මානව හිමිකම් මණ්ඩලීය 45 වන සැසිවාරය න්‍යායපත්‍ර විෂයය 3: සත්‍යය, යුක්තිය හා හානිපූරණය ප්‍රවර්ධනය  සහ නැවත ඇති නොවීම  සහතිකවීම් පිළිබඳ වූ විශේෂ  නියෝජිත සමග අන්තර් ක්‍රියාකාරී සංවාදය

මානව හිමිකම් මණ්ඩලීය 45 වන සැසිවාරය න්‍යායපත්‍ර විෂයය 3: සත්‍යය, යුක්තිය හා හානිපූරණය ප්‍රවර්ධනය  සහ නැවත ඇති නොවීම  සහතිකවීම් පිළිබඳ වූ විශේෂ  නියෝජිත සමග අන්තර් ක්‍රියාකාරී සංවාදය

 

මානව හිමිකම් මණ්ඩලීය 45 වන සැසිවාරය

න්‍යායපත්‍ර විෂයය 3:

සත්‍යය, යුක්තිය හා හානිපූරණය ප්‍රවර්ධනය  සහ නැවත ඇති නොවීම  සහතිකවීම් පිළිබඳ වූ විශේෂ  නියෝජිත සමග අන්තර් ක්‍රියාකාරී සංවාදය

2020 සැප්තැම්බර් 17

 

සභාපතිතුමියණි,

මෙම මණ්ඩලය දැනුවත්ව ඇති පරිදි, “ ඵලදායී මහජනතාවක්, තෘප්තිමත් කුටුම්භයක්, විනයගරුක සහ සාධාරණ සමාජයක් සහ සමෘද්ධිමත් ජාතියක් “ යන සිව් වැදෑරුම් ප්‍රතිදානය සාක්ෂාත් කර ගැනීම අරමුණු කොටගත්   ප්‍රතිපත්තිමය කාර්ය රාමුවක් ක්‍රියාත්මක කිරීම පිණිස , පසුගිය නොවැම්බර් මාසයේදී, ශ්‍රී ලාංකීය ජනතාව විසින් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමන්ට අති මහත් ජනවරමක් ලබා දෙන ලදී. මනාප නියෝජන ක්‍රමවේදය යටතේ පවත්වන ලද මැතිවරණයකදී ශ්‍රී ලාංකීය ඉතිහාසයෙහි පළමුවරට මෙතෙක් නොවූ විරූ 59.09 ක ප්‍රතිශතයක ජනවරමක්, පසුගිය මාසයේදී  පවත්වන ලද මහා මැතිවරණයේදී ශ්‍රී ලාංකික ජනතාව විසින් දෙවන වරටත් ලබා දෙන ලදී. මේ වූකළී පළමු ජනවරම යළිත් තහවුරුකිරීමක් වන අතර, කිසියම් හෝ බලාධිකාරයකට නොනැමී, ජනතාවට ආරක්ෂාව සලසමින් සහ රටෙහි පරමාධිත්‍යය ආරක්ෂා කරමින්, දේශයේ සශ්‍රීකත්වය  අරමුණු කොටගත්  ඉදිරි ගමන්මගකට ස්වකීය සහයෝගය දැක්වීමේ පැහැදිලි සංඥාවක්ද වේ.

ලෝකයේ අතිශයින් බලවත් රටවල්වුවද  කොවිඩ්-19 වසංගතය හමුවේ අසරණ භාවයට ලක්වූ කාල වකවානුවක, කොවිඩ්-19 වසංගත ව්‍යාප්තිය ග්‍රහණය කර ගනිමින් එකී අභියෝගයට සාර්ථකව මුහුණදීමට ශ්‍රී ලංකාව සමත්කරවීමේ ගෞරවය හිමිවිය යුත්තේ    ශක්තිමත් දේශීය  සෞඛ්‍ය සත්කාරක ක්‍රමවේදයක සහාය ලත්  මනාව සම්බන්ධීකරණිත යාන්ත්‍රණයකටය.

