දකුණු ආසියාවේ පිහිටි ශ්‍රී ලංකා දූත මණ්ඩල මෙම කලාපයේ රටවල සිටින විදේශික ශ්‍රී ලාංකිකයින්ගේ ආරක්ෂාව සහතික කිරීම සඳහා කටයුතු කරයි

දකුණු ආසියාවේ පිහිටි ශ්‍රී ලංකා දූත මණ්ඩල මෙම කලාපයේ රටවල සිටින විදේශික ශ්‍රී ලාංකිකයින්ගේ ආරක්ෂාව සහතික කිරීම සඳහා කටයුතු කරයි

විදේශ අමාත්‍යාංශය සමඟ එක්ව, දකුණු ආසියාවේ රටවල පිහිටි ශ්‍රී ලංකා දූත මණ්ඩල එතෙර සිටින ශ්‍රී ලාංකික ප්‍රජාවන් සමඟ සමීපව කටයුතු කරමින් සිටින අතර, COVID-19 වසංගතයෙන් අනතුරුව මෙම කලාපයේ රටවල සිටින බොහෝ විදේශගත ශ්‍රී ලාංකිකයින්ට ආධාර සහ පහසුකම් සැලසීමට කටයුතු කරමින් සිටී. ඔවුන් සමඟ සමීප සබඳතා පවත්වා ගැනීමේ සහ ඔවුන්ගේ සුභසාධනය සැම විටම සහතික කිරීමේ අරමුණින් යුතුව, එක් එක් දූත මණ්ඩලයට අයත් වන ශ්‍රී ලාංකික සිසුන්ගේ සහ අනෙකුත් විදේශගත ශ්‍රී ලාංකිකයන් පිළිබඳ දත්ත ගබඩාවන් මෙම දූත මණ්ඩල මඟින් සම්පාදනය කෙරෙමින් පවතී.

COVID-19 වසංගතය පිළිබඳ අවදානම අවම වන තෙක් ඔවුන් වර්තමානයේ සිටින ස්ථානවලම රැඳී සිටින ලෙස සියලුම විදේශගත ශ්‍රී ලාංකිකයින්ගෙන් ඉල්ලා සිටිමින් ශ්‍රී ලංකා රජය මෑතකදී නිවේදනයක් නිකුත් කළ අතර, මෙම වෛරසයේ ව්‍යාප්තිය මෙරට තුළ මැඩපවත්වා ගැනීමෙන් අනතුරුව, නැවත ශ්‍රී ලංකාවට පැමිණීම සඳහා වන ඉල්ලීම් පිළිබඳව සලකා බලන බවට තවදුරටත් සහතික වී තිබේ.

මේ අතර, නවදිල්ලිය, චෙන්නායි, මුම්බායි, කත්මණ්ඩු, ඉස්ලාමාබාද්, ඩකා, කාබුල් සහ මාලේ යන නගරවල පිහිටි ශ්‍රී ලංකා දූත මණ්ඩල විශේෂ ඍජු දුරකථන ඇමතුම් මාර්ග සහ සමාජ මාධ්‍ය කණ්ඩායම් පිහිටුවා ඇති අතර, එම ජාලය හරහා එතෙර සිටින ශ්‍රී ලාංකිකයින්, ප්‍රජා සංවිධාන සහ නියෝජිතයින් සමඟ සම්බන්ධ වෙමින්, දේශීය රෙගුලාසිවලට අනුකූලව ඔවුන් වර්තමානයේ සිටින ස්ථානවල ආරක්ෂිත පරිසරයක රැඳී සිටීමට සහාය වීම සහ විවිධ ස්ථානවල සිටින ශ්‍රී ලාංකිකයන්ට ආහාර සහ වෙනත් අවශ්‍යතා සඳහා ප්‍රවේශය ඇති බව සහතික කිරීම සඳහා කටයුතු කරයි.

තවද, මෙම දූත මණ්ඩල අදාළ බලධාරීන් සමඟ සම්බන්ධීකරණය කරමින් සාකච්ඡා පවත්වා ඇති අතර, අවශ්‍ය පරිදි වීසා දීර්ඝ කිරීම් සඳහා මැදිහත් වී අනුමැතිය ලබාගෙන තිබේ. ජංගම උපාංග හරහා ප්‍රජාවට පණිවුඩ බෙදා හැරීම සඳහා සිංහල භාෂාවෙන් COVID-I9 වසංගතය පිළිබඳ දැනුවත් කිරීමේ පණිවිඩ සකස් කිරීමේ දී, ඇතැම් දූත මණ්ඩල ප්‍රාදේශීය සෞඛ්‍ය බලධාරීන් සමඟ සම්බන්ධ වී කටයුතු කර ඇත. කලින් දන්වන ලද පරිදි ඇතැම් ස්ථාන වසා දැමීමත් සමඟ, මෙම දූත මණ්ඩල රාජ්‍යතාන්ත්‍රික කාර්ය මණ්ඩලයේ නිවෙස්වල උප කාර්යාල පිහිටුවීමට, සිය නිවෙස්වල සිට රාජකාරි කටයුතු කිරීමට සහ ප්‍රජා සේවාවන් අඛණ්ඩව පවත්වාගෙන යාමට අවශ්‍ය පියවර ගෙන තිබේ.

