නිව්යෝර්ක් හි ශ්‍රී ලංකා දූත මණ්ඩලය ප්‍රථම වරට වාර්ෂික ලෝක මුහුදු තෘණ දිනය සමරයි

නිව්යෝර්ක් හි ශ්‍රී ලංකා දූත මණ්ඩලය ප්‍රථම වරට වාර්ෂික ලෝක මුහුදු තෘණ දිනය සමරයි


නිව්යෝර්ක් හි ශ්‍රී ලංකා නිත්‍ය දූත මණ්ඩලය ලෝක මුහුදු තෘණ දිනය සැමරීම නිමිත්තෙන් 2023 මාර්තු 1 වැනි දින ප්‍රථම වරට අතථ්‍ය උත්සවයක් සංවිධානය කළේ ය. ලෝක මුහුදු තෘණ දිනය පිළිබඳව පැවති මහා සභා රැස්වීමේ දී පළ වූ යෝජනාවට අදාළව එළඹි එකඟතාව අනුව මෙම දිනය නම් කරන ලදී. 2022 මැයි 23 වැනි දින ශ්‍රී ලංකාව විසින් ඊට සිය අනුග්‍රහය දක්වන ලදී. මෙම යෝජනාවට තවත් සාමාජික රටවල් 24ක් ද සම අනුග්‍රහය දැක්වී ය.

නිව්යෝර්ක් හි නිත්‍ය දූත මණ්ඩලය විසින් පවත්වන ලද මෙම අතථ්‍ය වැඩසටහනට ලෝක මුහුදු තෘණ  සංගමයේ ආචාර්ය මරියා පොටෝරොග්ලූ මහත්මිය සිදු කළ ප්‍රධාන ඉදිරිපත් කිරීමක් ඇතුළත් විය. එක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටහන විසින් ආරම්භ කරන ලද ප්‍රථම ගෝලීය මුහුදු තෘණ වාර්තාව වන 'Out of the Blue: The Value of Seagrass to the Environment and to People', එතුමිය විසින් මෙහෙයවන ලදී. එතරම් ප්‍රසිද්ධ නොවූ නමුත්, ඉතා වැදගත් සාගර පරිසර පද්ධතියක් වන මුහුදු තෘණ, පෘථිවියේ ජීවය සුරක්ෂිත කිරීම සඳහා දක්වන දායකත්වය කෙරෙහි එතුමිය මෙහිදී සිය අවධානය යොමු කළා ය. ආචාර්ය පොටෝරොග්ලූ මහත්මියගේ ඉදිරිපත් කිරීම, එක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටහනේ නිව්යෝර්ක් නුවර කාර්යාලයේ ප්‍රධානී සහ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සහකාර මහ ලේකම් ලිගියා නොරොන්හා මහත්මිය සිදු කළ දේශනයට පෙර පවත්වන ලදී. මේ සම්බන්ධයෙන් සමාන අදහස් දරන රටවල දූත මණ්ඩල ප්‍රධානීන්, නියෝජ්‍ය දූත මණ්ඩල ප්‍රධානීන් සහ යෝජනාවේ සම අනුග්‍රාහකයින් මෙම අවස්ථාවට සහභාගි වූ පිරිසට ඇතුළත් විය.

මෙම වැඩසටහන ආරම්භ කරමින් සිය අදහස් පළ කළ නිව්යෝර්ක් නුවර සිටින ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත මොහාන් පීරිස් මැතිතුමා, පෘථිවියේ හරවත් වටිනාකම් අනාගත තරුණ පරපුරට සහ දරු පරපුරට නොවෙනස්ව භුක්තිවිඳීමට හැකි වන බවට සහතික කරමින්, දේශගුණික විපර්යාස අවම කිරීමට පියවර ගැනීමේ අවශ්‍යතාව පිළිබඳව සඳහන් කළේ ය. තිරසාර සංවර්ධනය, මානව හිමිකම්, සාමය සහ ආරක්ෂාව සහ වෙනත් මාතෘකා පිළිබඳව සිදු කරනු ලබන විවාදයන්, දේශගුණික විපර්යාස හේතුවෙන් හටගන්නා එක් ව්‍යසනකාරී සිදුවීමක් ඔස්සේ පවා පසුබෑමකට ලක් කළ හැකි මට්ටමකට ලෝකය ළඟා වෙමින් පවතින බවද එතුමා සඳහන් කළේ ය.

