ශ්‍රී ලංකාව හා වෙනිසියුලාව, සමීප ද්විපාර්ශ්වික සබඳතා ඇති කර ගැනීමට එකඟවෙයි

ශ්‍රී ලංකාව හා වෙනිසියුලාව, සමීප ද්විපාර්ශ්වික සබඳතා ඇති කර ගැනීමට එකඟවෙයි

15-

වෙනිසියුලා බොලිවේරියානු ජනරජය හා ආසියානු රටවල් අතර සමීප සහයෝගීතාව ප්‍රවර්ධනය කිරීම සඳහා නිරත වූ ආසියානු සංචාරයක කොටසක් වශයෙන්, වෙනිසියුලාවේ ආසියාව, මැද පෙරදිග සහ ශාන්තිකර සාගරය අවට රටවල් පිළිබඳ විදේශ කටයුතු  පිළිබඳ උප අමාත්‍ය රූබන් ඩාරියෝ මෝලීනා මහතා 2019 අගෝස‍්තු 24 - 28 දින වලදී ශ්‍රී ලංකාවට පැමිණියේ ය.

වෙනිසියුලාවේ විදේශ කටයුතු පිළිබඳ උප අමාත්‍යවරයා, අගෝස්තු 27 වැනි දින විදේශ කටයුතු අමාත්‍යාංශයේ දී විදේශ කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක මහතා සමඟ නිල සාකච්ඡා පැවැත්වීය. එහිදී දෙරට අතර සමීප සහයෝගීතාව ඇති කර ගැනීම සඳහා අනුගමනය කළ යුතු වැඩපිළිවෙළ පිළිබඳව දෙපාර්ශ්වයම සාකච්ඡා කළහ.

දෙරටේම අන්‍යොන්‍ය යහපත උදෙසා ව්‍යුහාත්මක සංවාදයක් ඇති කර ගැනීමට සහ ද්විපාර්ශ්වික සබඳතා වැඩි දියුණු කිරීමට ඉඩ කඩ සැලසෙන විදේශ කටයුතු අමාත්‍යාංශ දෙක අතර දේශපාලන උපදේශන යාන්ත්‍රණයක් සකස්කර ගැනීම සඳහා කෙටුම්පත් ගිවිසුමක් පිළිබඳව සාකච්ඡා පවත්වන ලදී. තවද, ශ්‍රී ලංකාව හා වෙනිසියුලාව අතර නිල සංචාර සඳහා පහසුකම් සැලසීමේ අරමුණින් රාජ්‍යතාන්ත්‍රික හා රාජකාරී විදේශ ගමන් බලපත්‍ර හිමියන් වීසා බලපත් ලබා ගැනීමෙන් නිදහස් කිරීම පිළිබඳව කෙටුම්පත් ගිවිසුමක් සම්බන්ධයෙන් ද ශ්‍රී ලංකා පාර්ශ්වය සමඟ සාකච්ඡා පවත්වන ලදී.

ලතින් ඇමරිකානු කළාපය කෙරෙහි ශ්‍රී ලංකාව වැඩි අවධානයක් යොමු කරන බව මෙම රැස්වීමේදී  අවධාරණය කරන ලද අතර දෙරටේ වෙළඳ හා ආර්ථික සහයෝගීතාව මෙන්ම පුද්ගලාන්තර සබඳතා අලුත් කර ගැනීම සහ පුළුල් කර ගැනීම සඳහා වූ ඉදිරි සැලැස්මක් සැකසීමට දෙරටේම ඇප කැප වීම ප්‍රකාශ කරන ලදී.

වෙනිසියුලා බොලිවේරියානු ජනරජයේ රජයට  සහ එහි ජනතාවට ජනාධිපති මෛත්‍රීපාල‍ සිරිසේන මැතිතුමා සුබ පැතුම් පිරිනමන බව රාජ්‍ය අමාත්‍ය සේනානායක මහතා මෙහිදී දන්වා සිටියේ ය. ශ්‍රී ලංකාව ආරම්භක සාමාජිකයෙකු වන නොබැදි ජාතීන්ගේ ව්‍යාපාරයේ (NAM) වර්තමාන සභාපතිත්වය උසුලනු ලබන්නේ වෙනිසියුලාව විසිනි.

විදේශ ලේකම් රවිනාථ ආර්‍ය්‍යසිංහ මහතා සහ විදේශ අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු ද රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක මහතා සමඟ පැවති මෙම රැස්වීමට එක් වූහ. ශ්‍රී ලංකාව සඳහා සමගාමීව අක්ත ගන්වා ඇති නවදිල්ලි නුවර පිහිටි වෙනිසියුලාවේ තානාපති කාර්යාලයේ අමාත්‍ය උපදේශක නෙස්ටර් එන්රීක් ලෝපෙස් මහතා ද උප අමාත්‍ය මොලීනා මැතිතුමා සමඟ මෙම සංචාරයට එක් විය.

 

 

විදේශ කටයුතු අමාත්‍යාංශය

කොළඹ
2019 අගෝස්තු 28 වැනි දින

12-

Print Friendly, PDF & Email
Please follow and like us:

Close