විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා ආසියාන් කලාපීය සංසදයේ 31 වැනි අමාත්‍ය මණ්ඩල රැස්වීම අමතයි

විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා ආසියාන් කලාපීය සංසදයේ 31 වැනි අමාත්‍ය මණ්ඩල රැස්වීම අමතයි

විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මහතා ජූලි 27 වැනි දින ලාඕසයේ පැවති ආසියාන් කලාපීය සංසදයේ 31 වැනි අමාත්‍ය මණ්ඩල රැස්වීම අමතමින් කෘත්‍රිම බුද්ධිය වැනි නව සහ නැගී එන තාක්ෂණයන්හි අනිසි භාවිතය වැළැක්වීමට අවශ්‍ය පියවර ගැනීමේ අරමුණින් ඒවායේ ආරක්ෂාව ඇතුළු නැගී එන අභියෝගවලට සාමූහික විසඳුම් ලබා දීම කෙරෙහි අවධානය යොමු කරන ලෙස ආසියා පැසිෆික් කලාපයෙන් ඉල්ලා සිටියේය.

සාමය, ආරක්ෂාව සහ සහයෝගිතාව ප්‍රවර්ධනය කිරීම සඳහා ආසියා පැසිෆික් කලාපයේ ප්‍රයත්නයන් අඛණ්ඩව පවත්වා ගැනීමට අමතරව, සයිබර් සහ ජාල ආරක්ෂණ පද්ධති සඳහා පවතින අභියෝගවලට මුහුණ දීම සහ අන්තර්ජාතික සංවිධානාත්මක අපරාධ මැඩලීම සඳහා සංසදය පියවර ගත යුතු බව විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය. කලාපයේ සමහර ප්‍රදේශවල සිදුවන සයිබර් අපරාධ මධ්‍යස්ථාන සහ රැකියා ජාවාරම්වලට එරෙහිව තීරණාත්මක ක්‍රියාමාර්ග ගන්නා ලෙස ඔහු ඉල්ලා සිටියේය.

ආසියාන් සංවිධානයේ සභාපතිත්වය දරන ලාඕ මහජන ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයේ නියෝජ්‍ය අගමැති සහ විදේශ අමාත්‍ය සලියම්සයි කොමාසි මහතා  විසින් ආසියාන් කලාපීය සංසදයේ සාමාජිකයින් 27 දෙනෙකු සහභාගීත්වයෙන් පැවති මෙම වසරේ සංසදයේ අමාත්‍ය මණ්ඩල රැස්වීමේ මුලසුන දරන ලදී.

රැස්වීමේදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මහතා, ආසියාන් රටවල් සමඟ ශ්‍රී ලංකාවේ ඓතිහාසික සබඳතා සහ විශේෂයෙන් ආපදා සහන, ප්‍රගුණනය වැළැක්වීම සහ නිරායුධකරණය යන ක්ෂේත්‍රවල සංවිධානයේ අන්තර් සැසි කිහිපයක සම සභාපතිවරයා ලෙස ශ්‍රී ලංකාවේ ක්‍රියාකාරී භූමිකාව පිළිබඳව විස්තර කළේය. ආසියාන් කලාපීය සංසදය විසින් දේශගුණ සාධාරණීකරණ වැඩසටහන්ද ආරම්භ කරන ලෙසත්, ආපදා සහන සහ ප්‍රතිචාර සඳහා ශක්තිමත් කලාපීය යාන්ත්‍රණයන් ස්ථාපිත කිරීමට මෙන්ම දේශගුණික සහ පාරිසරික අභියෝගවලට මුහුණ දීම සඳහා වඩාත් සහයෝගයෙන් කටයුතු කිරීමටත් ඔහු යෝජනා කළේය. මැදපෙරදිග මෙන්ම රුසියානු - යුක්රේන ගැටුම්වල මානුෂීය බලපෑම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ ස්ථාවරත්වය ප්‍රකාශ කළ අමාත්‍ය බාලසූරිය මහතා, කලාපයට සහ ගෝලීය ආර්ථිකයට ඇති වන අහිතකර ප්‍රතිවිපාක පිළිබඳව ද අවධාරණය කළේය. රාජ්‍ය අමාත්‍ය බාලසූරිය මහතා ආසියාන් කලාපීය සංසදයේ කටයුතු සඳහා ශ්‍රී ලංකාව අඛණ්ඩව කැපවන බවට ප්‍රතිඥා දුන්නේය.

මීට සමගාමීව, රාජ්‍ය අමාත්‍යවරයා පිලිපීනය, චීනය, යුරෝපා සංගමය, රුසියාව, බංගලාදේශය, පැපුවා නිව්ගිනියාව සහ ලාඕසය ඇතුළු රටවල් නියෝජනය කරමින් මෙම අවස්ථාවට සහභාගීවූ දූත පිරිස් හමු වුවේය.

2007දී අග්නිදිග ආසියාවේ මිත්‍රත්ව සහ සහයෝගිතා ගිවිසුමට අත්සන් තැබීමෙන් පසුව ශ්‍රී ලංකාව ආසියාන් කලාපීය සංසදය සමඟ සම්බන්ධ විය.

විදේශ කටයුතු අමාත්‍යාංශය

කොළඹ

2024 ජූලි 29 වැනි දින

 

 

Print Friendly, PDF & Email
Please follow and like us:

Close