. සංහිඳියා ශ්‍රී ලංකාවක් සඳහා වූ අපගේ දැක්මට සහ ප්‍රජාවන් අතර පරතරයන් සම්බන්ධ කිරීම සඳහා වූ කැපවීමට අනුකූලව, ශ්‍රී ලංකා දිනයක් ප්‍රකාශයට පත් කිරීමට ජනාධිපතිතුමා යෝජනා කර තිබෙනවා. ගැටුමෙන් පැන නගින අභියෝගවලට මුහුණ දීම සඳහා ස්ථාපිත දේශීය යාන්ත්‍රණ සහ ක්‍රියාවලීන් ව්‍යවස්ථාමය රාමුව තුළ ස්වාධීන හා විශ්වසනීය ආකාරයකින් අඛණ්ඩව පවත්වාගෙන යන බවට අප සහතික කරනවා. අතුරුදහන් වූවන් පිළිබඳ කාර්යාලය, හානිපූරණ කාර්යාලය සහ ජාතික සමගිය සහ ප්‍රතිසන්ධානය සඳහා වූ කාර්යාලය වැනි දේශීය ආයතන ශක්තිමත් කිරීමට අප බලාපොරොත්තු වනවා.

සියලු ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය දිනාගත් ක්‍රියාවලියක් සහතික කිරීම සඳහා සත්‍ය සහ ප්‍රතිසන්ධාන රාමුවක සමෝච්ඡයන්, හැකි සියලු පාර්ශවකරුවන් සමඟ තවදුරටත් සාකච්ඡා කෙරෙනු ඇති. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාමය රාමුව තුළ දේශීය යාන්ත්‍රණයන් විශ්වාසදායක සහ ශක්තිමත් ලෙස තහවුරු කිරීම අපගේ අරමුණයි. ශ්‍රී ලාංකීය සමාජය තුළ ගැටුම් ඇති කරන ප්‍රචණ්ඩ ක්‍රියා විමර්ශනය කිරීම සඳහා සත්‍ය හා ප්‍රතිසන්ධාන කොමිසම සවිබල ගැන්වීම සඳහා වන කටයුතු ශක්තිමත් කිරීම මෙයට ඇතුළත් වනු ඇති.

පසුගිය මාස කිහිපය තුළ, ප්‍රතිසන්ධානය උදෙසා  විශ්වාසය ගොඩනැගීමේ පියවර ගණනාවක් ද ගෙන තිබෙනවා. 2024 නොවැම්බර් මාසයේදී, පලාලි-අච්චුවේලි ප්‍රධාන මාර්ගය ඇතුළුව උතුරු පළාතේ මාර්ග ගණනාවක් දශක ගණනාවකට පසු මහජනයා සඳහා විවෘත කර තිබෙනවා. මෙම වසරේ ජනවාරි මාසයේ උතුරට කළ සංචාරයේදී, ජනාධිපතිවරයා දෙමළ ජාතික තරුණයින්ට ශ්‍රී ලංකා පොලිස් සේවයේට එකතු වන ලෙස විවෘත ආරාධනයක්ද සිදු කළා. දෙමළ ප්‍රජාව සඳහා අධ්‍යාපනයේ සහ ප්‍රබුද්ධත්වයේ සංකේතයක් වන ඓතිහාසික යාපනය පුස්තකාලය ඇතුළුව රට පුරා පුස්තකාල වැඩිදියුණු කිරීම සඳහා සැලකිය යුතු ප්‍රතිපාදන 2025 අයවැයට ඇතුළත් කර තිබෙනවා.

උතුරු සහ නැගෙනහිර පළාත්වල ජනතාව ඇතුළුව අපගේ සියලු පුරවැසියන් සඳහා යුක්තිසහගත, සාධාරණ සහ සමෘද්ධිමත් සමාජයක් සඳහා වූ ජනතා අභිලාෂයන් ඉටුකිරීමේ ජනවරමට සමගාමීව ඇති වගකීම් රජය මුළුමනින්ම අවබෝධ කරගෙන සිටිනවා. ජාතික සමගිය, සංහිඳියාව සහ සියල්ල ඇතුළත් සංවර්ධනය ළඟා කරගැනීම උදෙසා අප කටයුතු කරන විට ජාත්‍යන්තර ප්‍රජාවේ අඛණ්ඩ දිරිගැන්වීම සහ සහයෝගය වැදගත් වනු ඇති.