සභාපතිතුමියණි,

කොවිඩ්-19 යෙන් පැන නගින ලද අභියෝග සංසිඳවීම සඳහා ශ්‍රී ලංකා රජය විසින් ගනු ලැබූ පියවර ගණනාවක්ම දැක්විය හැකි අතර, අඩු ආදායම්ලාභී පවුල්, විශ්‍රාමිකයින් සහ ආබාධ සහිත පුද්ගලයින්, දෛනික-ආදායම් උපයන්නන් සහ ගොවීන්ට මුල්‍යමය සහාය දැක්වීම, සම්බන්ධීකරණ ක්‍රමවේදයක් හරහා ශ්‍රී ලාංකිකයන් නැවත මව්රටට ගෙන්වා ගැනීම, පවත්නා කර්මාන්තවලට සහාය දක්වමින් නව ආර්ථික ප්‍රවණතාවයන් නිර්මාණය කිරීම පිණිස ව්‍යාපාරික පිවිසුම් මාර්ගයන්  විමසා බැලීම සහ ගොවියා, පාරිභෝගිකයා සහ සැපයුම්කරුවා අතර සම්බන්ධතාවය ගොඩ ගැනීම,   අත්‍යාවශ්‍ය  අයිතමයන් සහ සේවාවන් සැපයීම, සහ දුරස්ථ අධ්‍යාපනය ඇතුළත් වන පරිදි, ඩිජිටල් තාක්ෂණය භාවිතයට ගැනීම කරා ගමන් කිරීම  ඉන් සමහරකි.

වැඩි සම්පත්වලින් සපිරි රටවලවලට වඩා,  මධ්‍යස්ථ වත්කමකින් යුක්තව වුවද, වඩාත් සක්‍රීයව කොවිඩ්-19 වසංගතය පාලනය කර කරගැනීමෙහි ලා ශ්‍රී ලංකාවේ ප්‍රයත්නයන් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රශංසාවට භාජනය වූ අතර, එහිලා ස්තුතිය හිමිවන්නේ  මනාව සංවිධිත මහජන සෞඛ්‍ය ක්‍රමවේදයකට සහ රජය විසින් ගනු ලැබූ ප්‍රතික්‍රීය ක්‍රියාදාමයටය. සෞඛ්‍ය මාර්ගෝපදේශයන් අනුගමනය කරමින්,  වසංගතයක් මධ්‍යයේ, පසුගිය මාසය ආරම්භයේදී,  71% ක ඡන්දදායක සහභාගිත්වයෙන්  සාර්ථක පාර්ලිමේන්තු මැතිවරණයක් දකුණු ආසියානු කලාපයෙහි මුලින්ම පවත්වන ලද්දේ අප විසිනි.එක්සත් ජාතීන්ගේ හදිසි ළමා ආරක්ෂක සංවිධානය විසින් ප්‍රශංසාවට ලක් කරණ  ලද පරිදි, මේ මාසයේදී,  ආරක්ෂා සහිතව පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන් කැඳවා ගනිමින් පාඨශාලා  විවෘත කළ මුල්ම දකුණු ආසියානු රටවල් අතර ශ්‍රී ලංකාවද සිටී. ශ්‍රී ලංකාව සංචාරකයින් සඳහා කෙම්බිමක් බව ලෝක චාරිකා සහ සංචාරණ කවුන්සිලය විසින් මෑතකදී ප්‍රකාශයට පත් කෙරිණ.

සභාපතිතුමියණි,

පසුගිය වසරේ රජය  රටෙහි පාලනයට පත් වන විට, රටෙහි ආරක්ෂාව සම්බන්ධයෙන් මහජනතාව තුළ පැවැති විශ්වාසය 2019 වසරේදී සිදුවූ පාස්කු  ඉරිදා ප්‍රහාරය හේතු කොට ගෙන බරපතළ ලෙස පළුදුවී තිබුණි. . “සෑම පුරවැසියෙකුටම තමන්ගේ හෝ තම පවුලේ සාමාජිකයින්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් කිසියම් හෝ භීතියක් නොමැතිව  ජීවත්විය හැකි  වාතාවරණයක් ” නිර්මාණය කිරීමේ  අරමුණ සහිතව,  මෙම රජයේ මූලික අවධානය ජාතික ආරක්ෂාව තහවුරු කිරීම බව අගෝස්තු මස 20 වන දින නව පාර්ලිමේන්තුව විවෘත කිරීමේ අවස්ථාවේදී ජනාධිපතිතුමන් විසින් ප්‍රකාශයට පත් කරණ ලද ප්‍රතිපත්ති ප්‍රකාශණයෙහි එතුමන් විසින් අවධාරණය කරණ ලදී

