මියන්මාරයෙන් මුදාගනු ලැබූ මිනිස් ජාවාරමට ගොදුරු වූ ශ්‍රී ලාංකිකයෝ නිරුපද්‍රිතව ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනෙති

මියන්මාරයෙන් මුදාගනු ලැබූ මිනිස් ජාවාරමට ගොදුරු වූ ශ්‍රී ලාංකිකයෝ නිරුපද්‍රිතව ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනෙති

විදේශ කටයුතු අමාත්‍යාංශය, මියන්මාරයේ සහ තායිලන්තයේ ශ්‍රී ලංකා දූත මණ්ඩල සමඟ සම්බන්ධීකරණයෙන් මියන්මාර මිනිස් ජාවාරමට ගොදුරු වූ ශ්‍රී ලාංකිකයන් විසිදෙනකු ආපසු සියරට ගෙන්වා ගැනීම සඳහා සාර්ථකව පහසුකම් සැලසීය. ඔවුහු 2024 සැප්තැම්බර් 05 වැනි දින නිරුපද්‍රිතව කොළඹට පැමිණියහ.

අමාත්‍යාංශය විසින් ගනු ලැබූ අඛණ්ඩ ප්‍රයත්නයන්ගෙන් පසුව, මියන්මාරයේ සහ තායිලන්තයේ නීතිය බලාත්මක කිරීමේ බලධාරීන්ගේ සමීප සහයෝගයෙන් සහ උපකාරයෙන් 2024 අගෝස්තු 14 වැනි දින මෙම ශ්‍රී ලාංකිකයන් මියන්මාරයෙන් මුදාගනු ලැබ  ඉවත් කරනු ලැබිණි.

බැංකොක් නුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ නිලධාරීහු මියන්මාරයට ආසන්න තායිලන්තයේ මායිම් නගරයක් වන මෑ සොට්හිදී  මුදාගනු ලැබූ ශ්‍රී ලාංකිකයින් හමුවී ඔවුන් තායිලන්තයේ රැඳී සිටින කාලය තුළ ඔවුන්ගේ ආරක්ෂාව සහ යහපැවැත්ම තහවුරු කළහ. මොවුහු සියරට පිටත් කරවා හැරීමට අදාළ විධිමත් කටයුතු අවසන් වන තෙක් තායිලන්ත රජය විසින් ඔවුන්ට ආහාර, නවාතැන් සහ වෙනත් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සපයනු ලැබිණි. සංක්‍රමණය පිළිබඳ ජාත්‍යන්තර සංවිධානය ගුවන් ටිකට්පත් සහ ප්‍රවාහන පහසුකම් සපයා දීමෙන් මොවුහු සියරට පිටත් කරවා හැරීමට සහාය විය. කොන්සියුලර් කටයුතු අංශයේ අධ්‍යක්ෂ කාංචන බණ්ඩාර මහතා විසින් 2024 සැප්තැම්බර් 05 වැනි දින කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේදී ශ්‍රී ලාංකිකයන් විසිදෙනකුගෙන් යුත් කණ්ඩායම පිළිගනු ලැබිණි.

අමාත්‍යාංශයේ කොන්සියුලර් කටයුතු අංශය, යැංගොන් නුවර සහ බැංකොක් නුවර ශ්‍රී ලංකා දූත මණ්ඩල සහ අනෙකුත් අදාළ පාර්ශ්වකරුවන් සමඟ සහයෝගයෙන් ශ්‍රී ලාංකිකයන් මුදාගනු ලැබීම සහ ආපසු සියරට ගෙන්වා ගැනීම සම්බන්ධීකරණය කළේය.

මියන්මාරයේ මියවඩි ප්‍රදේශයේ ශ්‍රී ලාංකිකයන් තිස්පස්දෙනකු සිරවී සිටින බව විදේශ කටයුතු අමාත්‍යාංශයට දැනුම් දී තිබේ. ඔවුන් කඩිනමින් මුදාගනු ලැබීම සහ ආපසු සියරට ගෙන්වා ගනු ලැබීම සහතික කිරීම සඳහා අමාත්‍යාංශය අදාළ බලධාරීන් සමඟ අඛණ්ඩව කටයුතු කරයි.

විදේශ රැකියා සොයා යෑමේදී මිනිස් ජාවාරම්කරුවන්ට හසු නොවන ලෙස අමාත්‍යාංශය මහජනතාවගෙන් දැඩි ලෙස ඉල්ලා සිටියි. විදේශ රැකියා සුරක්ෂිත කිරීම සඳහා රජය විසින් අනුමත කරන ලද ක්‍රියා පටිපාටි තරයේ පිළිපදින ලෙසත් අනවසර ක්‍ර‍ෙ පිළිපැදීමෙන් වැළකී සිටින ලෙසත් අමාත්‍යාංශය ශ්‍රී ලාංකිකයින්ට උපදෙස් දෙයි.

විදේශ කටයුතු අමාත්‍යාංශය

කොළඹ

 2024 සැප්තැම්බර් 09 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close