මෙම රටවල විශ්වවිද්‍යාලවලට බඳවාගෙන සිටින ශ්‍රී ලාංකික සිසුන් විශාල පිරිසකට නේවාසිකාගාර, ආපනශාලා සහ වෛද්‍ය පහසුකම් සඳහා අඛණ්ඩව ප්‍රවේශය ලබා දීම සහතික කිරීම සඳහා, එම ශ්‍රී ලංකා දූත මණ්ඩල අදාළ අධ්‍යාපන ආයතන සමඟ සම්බන්ධතා පවත්වමින්, එම ශිෂ්‍ය කණ්ඩායම් සමඟ නිරන්තරයෙන් සම්බන්ධ වී සිටියි. නිවාඩු සහ විභාග කාලසටහන් නැවත සකස් කොට සිසුන්ට පහසුකම් සැලසීම සඳහා, මෙම දූත මණ්ඩල විශ්වවිද්‍යාල උපකුලපතිවරුන්, රෙජිස්ට්‍රාර්වරුන්, පීඨාධිපතිවරුන් සහ වෙනත් අධ්‍යාපන ආයතන සමඟ ද සාකච්ඡා පවත්වා ඇත. ශිෂ්‍යත්වලාභීන්ගේ ශිෂ්‍යත්ව මුදල් අඛණ්ඩව ලබා ගැනීම සහතික කිරීම සඳහා ද සාකච්ඡා පවත්වනු ලැබේ.

කලාපීය දෘෂ්ටි කෝණයකින් බලන කල, COVID-19 වසංගතයට එරෙහිව සටන් කිරීමේ ප්‍රයත්නයේ දී, සාමාජික රටවල ස්වේච්ඡා දායකත්වයෙන් සාර්ක් COVID-19 හදිසි අරමුදල පිහිටුවීමට සාර්ක් රටවල නායකයෝ මෑතක දී එකඟ වූ අතර, ශ්‍රී ලංකාව විසින් ලබා දීමට පොරොන්දු වූ ඇමරිකානු ඩොලර් මිලියන 5 ක මුදල ද ඊට අයත් වේ.

තවද, වර්තමාන මහජන සෞඛ්‍ය හදිසි අවස්ථාව සැලකිල්ලට ගනිමින්, ශ්‍රී ලංකාවේ වෛද්‍ය සේවාවන් ශක්තිමත් කිරීම සහ අඛණ්ඩව ඖෂධ සැපයීම හා සූදානම සහතික කිරීම පිණිස, එක් රජයකින් තවත් රජයකට මිලදී ගැනීමේ වැඩ පිළිවෙලක් ඔස්සේ ඖෂධීය ද්‍රව්‍ය හා වෛද්‍ය උපකරණ ලබා ගැනීම සඳහා විදේශ අමාත්‍යාංශය දැනටමත් දකුණු ආසියානු රටවලින් ද්විපාර්ශ්වික සහයෝගීතාව හා සහය ඉල්ලා ඇත.

COVID19 වසංගතය ව්‍යාප්ත වීම වැනි හදිසි අවස්ථාවල දී ශ්‍රී ලංකා රජයට ලොව පුරා සෑම තැනකටම ළඟා වී ආධාර සැපයීමට ශක්තිය ලබා දෙන අතිරේක පියවරක් ලෙස විදේශ අමාත්‍යංශය සහ ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ ඒජන්සිය (ICTA) විසින් ඒකාබද්ධව නිර්මාණය කරන ලද ‘ශ්‍රී ලංකාව අමතන්න’ මාර්ගගත වෙබ් ද්වාරයෙහි ලියාපදිංචි වන ලෙස එතෙර සිටින සියලුම ශ්‍රී ලාංකිකයන්ට ආරාධනා කර ඇත. මෙම මාර්ගගත ද්වාරය විදේශ අමාත්‍යාංශය විසින් පසුගිය සතියේ දී දියත් කරන ලදී.

විදේශ සබඳතා අමාත්‍යාංශය
කොළඹ
 2020 මාර්තු 31 වැනි දින
Print Friendly, PDF & Email
Please follow and like us:

Close