අනාගතය උදෙසා වන ස්වකීය දැක්මෙහි තෙවැදෑරුම් මුඛ්‍ය ස්ථම්භයන්, එනම්; ජාතික ආරක්ෂාව, මිත්‍රශිලී නොබැඳි විදේශ ප්‍රතිපත්තිය සහ ජනතා කේන්ද්‍රීය ආර්ථික සංවර්ධනය  මත රජයේ ප්‍රතිපත්ති කාර්ය රාමුව පදනම්වනු ඇත.

මෙකී දැක්මෙහි පිහිටා, පහත දැක්වෙන පරිදි, සංවිධානාත්මක අපරාධ සහ මත්ද්‍රව්‍ය උවදුර  වැනි සමාජීය දුසිරිත්වලින් ජනතාව ආරක්ෂා කර ගැනීම ඇතුළුව,  ග්‍රාමීය ආර්ථිකය ඉහළ නැංවීමට සහ භූ මට්ටමේ සාමාජීය ආර්ථික ගැටළු කෙරෙහි අවධානය යොමු කිරීමට පියවර ගණනාවක්ම ගෙන ඇත.

  • නව මුලපිරීම් මත පදනම්වූ අද්විතීය ආර්ථික ව්‍යුහයක් සම්පාදනය කිරීම ඔස්සේ නිෂ්පාදන ආර්ථිකයක් නිර්මාණය කිරීම පිණිස අදාල ආයතනයන් මෙහෙයවීම, දේශීය  කර්මාන්තකරුවන් සහ ව්‍යවසායකයින් ප්‍රවර්ධනය කරනු ලබන  ජනතා-කේන්ද්‍රීය ආර්ථිකයක් ස්ථාපිත කර ගැනීම පිණිස  ඒකාබද්ධ මෙහෙයුම් ක්‍රියාත්මක කිරීම සහ සිවිල් ජන ජීවිතයෙහි සාමාන්‍ය තත්ත්වය පවත්වා ගෙන යාම පිණිස සෞඛ්‍ය සහ අධ්‍යාපන කාර්ය සාධන බලකායයන් විසින් දියත් කර ඇති ක්‍රියාකාරකම්වලට  අවධානය යොමු කරන අතරතුර,  සියළුම ආයතනයන් හා සමග සම්බන්ධතාවය පවත්වා ගෙන යමින් නිපැයුම් බෙදාහැරීම පිණිස පියවර ගැනීම අරමුණු කොට ගෙන, ආර්ථික පුනරුදය සහ දරිද්‍රතාවය පිටු දැකීමේ ජනාධිපති කාර්ය සාධන බලකාය ස්ථාපිත කෙරිණ.
  • ජාතික ආරක්ෂාවට සහ නීතියේ සමාන හා සාධාරණ ආරක්ෂාව  අවධාරණය කරමින්, රටක සංවර්ධනය අරමුණු කොට ගත් ආර්ථික උපායමාර්ග ස්ථාපිත කිරීමෙහි ලා රටක ප්‍රධානතම  සාධකයක් බව හඳුණා ගනිමින්, නීතියේ නියමයන්ට සහ සාධාරණත්වයට ගරු කරන්නාවූ සදාචාරාත්මක, විනයගරුක සහ නීත්‍යානුකූළ සමාජයක් ගොඩ නැගීමේ ප්‍රමුඛතම වගකීමට අනුගත වෙමින් ආරක්ෂිත දේශයක් සහ   ධාර්මික,විනයගරුක හා නීතිගරුක සමාජයක් ගොඩනැගීම උදෙසා වන  ජනාධිපති කාර්ය සාධන බලකාය ස්ථාපිත කෙරිණ.

