එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයාට සහය පළ කරන ඒකාබද්ධ ලිපියට ශ්‍රී ලංකාව අත්සන් තබයි.

එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයාට සහය පළ කරන ඒකාබද්ධ ලිපියට ශ්‍රී ලංකාව අත්සන් තබයි.

ඊශ්‍රායල විදේශ කටයුතු අමාත්‍යවරයා විසින් එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා “පිළිගත නොහැකි පුද්ගලයෙකු” ලෙස නම් කරමින් පසුගියදා සිදු කළ ප්‍රකාශයට ප්‍රතිචාර වශයෙන් එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයාට සහය පළ කරන ඒකාබද්ධ ලිපියට ශ්‍රී ලංකාව අත්සන් තබා නොමැති බවට පළ වූ මාධ්‍ය වාර්තා කිහිපයක් කෙරෙහි විදේශ කටයුතු අමාත්‍යාංශයේ අවධානය යොමු වී තිබේ.

2024 ඔක්තෝබර් 11 දිනැති රාජ්‍යතාන්ත්‍රික ලිපිය මඟින්, ශ්‍රී ලංකාව එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයාට සහය පළ කරන ලිපියට අත්සන්කරුවෙකු වීමේ සිය අභිලාෂය, ​​ එකී ඒකාබද්ධ ලිපිය සම්බන්ධීකරණය කළ නිව් යෝර්ක් නුවර පිහිටි චිලී රාජ්‍යයේ නිත්‍ය දූත මණ්ඩලය වෙත දන්වා සිටියේය.

ශ්‍රී ලංකාව පලස්තීනය වෙත සිය දීර්ඝ කාලීන සහ තිරසර සහයෝගය අඛණ්ඩව ලබාදී ඇති අතර වසර ගණනාවක් පුරා පලස්තීන ජනතාව සමඟ සහයෝගිතාවෙහි සබඳතා පවත්වා ඇත. ශ්‍රී ලංකාව බහුපාර්ශ්වික සංසදවල ගාසා තීරයේ වර්තමාන දරුණු මානුෂීය තත්ත්වය සම්බන්ධයෙන් දැඩි කනස්සල්ල පළ කර ඇති අතර කඩිනම් සටන් විරාමයක් සඳහා වන ඉල්ලීමටද සහය දක්වා ඇත.

එක්සත් ජාතීන්ගේ සහන සහ ක්‍රියාකාරකම් ඒජන්සිය වෙත දක්වන නිරන්තර සහයෝගයද ඇතුළුව, අත්පත් කරගෙන සිටින පලස්තීන ප්‍රදේශ තුළ එක්සත් ජාතීන්ගේ අනිවාර්ය සහ අත්‍යවශ්‍ය මානුෂීය ප්‍රයත්නයන් සඳහා ශ්‍රී ලංකාව අඛණ්ඩව සහයෝගය දක්වයි. ශ්‍රී ලංකා සාම සාධක භටයන් දෙදෙනකුට තුවාල සිදු කරමින් දකුණු ලෙබනනයේ නකෝරාහි එක්සත් ජාතීන්ගේ අන්තර්වාර බලකා මූලස්ථානයට මෑතදී එල්ලවූ ප්‍රහාරය ශ්‍රී ලංකාව දැඩි ලෙස හෙළා දුටුවේය. විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා ඔක්තෝබර් 14 වැනි දින කොළඹදී රාජ්‍ය තාන්ත්‍රික ප්‍රජාව අමතා කළ ප්‍රකාශය මඟින් එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුබද්ධ නිලධාරීන්ගේ ආරක්‍ෂාව සහ ආරක්ෂණය සහතික කිරීමේ වගකීම සහ එක්සත් ජාතීන්ගේ සංවිධානයට අයත් පරිශ්‍රවල සීමා උල්ලංඝනය නොකිරීම තහවුරු කිරීමේ අවශ්‍යතාව අවධාරණය කළේය. 1968 දී එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල යෝජනා අංක 2443 මඟින් පිහිටුවන ලද පලස්තීන ජනතාවගේ සහ අත්පත් කරගෙන සිටින ප්‍රදේශවල වෙසෙන අනෙකුත් අරාබි ජාතිකයන්ගේ මානව හිමිකම්වලට බලපාන ඊශ්‍රායල පිළිවෙත් විමර්ශනය කිරීම සඳහා වූ එක්සත් ජාතීන්ගේ විශේෂ කමිටුවේ සභාපතිත්වයද ශ්‍රී ලංකාව විසින් දරනු ලබයි.

ඒ අනුව, එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා පමණක් නොව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ බලාධිකාරයද ආරක්ෂා කරන ලිපියට ශ්‍රී ලංකාව සිය පූර්ණ සහයෝගය දක්වයි.

විදේශ කටයුතු අමාත්‍යාංශය

කොළඹ

2024 ඔක්තෝබර් 21 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close