ලක්සම්බර්ග් හි දී ශ්‍රී ලංකා-ලක්සම්බර්ග් රාජ්‍යතාන්ත්‍රික සබඳතා සමරනු ලැබේ

ලක්සම්බර්ග් හි දී ශ්‍රී ලංකා-ලක්සම්බර්ග් රාජ්‍යතාන්ත්‍රික සබඳතා සමරනු ලැබේ

1972 වසරේ දී ශ්‍රී ලංකාව සහ ලක්සම්බර්ග් අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා ආරම්භ කිරීමෙන් පසුව, එනම් ප්‍රථම වතාවට ලක්සම්බර්ග්හි දී රාජ්‍යතාන්ත්‍රික උත්සවයක් පවත්වන ලදී. ශ්‍රී ලංකාවේ 75 වැනි නිදහස් සංවත්සරය සහ ශ්‍රී ලංකාව සහ ලක්සම්බර්ග් අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා පිහිටුවා වසර 50 ක් සපිරීමේ සංවත්සරය මෙහිදී සමරන ලදී. මෙම උත්සවය 2023 පෙබරවාරි 22 වැනි දින ලක්සම්බර්ග් හි හෙන්රි කුමරු සංස්කෘතික මධ්‍යස්ථානයේ දී පැවැත්විණි. ලක්සම්බර්ග් වෙත සමගාමීව අක්ත ගන්වා ඇති බෙල්ජියමේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය, ආයෝජන, වෙළඳාම සහ සංචාර සඳහා යෝග්‍ය ගමනාන්තයක් ලෙස ශ්‍රී ලංකාව ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් මෙම උත්සවය සංවිධානය ක‍ළේ ය.

ලක්සම්බර්ග් හි විදේශ හා යුරෝපීය කටයුතු අමාත්‍යංශයේ මහලේකම් ජීන් ඔලින්ගර් මහතා, ලක්සම්බර්ග් මහා ආදිපාද වසමේ  රජය නියෝජනය කරමින් ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වූ අතර, ලක්සම්බර්ග්හි වොල්ෆර්ඩෙන්ජ් නගරාධිපතිවරයා ගෞරවනීය ආරාධිත අමුත්තා ලෙස ඊට සහභාගි විය.

ලක්සම්බර්ග් හි විදේශ හා යුරෝපීය කටයුතු අමාත්‍යංශයේ නිලධාරීන්, රාජ්‍යතාන්ත්‍රික නිලධාරීන්, ව්‍යාපාරික ප්‍රජාව සහ සංචාරක ක්ෂේත්‍රයේ සාමාජිකයින්, මාධ්‍යවේදීන් සහ අනෙකුත් සුබ පතන්නන් මෙම උත්සවය සඳහා සහභාගි විය.

සම්ප්‍රදායික පොල්තෙල් පහන දල්වා ලක්සම්බර්ග් සහ ශ්‍රී ලංකාවේ ජාතික ගීත ගායනා කිරීමෙන් අනතුරුව මෙම උත්සවයේ වැඩ කටයුතු ආරම්භ කෙරිණි. ඉන් අනතුරුව, තානාපති ආසිර්වතම් මැතිනිය සහ මහලේකම් ජීන් ඔලින්ගර් මහතා විසින් දේශන ඉදිරිපත් කරන ලදී. තානාපති ආසිර්වතම් මැතිනිය සිය දේශනය අතුරතුර ශ්‍රී ලංකා ආර්ථිකයේ වත්මන් තත්ත්වය සහ  සමාජ-ආර්ථික ප්‍රතිසංස්කරණ තුළින් ආර්ථිකය පුනර්ජීවනය කිරීම සඳහා ශ්‍රී ලංකාව ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳව රැස්ව සිටි පිරිස දැනුම්වත් කළා ය. ශ්‍රී ලංකාව සහ ලක්සම්බර්ග් අතර පවතින සබඳතා තවදුරටත් වර්ධනය කිරීමට මෙන්ම, දෙරටේ ආර්ථික විභවයන් ප්‍රයෝජනයට ගැනීමට බලාපොරොත්තු වන බව තානාපති ආසිර්වතම් මැතිනිය ප්‍රකාශ කළා ය. දෙරට අතර පවතින සබඳතා නංවාලීම සඳහා වන නව ක්‍රම සහ විධි සොයා බැලීමේ අවශ්‍යතාව පිළිබඳව අවධාරණය කළ මහලේකම්වරයා, වර්තමාන භූ දේශපාලන සන්දර්භය තුළ සමීප හවුල්කාරිත්වය, පොදු අවබෝධය සහ අන්‍යෝන්‍ය විශ්වාසය යන  කරුණු හවුල්කරුවන් වශයෙන් ඉදිරියට යාම සඳහා දෙරටටම ඉතා වැදගත් වන බව සඳහන් කළේ ය.

ද්විපාර්ශ්වික සබඳතා පුළුල් කිරීමේ පියවරක් ලෙස, ශ්‍රී ලංකාවේ සහ ලක්සම්බර්ග් හි විදේශ කටයුතු අමාත්‍යංශ දෙක අතර ද්විපාර්ශ්වික උපදේශන පිළිබඳ අවබෝධතා ගිවිසුමකට සහ ලක්සම්බර්ග් වාණිජ මණ්ඩලය සහ ලංකා වාණිජ මණ්ඩලය අතර අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීමට නියමිත ය.

ප්‍රංශයේ තිසරවි නර්ථන පදනමේ නර්තන කණ්ඩායම ඉදිරිපත් කළ ශ්‍රී ලාංකික නර්ථනාංග හරහා මෙම සන්ධ්‍යාවට විචිත්‍රවත් බවක් එක් විය. ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරය පිළිබඳව ඉදිරිපත් කරන ලද  වාර්තා චිත්‍රපට කෙරෙහි මෙහිදී විශේෂ අවධානයක් යොමු වූ අතර එය අමුත්තන්ගේ ද නොමඳ අවධානයට ලක් විය. සම්ප්‍රදායික ශ්‍රී ලාංකික රාත්‍රී භෝජන සංග්‍රහයක් සහ ලංකා තේ පැමිණ සිටි පිරිස වෙත පිළිගන්වන ලදී.

මාධ්‍ය ආයතන කිහිපයක් මෙම උත්සවයට පෙර සහ පසුව සිය මාධ්‍ය ආවරණය ලබා දුන් හ.

පුවත්පත් කිහිපයක් තානාපතිනිය සමඟ සම්මුඛ සාකච්ඡා පැවැත්වූ හ.

යුරෝපයේ ධනවත්ම රට සහ බටහිර යුරෝපයේ කුඩා රටක් වන ලක්සම්බර්ග් මහා ආදිපාද වසම තුළ බොහෝ ආර්ථික අවස්ථා පවතී. ලක්සම්බර්ග් හි ආර්ථිකය බැංකු ක්ෂේත්‍රය, වානේ සහ කාර්මික අංශ මත වැඩි වශයෙන් රඳා පවතී. ශ්‍රී ලංකාව සහ ලක්සම්බර්ග් අතර වෙළඳ පරිමාණය සාපේක්ෂ වශයෙන් කුඩා වුවද, එය 2018 වසරේ  සිට සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇත.

 

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය

බ්‍රසල්ස්

2023 පෙබරවාරි 28 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close