සභාපතිතුමියණි,

-      ද්‍රරිද්‍රතාවය සහ අසමානතාවය කෙරෙහි අවධානය කිරීමේ ප්‍රමුඛතාවයයට අනුගත වෙමින්, සියළුම ප්‍රජාවන් ආවරණය වන පරිදි,   රටෙහි අතිශයින් ඌන වරප්‍රසාදිත පවුල් නියෝජනය වන පුද්ගලයින් 1,00,000 ක් සඳහා සේවා නියුක්තිය සලසාදීමේ වැඩ සටහනක් දියත් කර ඇත.ඒ හා සමගම, උපාධිධාරීන් 60,000 කට රැකියා අවස්ථා සපයමින්,  කාර්යක්ෂමව ස්වකීය සේවය ලබා දීම සඳහා  පුහුණු කරවීමේ සැලසුම්ද ක්‍රියාත්මක වෙමින් පවතී.

-      ආර්ථික පුනරුදය උදෙසා ජනතා-කේන්ද්‍රීය ආර්ථිකයක් සලසා ගැනීමේ අරමුණ ඇතිව, අමාත්‍යාශ ස්ථාපිත කිරීමේදී, කෘෂිකර්මය, වැවිලි, ධීවර, සම්ප්‍රදායික කර්මාන්ත සහ රටෙහි බහුතරයක් කෙරෙහි බලපෑමක් ඇති ස්වයං-රැකියා අවස්ථා ප්‍රවර්ධනය වැනි ක්ෂේත්‍රයන් ආවරණය වන පරිදි විෂයයන් සහ කාර්ය භාරයන්  අනුයුක්ත කිරීම කෙරෙහි විශේෂ අවධානය යොමු කෙරිණ.

-      මානව සම්පත් සංවර්ධනය ප්‍රමුඛතාවයක් ලෙස හඳුණා ගෙන ඇති අතර, අධ්‍යාපන විෂයය එක් අමාත්‍යාංශයක් යටතට පවරා, එහි විවිධ වගකීම් සඳහා රාජ්‍ය අමාත්‍යවරුන් සිව් දෙනෙකු පත් කෙරිණ. පෙර-පාසල්, අධ්‍යාපන ප්‍රතිසංස්කරණය, කුසලතා වර්ධනය මෙන්ම දහම් පාසල් සහ භික්ෂු අධ්‍යාපනය යන විෂයයන්ගේ වැදගත්කම සැළකිල්ලට ගෙන,   වෙන වෙනම රාජ්‍ය අමාත්‍යාංශ ස්ථාපිත කර ඇත.

-      සියළුම පාර්ශ්වයන්ට ස්වකීය අදහස් ඉදිරිපත් කිරීමේ අවස්ථාව සැලසෙන අන්දමේ  පිරිපුන් ප්‍රජාතාන්ත්‍රික ක්‍රියාදාමයකින් පසු, පාර්ලිමේන්තුව ඔස්සේ ඉදිරිපත් කරනු ලබන 20 වන සංශෝධන කෙටුම්පත සාකච්ඡාවට සහ විවාදවට භාජනය කෙරෙනු ඇත.

සභාපතිතුමියණි,

හිටපු විශේෂ  නියෝජිත, පැබ්ලෝ ද ග්‍රීෆ් මහතාගේ වාර්තාවෙහි හුවා දක්වා ඇති ගැටළු කෙරෙහි ශ්‍රී ලංකාවේ අවධානය යොමු වන අතර, රජයේ ප්‍රතිපත්ති ක්‍රියාරාමුව ප්‍රකාර,  දේශීයව නිර්මාණය කර ක්‍රියාවට නංවන ලද ක්‍රියාදාමයක් ඔස්සේ ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙහි කාර්ය රාමුව තුළ සංහිඳියාව, වගවීම සහ මානව අයිතිවාසිකම් සාක්ෂාත් කර ගැනීම පිණිස කැපවී සිටින බවට, මාර්තු මාසයේදී පැවැති 43 වන සැසියේදී  30/1 යෝජනා සම්මතයේ සම-අනුග්‍රාහකත්වය ඉල්ලා අස්කර ගැනීම  ප්‍රකාශයට පත් කිරීමේදී පෙන්වා දෙන ලද තත්ත්වය යළි යළිත් ප්‍රකාශ කර සිටීමට කැමැත්තෙමු.

