කැනේඩියානු අගමැතිගේ ජන සංහාර චෝදනා ශ්‍රී ලංකාව ප්‍රතික්ෂේප කරයි

කැනේඩියානු අගමැතිගේ ජන සංහාර චෝදනා ශ්‍රී ලංකාව ප්‍රතික්ෂේප කරයි

2024 මැයි 18 වැනි දින කැනේඩියානු අගමැති ජස්ටින් ටෘඩෝ විසින් නිකුත් කරන ලද පණිවිඩයක ඇතුළත්වූ ශ්‍රී ලංකාව තුළ සිදුවූයේ යැයි කියන ඊනියා “ජන සංහාරය” පිළිබඳ අසත්‍ය චෝදනාව විදේශ කටයුතු අමාත්‍යාංශය ප්‍රතික්ෂේප කරයි.

ශ්‍රී ලංකා රජය මීට පෙර කරන ලද සියලුම සන්නිවේදනවලදී ජන සංහාරයක් පිළිබඳ එල්ලවන එම සාහසික චෝදනාව තරයේ ප්‍රතික්ෂේප කර තිබේ. කැනඩාවේ හෝ ලෝකයේ වෙනත් කවර ස්ථානයක හෝ කිසිදු නිසි බලධාරියෙකු ශ්‍රී ලංකාවේ ජන සංහාරයක් සිදුවී යැයි යන්න පිළිබඳ පරමාර්ථික තීරණයක් ගෙන නැත.

මෙම පදනම් විරහිත චෝදනා එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියේ මූලධර්මවලට පටහැනිව, වෙනම රාජ්‍යයක් සඳහා  එල්.ටී.ටී.ඊ.  සංවිධානය විසින් දියත් කරන ලද සන්නද්ධ බෙදුම්වාදී ත්‍රස්තවාදී ගැටුමේ අවසානය හා සම්බන්ධ වේ.  එල්.ටී.ටී.ඊ.  සංවිධානය යනු කැනඩාව ඇතුළුව ලොව පුරා රටවල් 33ක ලැයිස්තුගත ත්‍රස්ත සංවිධානයකි.

අග්‍රාමාත්‍ය ටෘඩෝ  ඉදිරිපත් කරන, ශ්‍රී ලංකාව තුළ සිදුව ඇතැයි කියනු ලබන ජන සංහාරය පිළිබඳ මෙම ව්‍යාජ ආඛ්‍යානය අනුමත කිරීම මඟින් විදේශයන්හි වෙසෙන ශ්‍රී ලාංකික උරුමයක් සහිත වටිනා ප්‍රජාවක් වන ශ්‍රී ලාංකික සම්භවයක් ඇති කැනේඩියානුවන් අතර වාර්ගික සංහිඳියාව බොහෝ සෙයින් කඩාකප්පල් වේ. සාමයට ලැදි මෙම පුරවැසියන් බොහෝ දෙනෙකු ශ්‍රී ලංකාව සමඟ අර්ථකාරී ලෙස කටයුතු කර ඇති අතර ඔවුන්ගේ සහයෝගය අපි පිළිගනිමු.

සිංහල, දෙමළ, මුස්ලිම්, මැලේ සහ බර්ගර් යන සියලුම ප්‍රජාවන්ට අයත් සිවිල් ජනතාව ශ්‍රී ලංකාවේ ගැටුමෙන් පීඩාවට පත් වූහ. එල්.ටී.ටී.ඊ සංවිධානයේ දෛනික මර්දනයෙන් විසමානුපාතික ලෙස පීඩාවට පත්වූයේ උතුරේ සහ නැගෙනහිර දෙමළ සිවිල් වැසියන්ගෙන් බහුතරයකි.  එල්.ටී.ටී.ඊ.  සංවිධානයේ කුරිරු ත්‍රස්තවාදී ක්‍රියා හේතුවෙන් සියලුම ජන කොටස් පීඩාවට පත්විය. පක්ෂග්‍රාහී ආඛ්‍යානය ලාංකීය අර්බුදයේ සංකීර්ණ යථාර්ථය නොතකන අතරම අගමැති ටෘඩෝගේ ප්‍රකාශය ශ්‍රී ලාංකිකයන් අතර අහිතකර ලෙස පැතිරෙමින් ශ්‍රී ලංකාවේ ජාතික සමගිය, සංහිඳියාව සහ ප්‍රගතිය සඳහා ශ්‍රී ලංකා රජය දරන  ප්‍රයත්නවලට බාධා පමුණුවයි.

