අංක A/HRC/40/L.1 දරන ‘ශ්‍රී ලංකාවේ සංහිඳියාව, වගවීම සහ මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීම’ යන මැයෙන් වූ මානව හිමිකම් කවුන්සිල යෝජනාව සම්මත කරගැනීම සම්බන්ධයෙන් විදේශ කටයුතු අමාත්‍ය ගරු තිලක් මාරපන මහතා විසින් කරන ලද ප්‍රකාශය

අංක A/HRC/40/L.1 දරන ‘ශ්‍රී ලංකාවේ සංහිඳියාව, වගවීම සහ මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීම’ යන මැයෙන් වූ මානව හිමිකම් කවුන්සිල යෝජනාව සම්මත කරගැනීම සම්බන්ධයෙන් විදේශ කටයුතු අමාත්‍ය ගරු තිලක් මාරපන මහතා විසින් කරන ලද ප්‍රකාශය

      Photo 1 - Copyමානව හිමිකම් කවුන්සිලයේ 40 වැනි සැසිවාරය
 
ශ්‍රී ලංකා නියෝජිත පිරිසේ නායක,
 විදේශ කටයුතු අමාත්‍ය ගරු තිලක් මාරපන මහතා ජ.නී, පා.ම, විසින් කරනු ලබන ප්‍රකාශය
2019 මාර්තු 21 වැනිදා
 
න්‍යාය පත්‍ර අයිතම 2- අංක A/HRC/40/L.1 දරන ‘ශ්‍රී ලංකාවේ සංහිඳියාව, වගවීම සහ මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීම යෝජනාව සම්මත කරගැනීම
 
සභාපතිතුමනි,
මානව හිමිකම්, සංහිඳියාව සහ වගවීම විෂයෙහි තවදුරටත් ප්‍රගතිය අත්කර ගැනීම සඳහා 2021 මාර්තු දක්වා වසර දෙකක දිගුවක් ලබා දෙන 40/L.1  යෝජනා සම්මතය,  ශ්‍රී ලංකාවේ දේශපාලනික කැපවීමත් 2015 වසරේ සිට රජය විසින් දැනටමත් ගෙන ඇති ප්‍රගතිශීලී පියවරත් පිළිගැනීමේ සලකුණක් වශයෙන් ශ්‍රී ලංකා රජය සලකනවා.
මෙම කවුන්සිලයේ වැඩකටයුතු කෙරෙහි ශ්‍රී ලංකාව සතු විවෘත සහ ඵලදායී ප්‍රවේශය ඉතා හොඳින් හඳුනාගනු ලැබ තිබෙනවා. අප ප්‍රධාන මානව හිමිකම් ගිවිසුම් සංවිධාන හතක් සහ විශ්ව කාලාන්තර සමාලෝචනය සමඟ සහසම්බන්ධයෙන් කටයුතු කොට ඇති අතර, මානව හිමිකම් විශේෂ නියෝජිතයන් සහ ස්වාධීන විශේෂඥයන් විසින් කරන ලද ශ්‍රී ලංකා සංචාර අටකටද පහසුකම් සපයා දී තිබෙනවා.  ඒ මඟින්, ශ්‍රී ලංකාව කඩිනමින් ක්‍රියාත්මක කළ යුතු  1000 කට අධික නිර්දේශ සංඛ්‍යාවක් ලැබී තිබෙනවා.
සභාපතිතුමනි,
මා මේ කවුන්සිලය ඉදිරිපිටදී ඊයේ දින ප්‍රකාශ කළාක් මෙන්, අප අපගේ ප්‍රමුඛතාවන් නිවැරදිව සකස් කළ යුතුව ඇති අතර, දේශයේ උත්තරීතර නීතිය වූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සැපයෙන ප්‍රතිපාදනවලින් මාර්ගෝපදේශනය ලැබ, රටේ ජාතික අභිලාෂයත් එක හා සමානව සියලු ශ්‍රී ලාංකිකයන්ගේ සුබ සාධනයත් ආරක්ෂා කිරීම පිණිස නව්‍ය හා ප්‍රායෝගික විසැඳුම් සෙවීමට කැපවී සිටිනවා. මේ වසරේ යෝජනා සම්මතයට ශ්‍රී ලංකාව සම අනුග්‍රාහකත්වය ලබාදීමෙන්, මේ සිදුවීම් ක්‍රමික අවසානයක් කරා ගෙනයෑම සහතික වීම සඳහා මෙම පරාමිතීන් තුළ අප අඛණ්ඩව ඉදිරියට යන බවට අදාළ සියලු පුද්ගලයන්ටත්, විශාලතර ශ්‍රී ලාංකික සමාජයටත්, රටෙන් පිට සිටින අපගේ සියලු සංවාදකයන්ටත් සහතිකයක් ලැබෙනවා.
සභාපතිතුමනි,
අවශ්‍ය පරිද්දෙන් අපගේ හවුල්කරුවන්ගෙන් අප වෙත ලැබුණු සහය හා සහයෝගය වෙනුවෙන් අප ප්‍රසාදය පළ කරන අතර, බිම් මට්ටමේ ඇති කරුණු තහවුරු කරගැනීමෙහිලා අදාළ දේශීය ආයතන සහ ජාතික මානව හිමිකම් කොමිසම ඇතුළු ස්වාධීන ආයතන සමඟ සමීපව කටයුතු කරන මෙන් මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් කාර්යාලයට ඇරයුම් කරනවා. ශ්‍රී ලංකාව අත් කරගෙන ඇති ප්‍රගතිය පිළිබඳවත්, එය මුහුණ දෙන සැබෑ අභියෝග පිළිබඳවත් වඩාත් වාස්තවික හා යථාර්ථවාදී තක්සේරුවක් ඊළඟ වසරේ මෙම කවුන්සිලයට ඉදිරිපත් කිරීම සඳහා මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් කාර්යාලයට ඉන් රුකුලක් ලැබෙනු ඇති.
සභාපතිතුමනි, අවසාන වශයෙන්,  ලක්ෂ්‍ය කණ්ඩායමේ සාමාජිකයන් විසින් දරන ලද ප්‍රයත්න අගය කරන්නටත්,  අද දින පොදු එකඟත්වයෙන් මෙම යෝජනාව සම්මත කරගැනීමට සහය දීම සම්බන්ධයෙන් මෙම කවුන්සිලයේ සියලුම සාමාජිකයන් වෙත ස්තූතිය පළ කරන්නටත්  ශ්‍රී ලංකාව මෙය අවස්ථාවක් කර ගන්නවා.
ස්තූතියි.

 

Print Friendly, PDF & Email
Please follow and like us:

Close