ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සමාලෝචනය කිරීම සඳහා අනුගමනය කළ ක්‍රියා මාර්ග සහ ප්‍රතිසන්ධානය පිළිබඳ ප්‍රගතිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව යුරෝපා සංගමයට දැනුම් දෙයි

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සමාලෝචනය කිරීම සඳහා අනුගමනය කළ ක්‍රියා මාර්ග සහ ප්‍රතිසන්ධානය පිළිබඳ ප්‍රගතිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව යුරෝපා සංගමයට දැනුම් දෙයි

යුරෝපා සංගමය සමඟ පවතින නිරන්තර සම්බන්ධතාවයේ සහ සංවාදයේ කොටසක් ලෙස, ප්‍රතිසන්ධානයේ නිශ්චිත ක්ෂේත්‍රයන්හි ප්‍රගතිය පිළිබඳව ශ්‍රී ලංකා රජය යුරෝපා සංගමය වෙත දැනුම් දී තිබේ.  ඒ අනුව, ජුනි 25 වැනි දින විදේශ අමාත්‍යාංශය විසින්, දැනට පවත්නා නීති සම්පාදනය, අතීත භාවිතයන් සහ ජාත්‍යන්තර විශිෂ්ට පරිචයන් අධ්‍යයනය කිරීමත් සමඟ 1979 අංක 48 දරණ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ විධිවිධාන නැවත සලකා බැලීම සඳහා සිදුකෙරෙන කාර්යයන් පිළිබඳව යුරෝපා සංගමයට දැනුම් දී ඇත.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සමාලෝචනය කිරීම සහ තෙමසක් ඇතුළත අමාත්‍ය මණ්ඩලය වෙත වාර්තාවක් ඉදිරිපත් කිරීම පිණිස, අමාත්‍ය මණ්ඩලයීය අනු කමිටුවක් සහ එම අමාත්‍ය මණ්ඩලයීය අනුකමිටුවට සහාය වීම සඳහා නිලධාරීන්ගේ කමිටුවක් පත් කිරීම සඳහා ජුනි 21 වැනි දින අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණය පිළිබඳව යුරෝපා සංගමයට දැනුම් දෙන ලදී. මේ සඳහා වූ නිලධාරීන්ගේ කමිටුව අධිකරණ, ආරක්ෂක, විදේශ කටයුතු, මහජන ආරක්ෂාව යන අමාත්‍යාංශ සහ නීතිපති දෙපාර්තමේන්තුව, නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා පොලිසිය සහ ජාතික බුද්ධි අංශ ප්‍රධානී කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නියෝජන සහිතව ජූනි 24 වැනි දින පත් කරනු ලැබීය.

ජනාධිපතිවරයා විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34 වැනි වගන්තිය ප්‍රකාරව තම බලතල ක්‍රියාත්මක කරමින්, ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ වරදකරුවන් කොට දඬුවම් නියම කරනු ලැබ සිටි හිටපු එල්ටීටීඊ සාමාජිකයින් දහසය (16) දෙනෙකුට ජුනි 24 වැනි දින සමාව ලබා දීම පිළිබඳව ද යුරෝපා සංගමය වෙත තවදුරටත් දැනුම් දෙන ලදී.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ දීර්ඝ කාලයක් තිස්සේ අධිකරණ භාරයේ රඳවා සිටින රැඳවියන් නිදහස් කිරීම සඳහා ක්‍රියාවට නංවා ඇති ක්‍රියාවලිය පිළිබඳව ද සංවිධානය දැනුවත් කරන ලදී.

දැනට ක්‍රියාත්මක වෙමින් පවතින ප්‍රතිසන්ධාන යාන්ත්‍රණවල ප්‍රගතිය සම්බන්ධයෙන්, වන්දි ගෙවීම සඳහා සකසන ලද හිමිකම් 1,230 ක් පියවීම සඳහා රජය විසින් ජුනි මාසයේ දී ශ්‍රී ලංකා රුපියල් මිලියන 79 ක් වන්දි ගෙවීමේ කාර්යාලයට මුදා හැරීම පිළිබඳව ද යුරෝපා සංගමයට දැනුම් දී තිබේ. මීට අතිරේකව, තවත් සකසන ලද හිමිකම් 3,389 ක් අතුරින්, හිමිකම් 1,451 ක් පියවීම සඳහා ශ්‍රී ලංකා රුපියල් මිලියන 80 ක් ජුනි 29 වැනි දින නිකුත් කරන ලදී.