කැනඩාව අපගේ ඉතිහාසය අසත්‍යයනය කිරීම වගකීම් විරහිත සාවද්‍ය තොරතුරු සැපයීමක් හා සමාන වේ. එය කැනඩාවේ හෝ වෙනත් ස්ථානයක හෝ වත්මන් සහ අනාගත පරම්පරාවන්ගේ මනස නොමඟ යවමින්, වෛරය දිරිගන්වමින් සිදු කෙරෙමින් පවතී. එය, එවැනි පණිවිඩ සමාජ මාධ්‍ය ඔස්සේද පහසුවෙන් සහ ක්ෂණිකව සම්ප්‍රේෂණය කිරීමේ හැකියාව පවතින නූතන ලෝකයේ සෑම ප්‍රදේශයකම සෑම අතකින්ම අන්තවාදය බල ගන්වයි.

එබැවින් සාමය සහ සහජීවනය ප්‍රවර්ධනය කිරීමෙහිලා  අන්‍යෝන්‍ය ගෞරවයෙන් යුතුව වගකීම භාර ගන්නා ලෙස අපි කැනේඩියානු රජයෙන් ඉල්ලා සිටිමු.

මීටම සම්බන්ධ එහෙත් වෙනත් මානයකින් බලන කල, කැනඩාව ශ්‍රී ලංකාව කෙරෙහි දක්වන අසමානුපාතික අවධානය එරටේ දෙබිඩි පිළිවෙත සඳහා පැහැදිලි උදාහරණයකි. කැනඩාව, ශ්‍රී ලංකාවේ ගැටුම සම්බන්ධයෙන් ව්‍යාජ ආඛ්‍යානයකට සහය දැක්වීම තෝරාගෙන ඇති අතරම, ලෝකයේ වෙනත් තැන්වල අප දකින දෛනික දරුණු මානුෂීය තත්ත්වයන් සම්බන්ධයෙන් චේතනාන්විත සංදිග්ධ බවක් පවත්වාගෙන යයි. තමන් මානව හිමිකම් පිළිබඳ ගෝලීය වශයෙන් පෙනී සිටින්නන් යැයි කියා ගන්නා කැනඩාව වැනි රටවල් ජාත්‍යන්තර ප්‍රජාව තුළ ක්‍රමයෙන් ඉහළ යන ධ්‍රැවීයකරණයට තුඩු දී ඇති ස්වාර්ථය පදනම් කරගත් සිය දෙබිඩි පිළිවෙත් හඳුනා ගැනීම ඉතා වැදගත් වේ.

පැහැදිලිවම, ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් කැනඩා අග්‍රාමාත්‍යවරයා විසින් පුන පුනා කරනු ලබන ප්‍රකාශ ශ්‍රී ලාංකික සම්භවයක් ඇති කැනේඩියානුවන් සුළු සංඛ්‍යාවකගේ කැමැත්ත සහ පෞද්ගලික අවශ්‍යතා මත අරමුදල් සැපයෙන කැනඩාවේ ඡන්ද බැංකු දේශපාලනයේ ප්‍රතිඵලයකි.