43 වන සැසියේදී මෙම මණ්ඩලයට විස්තර කර දෙන ලද පරිදි, කවුන්සිලය විසින් ක්ෂේත්‍රගත යථාර්ථයන් පිළිගනිමින්,රටෙහි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙහි විධිවිධානයන් සහ පරාමිතීන් ඇතුළත, පරිපූර්ණ ප්‍රවේශයක් සහිතව පෙරට යාම පිණිස අවශ්‍ය අවකාශය ශ්‍රී ලංකා රජය සඳහා ලබා දෙනු ඇතැයි යන අවංක හා අව්‍යාජ බලාපොරොත්තුව පෙරදැරි කර ගෙන, මෙම උත්තරීතර සභාවෙහිදී වැඩදායී සංවාදයක යෙදීම අද දින ශ්‍රී ලංකාවේ අපේක්ෂාවයි. මෙම වසරේ  පෙබරවාරි මාසයේදී මෙම මණ්ඩලය ඉදිරියේ  ලබා දෙන ලද සහතිකවීම්වලට අගෝස්තු මස 05 වන දින නව පාර්ලිමේන්තුව තෝරා පත්කර ගැනීමත් සමග බලයට පත්වූ නව රජය, ඇප කැපවී සිටින බව තවදුරටත් සඳහන් කර සිටීමට ශ්‍රී ලංකාව කැමැති වේ.

වසර හතරහමාරකට වැඩි කාලයක් තිස්සේ සැබෑ සංහිඳියාවක් සලසා දීමට අපොහොසත්වූ  බාහිර පාර්ශවයන් මගින් ක්‍රියාත්මක කරවන  කාර්ය රාමුවක් තුළ තවදුරටත් ක්‍රියා කිරීම තෝරා ගැනීම වෙනුවට, ශ්‍රී ලංකාවේ යහපත තකා, ජනතාව විසින් ලබා දෙන ලද ජනවරම මත පිහිටා, සාක්ෂාත් කර ගත හැකි සංහිඳියා පියවර කෙරෙහි ශ්‍රී ලංකාවේ අවධානය යොමුව ඇත.

සභාපතිතුමියණි,

ගරු විදේශ කටයුතු අමාත්‍යතුමන් විසින් 43 වන සැසියේදී  සඳහන් කරණ ලද පරිදි,  ශ්‍රී ලංකාවෙහි  සහ එහි ජනතාවගේ ලැදියාවන්ට අනුකූළව,  පරිපූර්ණ,  දේශීයව නිර්මාණය කර ක්‍රියාවට නංවන ලද සංහිඳියා සහ වගවීම් ක්‍රියාදාමයක් ඔස්සේ  තිරසාර සංවර්ධනයක්  උදා කරගැනීමේ  රජයේ ප්‍රවේශය මෙම මණ්ඩලය විසින් අගයනු ඇතැයි අපි අපේක්ෂා කරමු.

අවශ්‍ය තැන්හි ආයතනික ප්‍රතිසංස්කරණයන් සහිතව, විධිමත් ප්‍රජාතාන්ත්‍රික සහ නීත්‍යානුකළ  ක්‍රියාදාමයන් ඔස්සේ, ප්‍රත්‍යෙක සහ සාමූහික අයිතිවාසිකම් ඉදිරියට ගෙනයාම, සාධාරණත්වය සහ සංහිඳියාව  තහවුරු කරලීම සහ සමාජයේ අනාරක්ෂිත ජනකොටස්වල ගැටළු කෙරෙහි අවධානය යොමු කිරීම අරමුණු කොටගත්  2030 තිරසාර සංවර්ධන න්‍යාය පත්‍රය යටතේ ස්වකීය ඉච්චානුගත වගකීම්වලට අනුගත වන අන්දමට, නිම නොවී පවත්නා උද්දේශයන්  කෙරෙහි අවධානය යොමු කිරීමට රජය පියවර ගනු ඇත.