ශ්‍රී ලංකා රජය යුරෝපා සංගමය සමඟ ක්‍රමවත්, සුහද හා බහුවිධ සංවාදයක් පවත්වා ගනී. මෙරට යුරෝපා සංගමයේ ජීඑස්පී+ පිළිබඳ මූලික ජාත්‍යන්තර සම්මුතීන් 27 ට අනුකූල වීම පිළිබඳ සමාලෝචනය මත ශ්‍රී ලංකාව සහ යුරෝපීය කොමිසම අතර පවත්නා ඵලදායී සහයෝගීතාව ද මෙයට අයත් වේ.

මේ සම්බන්ධයෙන්, ශ්‍රී ලංකාවේ 2020-2021 සඳහා වන ජීඑස්පී+ අධීක්ෂණ ක්‍රියාවලිය පිළිබඳ සමාලෝචනයේ තුන්වැනි චක්‍රය අඛණ්ඩව සිදු වෙමින් පවතී. මෙම ක්‍රියාවලියේ කොටසක් ලෙස,  වර්තමාන ජීඑස්පී+ අධීක්ෂණ චක්‍රය පිළිබඳ පසු විපරම් ප්‍රශ්න ලැයිස්තුව සඳහා ශ්‍රී ලංකා රජයේ පුළුල් ප්‍රතිචාරය, එකඟ වූ කාලරාමුව පිළිපදිමින් විදේශ අමාත්‍යංශය විසින් යුරෝපා කොමිසම වෙත රාජ්‍යතාන්ත්‍රික මාර්ග ඔස්සේ ලබා දී ඇත. විදේශ අමාත්‍යාංශය විසින් රේඛීය අමාත්‍යාංශ/ රාජ්‍ය අමාත්‍යාංශ/ ආයතන සහ කොමිෂන් සභා 26 ක් සමඟ සාකච්ඡා කොට, මෙම ප්‍රතිචාරය සම්පාදනය කරන ලදී.  මෙම තුන්වැනි චක්‍රය සඳහා වන ජීඑස්පී+ අධීක්ෂණ දූත කණ්ඩායමක් 2021 සැප්තැම්බර්/ ඔක්තෝබර් මාසවල අන්‍යෝන්‍ය වශයෙන් පහසු දිනවල දී ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.

ශ්‍රී ලංකාව සහ යුරෝපා සංගමය අතර නිරන්තර නිරත වීම සම්බන්ධයෙන්, මෙම වසරේ සිව්වැනි කාර්තුව තුළ අන්‍යෝන්‍ය වශයෙන් එකඟ වූ දිනවල දී පාලනය, ප්‍රජාතන්ත්‍රවාදය, මානව හිමිකම් සහ නීතියේ ආධිපත්‍යය පිළිබඳ ක්‍රියාකාරී කණ්ඩායම කැඳවීම සඳහා සැලසුම් කොට ඇත.

යුරෝපා සංගමය සමඟ සාකච්ඡා කොට ද්විපාර්ශ්වික සහයෝගීතාවය පිළිබඳ සියලු අංශ සමාලෝචනය කිරීම සඳහා, යුරෝපා සංගම්-ශ්‍රී ලංකා ඒකාබද්ධ කොමිසමේ 24 වන සැසිය 2022 පළමු කාර්තුවේ දී පැවැත්වීමට විදේශ අමාත්‍යාංශය අපේක්ෂාවෙන් පසුවේ.

රටේ ප්‍රතිසන්ධානය හා සංවර්ධනය යන අංශවල සැලකිය යුතු ප්‍රගතියක් පෙන්නුම් කරන අතරම, සිය බැඳීම් සම්බන්ධයෙන් යුරෝපා සංගමය සමඟ සමීප හා සුහද සංවාදය ශ්‍රී ලංකා රජය විසින් දිගටම පවත්වාගෙන යනු ඇත.

විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මැතිතුමා සහ විදේශ ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ මහතා ශ්‍රී ලංකා ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදයේ (JAAF), ශ්‍රී ලංකා මුහුදු ආහාර අපනයනකරුවන්ගේ සංගමයේ (SEASL) සහ වෘත්තීය සමිතිවල ජ්‍යේෂ්ඨ නියෝජිතයන් හමුවී, යුරෝපා සංගමයේ ජීඑස්පී+ සහනය තවදුරටත් රටට ප්‍රයෝජනවත් ලෙස පවතින බවට සහතික කිරීම සඳහා රජය දක්වන කැපවීම පිළිබඳව ඔවුන්ට සහතික විය. යුරෝපා සංගමය සමඟ රජය කටයුතු කිරීම පිළිබඳව යාවත්කාලීන කිරීමේ අදහසින් යුතුව, අදාළ වාණිජ මණ්ඩල සමඟ රැස්වීම් පැවැත්වීමට ද සැලසුම් කොට ඇත.

විදේශ අමාත්‍යාංශය

කොළඹ

2021 ජූලි 01 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close