සභාපතිතුමනි,

ශ්‍රී ලංකාව 1955 වසරේ සිට එක්සත් ජාතීන්ගේ ක්‍රියාකාරී සාමාජිකයෙකු ලෙස කටයතු කරනවා. අප එක්සත් ජාතීන්ගේ මූලික මානව හිමිකම් සම්මුතීන් නවයෙහිම රාජ්‍ය පාර්ශවකරුවෙකු වන අතර ගිවිසුම් සහ මෙම කවුන්සිලයේ නිත්‍ය යාන්ත්‍රණයන් සමඟ නිතිපතා සම්බන්ධවෙමින් ක්‍රියා කරනවා. පසුගිය වසර කිහිපය තුළ,  විශේෂ ක්‍රියා පටිපාටි දහයකට අධික සංඛ්‍යාවක නියෝජිතයන් ශ්‍රී ලංකාවේ සංචාරවල නිරත වී ඇති අතර ඉතා මෑතකදී කාන්තාවන්ට එරෙහි සියලු ආකාරයේ වෙනස්කම් කිරීම් තුරන් කිරීම පිළිබඳ සම්මුති කමිටුව, සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය සහ විශ්ව කාලාන්තර සමාලෝචනය වැනි ගිවිසුම් සමඟ ඵලදායි ලෙස සම්බන්ධ වී සිටිනවා. අඛණ්ඩ සහ සැළසුම්සහගත මැදිහත්වීම් තුළින් මානව හිමිකම් පිළිබඳ ඵලදායී සංවාදයක් සහ සහයෝගීතාවක් ගොඩනැගීම සඳහා අප කැපවී කටයුතු කරනවා.

සභාපතිතුමනි,

ගැටුම්, අසමානතාව සහ ආන්තික දේශගුණික තත්ත්වයන් හේතුවෙන් දිනපතා මිලියන ගණනක් දරිද්‍රතාවට ඇද වැටෙන අතර, ලොව පුරා යුද්ධවලින් පීඩා විඳීන හෝ මිය යන  පිරිමින්, කාන්තාවන් සහ ළමුන් විශාල සංඛ්‍යාවක් සිටිනවා. මානව හිමිකම් ආරක්ෂා කිරීමට සහ අනාගත පරම්පරාවන් සඳහා අපගේ ලෝකය ආරක්ෂා කර ගැනීමට මෙම තීරණාත්මක අභියෝග කෙරෙහි අවධානය යොමු කිරීම අත්‍යවශ්‍ය වනවා.

විශ්වීයබව, අපක්ෂපාතීත්වය, වාස්තවිකත්වය සහ තෝරා නොගැනීම යන කවුන්සිලයේ ආරම්භක මූලධර්මමවලට අනුකූලව සමතුලිතව හා පරිපූර්ණ ලෙස ගෝලීය අභියෝගවලට මුහුණ දීම සඳහා මෙම කවුන්සිලයට සහාය වීමට ශ්‍රී ලංකාව සූදානමින් සිටිනවා. ඉල්ලීම් මත සහය ලබා දීම මඟින් ඌනපූරණය වන ශක්තිමත් මානව හිමිකම් රාමු ඔස්සේ තමන් මුහුණදෙන  අභියෝගවලට විසැඳුම් සෙවීමට රාජ්‍යයන් දිරිමත් කළ යුතු බව සහ සවිබල ගැන්විය යුතු බව අප විශ්වාස කරනවා.

ජනතාව විසින් මෙහෙයවනු ලබන සහ ජනතාව කේන්ද්‍ර කරගත් ජාතික පරිවර්තනයක් කරා ගමන් කරන ජාතියක් ලෙස සහ ජාත්‍යන්තර ප්‍රජාවේ වගකිවයුතු සාමාජිකයෙකු ලෙස, ශ්‍රී ලංකාව අපගේ ජාතික නීති රාමුව තුළ මෙම කවුන්සිලය ඇතුළුව එක්සත් ජාතීන්ගේ සාමාජිකයින් සමඟ සංවාදශීලීව සහ සහයෝගීතාවෙන් යුතුව අඛණ්ඩව කටයුතු කරනු ඇති.

ස්තුතියි.

 

 

Please follow and like us:

Close