සභාපතිතුමියණි,

විශේෂ නියෝජිතයාගේ සංචාරයෙන් පසුව, සත්‍යය, සාධාරණත්වය, හානිපූරණය ප්‍රවර්ධනය සහ  නැවත ඇති නොවීම සහතිකවීම් පිළිබඳව ලබා ඇති කැපී පෙනෙන සුළු  ප්‍රගතිය ප්‍රමාණවත්ව සහ ධනාත්මකව කියාපෑමට වාර්තාව අසමත්වන බව පෙනී යන හෙයින්, එය  දැනට ශ්‍රී ලංකාවේ පවතින තත්ත්වය  පිළිබිඹු කරන්නක් නොවේ.   තවද, සියළුම ජන කොටස් මත පිහිටා සත්‍යය, සාධාරණත්වය, හානිපූරණය ප්‍රවර්ධනය සහ  සහ නැවත ඇති නොවීම   සහතිකවීම් කෙරෙහි අවධානය යොමු කිරීමෙහි ලා නීති සම්පාදනයෙහි සහ  ගෙන ඇති ප්‍රගතිශීලි පියවරයන්හි  ශ්‍රී ලංකා රජය සාක්ෂාත්කර ගෙන ඇති ප්‍රගතිය සටහන් කිරීමක්ද  එහි සිදු කර නැත.

එසේම,  සිවිල් නීති අධිකරණ  බලයට පටහැණිව, පොදු නීති අධිකරණ බලයක[ නීතිපතිගේ භූමිකාවත්,  නීතිප්‍රකාරව,  ව්‍යවස්ථාමය සහ ව්‍යවස්ථානුකූල පරාමිතීන් ඇතුළත  බලතල භාවිතය, රාජකාරි සහ කාර්යයන්  ඉටු කිරීම නීතිපති විසින් කළ යුතු බවත් වාර්තාවෙහි සැළකිල්ලට ගෙන නැත. මෙකී සන්දර්භයෙහි ලා‍, නීති ක්ෂේත්‍රයෙහි ප්‍රධානියා සහ  රජයේ ඉහළම නීති නිලධාරියා ලෙස ශ්‍රී ලංකාවේ නීතිපතිවරයා විසින්, සත්‍යය ස්ථාපිත කර ගැනීමේ  එකම  අරමුණින්, මුළුමණින්ම  අබද්ධවීමේ,  මුළුමණින්ම ස්වාධීන වීමේ සහ  අපක්ෂපාතීව ක්‍රියා කිරීමේ වගකීම අධිකරණයට,  රජයට සහ ජනතාව වෙනුවෙන් ඉටු කළ යුතු වන බව සටහන් කර ගත යුතු වේ.

ඒ අනුව, නීතිපතිවරයාගේ භූමිකාව සම්බන්ධයෙන් වන යොමු කිරීම, අවඅර්ථායනයක් මෙන්ම දුස්සංකලපනයක්ද  වන අතර, නීතිපති කාර්යාලය සම්බන්ධයෙන් එහි කර ඇති යොමු කිරීම සාධාරණීකරණයෙන් හෝ නීති පදනමකින් තොරව කරණ ලද්දකි.

