මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස් කාර්යාලයේ පුවත්පත් නිවේදනයේ ශ්‍රී ලංකාව ගැන සඳහන් කිරීම පිළිබඳව ශ්‍රී ලංකාව අවධානය යොමු කරයි

මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස් කාර්යාලයේ පුවත්පත් නිවේදනයේ ශ්‍රී ලංකාව ගැන සඳහන් කිරීම පිළිබඳව ශ්‍රී ලංකාව අවධානය යොමු කරයි

ජිනීවාහි එක්සත් ජාතීන් සඳහා ශ්‍රී ලංකා වැඩබලන නිත්‍ය නියෝජිත දයානි මෙන්ඩිස් මහත්මිය, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් මිෂෙල් බැචෙලෙට් වෙත ලිපියක් යවමින් මහ කොමසාරිස්වරිය විසින් 2020 ජූනි 03 දින COVID-19 කාලය තුළ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස “සීමා කිරීම සඳහා පියවර ගැනීම” සම්බන්ධයෙන් නිකුත් කරන ලද ශ්‍රී ලංකාව පිළිබඳ සඳහනක් තිබූ මාධ්‍ය නිවේදනයක සඳහන් කර ඇති චෝදනා සම්බන්ධයෙන් අවධානය යොමු කර තිබේ.

විශේෂයෙන්, COVID-19 වසංගත කාලසීමාවේදී, මහජන සෞඛ්‍යය ආරක්ෂා කිරීමේ අවශ්‍යතාවය මත වැරදි තොරතුරු හා සාවද්‍ය තොරතුරුවලට එරෙහිව කටයුතු කිරීමට සියලු රටවල් සහ රජයන් පියවර ගැනීම අත්‍යවශ්‍ය වී ඇති බව මෙම ලිපියෙන් අවධාරණය කෙරේ.මෙම ක්‍රියාමාර්ග 2020 මැයි 18 වන දින ලෝක සෞඛ්‍ය සම්මේලනයේදී (WHA) සම්මත කරන ලද COVID-19 ප්‍රතිචාරය පිළිබඳ සම්මුති යෝජනාවලියට අනුකූල වන අතර, මෙමඟින්, අනෙකුත් දේ අතර, COVID-19 පිළිබඳව  ජනතාවට විශ්වාසදායක හා සවිස්තරාත්මක තොරතුරු ලබා දෙන ලෙසත් වැරදි තොරතුරු හා සාවද්‍ය තොරතුවලට එරෙහිව පියවර ගන්නා ලෙසත්  සාමාජික රටවලින් ඉල්ලා සිටී.

2020 අපේ‍්‍රල් 01 වන දින ශ්‍රී ලංකාවේ වැඩබලන පොලිස්පතිවරයා විසින් නිකුත් කරන ලද අභ්‍යන්තර නියෝගයේ අන්තර්ගතය පැහැදිලි කරමින්, එම ලිපියෙන් අවධාරණය කෙරෙන්නේ මෙම නියෝගය මගින්  රජයේ සේවකයෙකුට ඔහුගේ / ඇයගේ රාජකාරිය ඉටු කිරීමේදී බාධා කිරීම, රජයේ සේවකයෙකුට වැරදි සහගත ලෙස අවහිර කිරීම, රජයේ සේවකයෙකු ඔහුගේ / ඇයගේ රාජකාරිය ඉටු කිරීමෙන් වළක්වා ගැනීම සඳහා සාපරාධී බලය යෙදවීම, නිරෝධායන නියෝගයකට අකීකරු වීම සහ පරිගණක තාක්ෂණය භාවිත‍යෙන් මහජන නීතිය හා සාමය හා නිරෝධායන ක්‍රියා පටිපාටිවලට බාධා ඇතිකරන ක්‍රියාවන් සිදුකිරීම්වලට අදාළවන නීති උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් හැර “හුදෙක් විවේචන හෝ ව්‍යාජ හෝ ද්වේෂ සහගත පණිවුඩ හුවමාරු කර ගැනීම හේතුකොටගෙන පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට උපදෙස් දී නොමැති බවයි”.

මෙවැනි පරිමාණයේ ගෝලීය වසංගතයකට මුහුණ දීමේදී ඇතිවන වෙනත් අභියෝග රාශියක් මධ්‍යයේ ශ්‍රී ලංකා රජය COVID-19 සම්බන්ධයෙන් තම ජනතාවගේ සෞඛ්‍යය හා සුරක්ෂිතතාව තහවුරු කිරීමේ කර්තව්‍යයේ මාස ගණනාවක් පුරා නියැලී සිටින බව ද එම ලිපියේ සඳහන් වේ. “ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ද පැසසුමට ලක් කරන ලද රජයේ අඛණ්ඩ ප්‍රයත්නයන්හි සාර්ථකත්වය මගින් මෙම බෝවන රෝගයේ ව්‍යාප්තිය පාලනය කිරීමට හා මහජනතාව, විශේෂයෙන් සමාජයේ අවදානමට ලක්විය හැකි කොටස් ආරක්ෂා කිරීමට හැකිවූ බව එය නිරීක්ෂණය කළේය. මෙය කිරීමට හැකිවී තිබෙන්නේ බොහෝ දුරට ජාතික වශයෙන් දක්වන ප්‍රතිචාරය සම්බන්ධයෙන්  සියලු පාර්ශවකරුවන් දක්වන  සහයෝගිතාවය මෙන්ම නිවැරදි තොරතුරු මහජනයාට සන්නිවේදනය කිරීම හේතුවෙනි”. “රජය විසින් මෙම පියවර ගෙන ඇත්තේ නිසි නීති ක්‍රියාවලියට අනුකූලව සහ මහජන ආරක්ෂාව සහ සෞඛ්‍යය වෙනුවෙන් මෙම වසංගත කාලසීමාවේදී සමාජයේ සියලු කොටස්වලට හානියක් සිදුකොට ඇති හෝ බලපෑම් ඇතිවීමට ඉඩකඩ ඇති අසත්‍යයන් මැඩපැවැත්වීමේ අරමුණින්” බවද මෙම ලිපියේ දැක්වේ.

ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ප්‍රකාරව මානව හිමිකම් ආරක්ෂා කිරීම හා ප්‍රවර්ධනය කිරීම සඳහා ශ්‍රී ලංකාව දක්වන කැපවීම යළිත් අවධාරණය කරන අතරම, රටවල් මුහුණ දී ඇති පෙර නොවූ විරූ ඉහත අභියෝගයන්ට සංවේදී වන ලෙසත් සහයෝගීතාවයේ නාමයෙන් කටයුතු කරන ලෙසත්  ශ්‍රී ලංකා රජය මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලයෙන් ඉල්ලා සිටියේය.

මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලයට (OHCHR) යවන ලද ලිපියේ සම්පූර්ණ පිටපත මීට අමුණා ඇත.

ජිනීවාහි ශ්‍රී ලංකා නිත්‍ය දූත මණ්ඩලය.

2020 ජූනි 08.

Letter1

Letter2

Print Friendly, PDF & Email
Please follow and like us:

Close