ජන සංහාරය පිළිබඳ චෝදනාව අපි තරයේ ප්‍රතික්ෂේප කරමු. සැබවින්ම, රාජ්‍ය නොවන දේශීය සංවිධාන සහ ජාත්‍යන්තර රතු කුරුස කමිටුව සහ එක්සත් ජාතීන්ගේ නියෝජිතායතන වැනි ජාත්‍යන්තර සංවිධාන සමඟ සහයෝගයෙන් ගැටුම පුරාවටම, රජය විසින් විපතට පත් ප්‍රදේශවලට ආහාර සහ ඖෂධ ඇතුළු මානුෂීය සැපයුම් නිතිපතා සහ ක්‍රමානුකූලව ලබා දෙන ලදී. එල්.ටී.ටී.ඊ. සංවිධානය විසින් සිරකොට තබන ලද සහ මිනිස් පලිහක් ලෙස භාවිතා කරන ලද සිවිල් වැසියන් සඳහා ගොඩබිම සහ මුහුදු මාර්ග ඔස්සේ ආහාර සහ ඖෂධ ලබා දීම සිදු විය. ඔවුන් එල්.ටී.ටී.ඊ. සංවිධානයේ සමාජිකයින්ද යන වග නොසලකා ජාත්‍යන්තර රතු කුරුස කමිටුවේ සහාය ඇතිව තුවාල ලැබූවන් ආරක්ෂිත ස්ථාන කරා යොමු කරවනු ලැබිණි. මානුෂීය අවශ්‍යතා නිරන්තරයෙන් විශ්ලේෂණයට ලක් කර ඒවාට විසඳුම් ලබා දෙන ලදී. මීට අමතරව, ගැටුම පුරාවටම, නිවාස, පාසල්, රෝහල්, මාර්ග සහ අනෙකුත් යටිතල පහසුකම් සඳහා වූ අවශ්‍යතා ඉටු කරමින්, සිවිල් ජීවිතය සහ ජීවනෝපාය අඛණ්ඩව පවත්වාගෙන යාමට හැකි වන පරිදි බලපෑමට ලක් වූ ප්‍රදේශවල සිවිල් පරිපාලනයේ අඛණ්ඩ පැවැත්ම රජය විසින් සහතික කරනු ලැබිණි.  උතුරු හා නැගෙනහිර පළාත්වල ප්‍රාදේශීය පරිපාලනයට අවශ්‍ය මූල්‍ය පහසුකම් සපයා එය පවත්වාගෙන යෑම  ශ්‍රී ලංකා රජයේ රාජ්‍ය සේවකයන් විසින් සිදු කරන ලදී.

ඊට සපුරාම පටහැණිව,  එල්.ටී.ටී.ඊ.  සංවිධානය සිය ජාවාරම් කරන ලද අවිආයුධවල බලයෙන් පාලනය කෙරුණු උතුරු සහ නැගෙනහිර පළාත්වල වාර්ගික 'පවිත්‍රණයේ' නිරත වෙමින්, රටේ සෑම ප්‍රදේශයකම සියලුම ජන කොටස්වලට අයත් සිවිල් වැසියන් කිසිඳු වගවිභාගයක් නොමැතිව පීඩාවට පත් කළේය. එල්.ටී.ටී.ඊ. සංවිධානය විසින් හිටපු විදේශ අමාත්‍ය ලක්ෂ්මන් කදිරගාමර් මහතා ඇතුළු මෙරට මධ්‍යස්ථ දෙමළ නායකත්වය ඉලක්ක කර ඝාතනය කරනු ලැබිණි.

ගැටුම අවසන් වීමෙන් පසු වර්තමාන ආර්ථික දුෂ්කරතා මධ්‍යයේ වුවද සංහිඳියාව, සමගිය සහ කල්පවත්නා සාමය හා ආරක්ෂාව ළඟා කර ගැනීම සඳහා ශ්‍රී ලංකා රජය විසින් බොහෝ පියවර ගෙන තිබේ. මෙම පියවර අඛණ්ඩවම ඉදිරියට ගෙන යෑමට ශ්‍රී ලංකා  රජය අදිටන් කොට ගෙන ඇත.

විදේශ කටයුතු අමාත්‍යාංශය

කොළඹ

2024 මැයි 21 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close