සභාපතිතුමියණි,

එහි යොමු ගත, සිදු කර ඇතැයි කියැවෙන “ තර්ජනාත්මක බිය වැද්දීම්”, “ සෝදිසි කිරීමේ ආකාරයන් ” සහ “ හිංසා පිළිබඳ පැමිණිළි” සම්බන්ධයෙන්,  නීතිය බලාත්මක කිරීමේ ආයතනවල හෝ ශ්‍රී ලංකා මානව හිමිකම කොමිෂන් සභාව හෝ ජාතික පොලිස් කොමිෂන් සභාව වැනි  ස්වාධීන ජාතික ආයතනවල  විධිමත් පැමිණිළි ගොනු කරන මෙන් අදාල පාර්ශ්වයන් වෙත අප විසින් කරණ ලද ආරාධනයන් නැවත නැවතත් කිරීමට අප අදහස්  කරණ අතර,  එවිට එකී දෝෂාරෝපිත සිද්ධීන්  විභාග කිරීමට  කටයුතු කළ හැකිය.

රජය විසින් දැනටමත් මෙම චෝදනා ප්‍රසිද්ධියේ ප්‍රතික්ෂේප කර ඇති අතර, භාෂණයේ නිදහස  සහ සිවිල් සමාජ  අන්තරය ආරක්ෂා කිරීමට සහ ප්‍රවර්ධනය කිරීමටත්,  ජනමාධ්‍යවේදීන්,   මානව හිමිකම් සුරකින්නන් සහ සිවිල් සමාජවලට කර ඇති බව කියැවෙන  පහරදීම් සම්බන්ධයෙන් ලැබී ඇති පැමිණිළි විභාගකර, නඩු පැවරීමට රජය ඇපකැප වී සිටී.

එසේම,  ශ්‍රී ලංකා රජය විසින් පසු කාලයකදී  විශ්වාසණීය සාක්ෂි ඇතිව  සාර්ථකව  නිෂ්ප්‍රභා කර ඇති, රජය විසින් කරණ ලදැයි කියැවෙන තර්ජනයන් සහ හිංසනයන් අදාල කර ගත් ව්‍යාජ වෘත්තාන්තයන් ගෙතීමට උත්සාහ කරන්නාවූ  යම් යම්  පාර්ශවයන් සම්බන්ධයෙන්  මණ්ඩලයට අනතුරු හැඟවීම යෝග්‍ය වේයැයි අපි අදහස් කරමු.

තවද,  ජාතික ආරක්ෂාව වෙනුවෙන්, විශේෂයෙන්ම විනාශකාරී  පාස්කු ඉරිදා  ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු, චර්යාගත ආරක්ෂා පද්ධති මෙහෙයවීම හැර,   ආරක්ෂක හමුදා හෝ බුද්ධී නියොජිතායතන විසින් රටෙහි කිසියම් හෝ විශේෂිත ජන කොටසක් අධීක්ෂණය කිරීමෙහි නිරතව සිට නැත. රැඩිකල්වාදී සහ අන්තවාදී මූලධර්මානුකූල ලෝකයක, අනිෂ්ට ලෙස සමීප වන උපායමාර්ගික විදග්ධතාවය මධ්‍යයේ,   ජාතික ආරක්ෂාව පිළිබඳ ලැදියාවන් ඇපයට තබා කටයුතු කිරීම නිසා, ඕනෑම රටකට ශෝචනීය විපාකයනට මුහුණ දීමට සිදුවන බව අපි විශ්වාස කරමු.  එහෙයින්, මෙකී සන්දර්භයෙහි ලා, මූලික යථාර්ථයන් ගැන විමසිලිමත්ව කටයුතු කරණ මෙන් ශ්‍රී ලංකාව සියළුම අදාල පාර්ශ්වයන්ගෙන්  ඉල්ලා සිටී.

අවසාන වශයෙන්,  ශ්‍රී ලංකා රජය එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස් කාර්යාලය සහ  එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් යාන්ත්‍රණයන් හා සමග ස්වකීය නිමග්නතාවය අඛණ්ඩව  පවත්වා ගෙන යනු ලබන අතර, දේශීය ප්‍රමුඛතා සහ ප්‍රතිපත්ති වලට අනුගත වෙමින්,  ජාත්‍යන්තර ප්‍රජාව හා සමගද  සමීපස්ථ සහයෝගයෙන් කටයුතු කරනු ඇත.

ස්තුතියි.

Print Friendly, PDF & Email
Please follow and like us:

Close