මෙම පරිසර පද්ධතිය ජාත්‍යන්තර ප්‍රජාවගේ අවධානයට යොමු කිරීම සඳහා සහයෝගය දැක්වූ රාජ්‍ය සහ රාජ්‍ය නොවන අංශ කිහිපයක පුද්ගලයන්ගේ නම් සඳහන් කරමින් එම අවස්ථාවට සහභාගි වූ විදේශ කටයුතු අමාත්‍යංශයේ සාගර කටයුතු අංශයේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් හසන්ති උරුගොඩවත්ත දිසානායක මහත්මිය, ධනාත්මක ක්‍රියාමාර්ග ගැනීම සඳහා රාජ්‍ය සහ රාජ්‍ය නොවන අංශ විදහා දක්වන ක්‍රියාකාරී සහයෝගිතාව පිළිඹිබු කරන නිදසුනක්  ලෙස මෙම ජයග්‍රහණය හඳුනාගත හැකි බව ප්‍රකාශ කළා ය. දැනුවත්භාවය ගොඩනැගීමට සහ රාජ්‍යයන් ක්‍රියාකාරී ගමනක් සඳහා යොමු  කිරීමට සෑම රටකටම මුහුදු තෘණ පිළිබඳ ශූරයකු අවශ්‍ය බව මෙයින් විද්‍යමාන වන බව ආචාර්ය පොටෝරොග්ලූ මහත්මිය සඳහන් කළා ය.

ශ්‍රී ලංකාව ද සිය අනුග්‍රහය ලබා දුන් එක්සත් ජාතීන්ගේ ලෝක මුහුදු තෘණ දිනය පිළිබඳ යෝජනාව කෙරෙහි ගෝලීය වශයෙන් උනන්දුව සහ ආකර්ෂණය යොමුව ඇති අතර, බොහෝ රටවල් සහ ප්‍රජාවන් මෙම සුවිශේෂී පරිසර පද්ධතියේ වැදගත්කම පිළිබඳව අවබෝධ කරගෙන ඇත. ශ්‍රී ලංකාව ද, 2019 වසරේ දී තිරසාර නයිට්‍රජන් කළමනාකරණය පිළිබඳ එක්සත් ජාතීන්ගේ ගෝලීය ව්‍යාපාරයට මූලිකත්වය ලබා දෙමින්, ජෛවවිවිධත්වය විනාශයට ලක්වීමට තුඩු දෙන සහ වාසස්ථාන විනාශයට ඉවහල් වන ප්‍රධාන හේතුවකට විසඳුම් සෙවීමට කටයුතු කළේ ය. තවද, කඩොලාන පරිසර පද්ධති ප්‍රතිසංස්කරණය පිළිබඳ පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රියාකාරී කණ්ඩායමට ද සිය නායකත්වය ලබා දුන්නේ ය. දේශගුණික විපර්යාස අවම කිරීම සඳහා අවැසි ප්‍රත්‍යක්ෂ ක්‍රියාමාර්ග ගැනීම ඔස්සේ ගෝලීය සම්මුතියක් ගොඩනැගීම සඳහා ශ්‍රී ලංකාව විදහා දක්වන කැපවීම මෙම මුලපිරීම් මගින් පෙන්නුම් කෙරේ.

https://youtu.be/EvqIEu6eAto යන සබැඳිය ඔස්සේ මෙම වැඩසටහන නැරඹිය හැකි ය.

ශ්‍රී ලංකා නිත්‍ය දූත මණ්ඩලය

නිව්යෝර්ක්

2023 මාර්තු 02 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close