2024 ජාත්‍යන්තර වෙළෙඳ ප්‍රදර්ශනය සහ සංස්කෘතික සංදර්ශනය පැවැත්වීම සඳහා සියල්ල සූදානම්

2024 ජාත්‍යන්තර වෙළෙඳ ප්‍රදර්ශනය සහ සංස්කෘතික සංදර්ශනය පැවැත්වීම සඳහා සියල්ල සූදානම්

 

 

 

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා විදේශ සේවා නිලධාරී සංගමය විසින් සංවිධානය කරනු ලබන ජාත්‍යන්තර වෙළෙඳ ප්‍රදර්ශනය සහ සංස්කෘතික සංදර්ශනය කොළඹ සිටින රාජ්‍යතාන්ත්‍රික නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් 2024 දෙසැම්බර් සත්වැනි සෙනසුරාදා ගුඩ් මාර්කට්, තුරඟ තරඟ පිටිය,  කොළඹ 07 යන ස්ථානයේදී පැවැත්වේ.

මෙම අවස්ථාවට විවිධ තානාපති කාර්යාලවල ආහාර සහ උසස් නිෂ්පාදන ප්‍රදර්ශනය කෙරෙන වෙළෙඳ කුටි රාශියක් ඇතුළත් වන අතර රාජ්‍යතාන්ත්‍රික නිලධාරීන් විසින් ඉදිරිපත් කරනු ලබන රටවල් රැසක සංස්කෘතික සංදර්ශන මෙන්ම ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ විලාසිතා නිර්මාණකරුවන් ඉස්මතු කරන විලාසිතා දැක්මක්ද ඇතුළත් වේ.

කොළඹ පිහිටි තානාපති කාර්යාල සහ මහ කොමසාරිස් කාර්යාල විසින් පිහිටුවන ලද කුටිවලින් ජාත්‍යන්තර වෙළෙඳ ප්‍රදර්ශනය සමන්විත වන අතර, ඒ සෑම කුටියක් මඟින්ම අදාළ රටේ උරුමය, නිර්මාණශීලිත්වය සහ ඔවුන්ගේ විශිෂ්ට ආහාරපාන පිළිබඳව පිළිබිඹු කරයි. නරඹන්නන්ට ලොව පුරා ඇති විවිධ ආහාර, සැබෑ කෞතුක වස්තු සහ අත්කම් ගවේෂණය කරමින් අද්විතීය අත්දැකීමක් මෙහිදී ලබා ගත හැකිවනු ඇත.

විවිධ රටවල සංස්කෘතික ඉදිරිපත් කිරීම්  විදහා දැක්වෙන මෙම සංස්කෘතික ප්‍රදර්ශනය එක් එක් සංස්කෘතීන්ගේ අව්‍යාජත්වය පිළිබිඹු කරයි. ආසියාවේ, අප්‍රිකාවේ, ඇමරිකාවේ, යුරෝපයේ සහ ඕස්ට්‍රේලියාවේ සංකීර්ණ සංස්කෘති අංගයන්  පිළිබඳ අවබෝධයක් ලබා දෙන මෙම දර්ශනීය සංදර්ශනය සම්ප්‍රදායික සංගීතය, නැටුම් සහ භාව ප්‍රකාශනයන්ගෙන් සමන්විත වේ.

ශ්‍රී ලාංකේය ඇඳුමේ උරුමයට උපහාරයක් වන මෙම විලාසිතා දැක්ම ශ්‍රී ලාංකේය ඇඳුම් නිර්මාණකරුගේ සැබෑ කලාත්මක බව සහ ශිල්පීයත්වය ප්‍රදර්ශනය කරනු ඇත. මෙරට විලාසිතා ක්ෂේත්‍රයේ සදාකාලික සුන්දරත්වය ඉස්මතු කරමින් රාජ්‍යතාන්ත්‍රික නිලධාරීන් විලාසිතා දැක්ම ඉදිරිපත් කරනු ඇත.

මෙම ජාත්‍යන්තර වෙළෙඳ ප්‍රදර්ශනය සහ සංස්කෘතික සංදර්ශනය මගින් රැස්වන සියලුම මුදල් ශ්‍රී ලංකාවේ රාගම පිහිටි, උතුරු කොළඹ අක්මා රෝග සඳහා වන මධ්‍යස්ථානයේ එම්.එච්. ඕමාර් අක්මා සත්කාර පහසුකම වෙත පරිත්‍යාග කෙරේ.

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා විදේශ සේවා නිලධාරී සංගමය විසින් ගෝලීය සංස්කෘතීන්ගේ පොහොසත් සමෝධානය සමරනු ලබන 2024 ජාත්‍යන්තර වෙළෙඳ ප්‍රදර්ශනය සහ සංස්කෘතික සංදර්ශනය නැරඹීම සඳහා පොදු මහජනතාවට සාදරයෙන් ඇරයුම් කෙරේ.

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය
කොළඹ

 

2024 දෙසැම්බර් 02 වැනි දින

 

Please follow and like us:

Close