ගෝලීය කොන්සියුලර් සහයෝගීතාව කෙරෙහි නව කැපවීමක් දක්වමින් FICAC දකුණු ආසියානු සමුළුවට ශ්‍රී ලංකාව සත්කාරකත්වය දරයි.

ගෝලීය කොන්සියුලර් සහයෝගීතාව කෙරෙහි නව කැපවීමක් දක්වමින් FICAC දකුණු ආසියානු සමුළුවට ශ්‍රී ලංකාව සත්කාරකත්වය දරයි.

FICAC දකුණු ආසියානු සමුළුවේ සමාරම්භක උත්සවයෙන් අනතුරුව, විදේශ කටයුතු විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත්, ජාත්‍යන්තර කොන්සියුලර් ආයතන සහ සංගම් සම්මේලනයේ (FICAC) සභාපති, උප සභාපති සහ ගෞරවනීය සාමාජිකයින් වෙනුවෙන් විශේෂ රාත්‍රී භෝජන සංග්‍රහයක් පැවැත්වීය. එම රාත්‍රී භෝජන සංග්‍රහය 2026 පෙබරවාරි 02 වැනි දින කොළඹ ෂැන්ග්‍රිලා හෝටලයේදී පැවැත්විණි.

රැස්ව සිටි සම්භාවනීය පිරිස පිළිගනිමින්, ජාත්‍යන්තර සහයෝගීතාව ශක්තිමත් කිරීමේදී මෙවැනි කටයුතුවල වැදගත්කම අමාත්‍ය හේරත් අවධාරණය කළේය. FICAC සමුළු, අන්‍යෝන්‍ය අධ්‍යයන, නිසි භාවිතයන් හුවමාරු කර ගැනීම සහ දිගු කාලීන වෘත්තීය සහ පුද්ගලික සම්බන්ධතා ගොඩනැගීම සඳහා වැදගත් වේදිකාවක් සපයන බව ඔහු පැවසීය.

අමාත්‍ය හේරත්, කොන්සියුලර් බලකායේ වෙනස් වන වගකීම් සහ වර්තමාන අන්තර් සම්බන්ධිත ගෝලීය පරිසරය තුළ ඒවායේ වර්ධනය වන වැදගත්කම පිළිබිඹු කිරීමට, රාත්‍රී භෝජන සංග්‍රහය, අවස්ථාවක් කොට ගත්තේය. ජනතාව සඳහා විශ්වාසදායක පළමු සම්බන්ධතා පුරුක ලෙස සැළකෙන කොන්සියුලර් නියෝජිතයින්,  සාම්ප්‍රදායික රාජ්‍යතාන්ත්‍රිකභාවයට අනුකූල වන සැලකිය යුතු මෘදු බලයක් භාවිතා කරන බව ඔහු සඳහන් කළේය. ඔවුන්ගේ වර්තමාන කාර්යභාරය, ආර්ථික රාජ්‍යතාන්ත්‍රිකභාවය සඳහා වන සහාය සහ ආරක්ෂාව, සංස්කෘතික සහභාගීත්වය, ආපදාවන්ට ප්‍රතිචාර දැක්වීම සහ ජනතාව අතර සම්බන්ධතාව යන අංශයන්ගෙන් ඔබ්බට විහිදෙන්නක් වේ.

දිට්වා සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ මෑත කාලීන අපදාවන් අමාත්‍යවරයා තවදුරටත් සිහිපත් කළ අතර, ජීවන තත්ත්වයන් සහ යටිතල පහසුකම් නැවත ගොඩනැගීම සඳහා වන ශ්‍රී ලංකාවේ ජාතික උත්සාහය ඉස්මතු කළේය. 2026 දී සංචාරකයින් මිලියන 3ක් මෙරටට ගෙන්වා ගැනීමේ ඉලක්කය පිළිබඳව සඳහන් කරමින්, ශ්‍රී ලංකා සංචාරක ව්‍යාපාරයේ තානාපතිවරුන් ලෙස කටයුතු කරන ලෙස ඔහු කොන්සියුලර් ප්‍රජාවෙන් ඉල්ලා සිටියේය. සිය අදහස් දැක්වීම අතරතුරදී, ශ්‍රී ලංකාවේ උණුසුම් ආගන්තුක සත්කාරය භුක්ති විඳීමට FICACහි සියලුම සාමාජිකයින්ට ආරාධනා කළේය.

FICACහි සභාපති නිකොලොස් මාගරොපොලොස් ද මෙම උත්සවයේදී සිය අදහස් ප්‍රකාශ කළේය. රාත්‍රී භෝජන සංග්‍රහය සංවිධානය කිරීම වෙනුවෙන් ඔහු ශ්‍රී ලංකාවට ස්තූති කළ අතර ශ්‍රී ලංකාව නැවත ගොඩනැගීමට සහ වෙළඳ ආයෝජන, සංචාරක ව්‍යාපාරය සහ ජනතාව අතර සම්බන්ධතා පුළුල් කිරීමට දරන උත්සාහයන් පිළිබඳව ඔහුගේ සහතික වෙමින්, සහයෝගීතාව පළ කළේය.

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය
කොළඹ

2026 පෙබරවාරි 06 වැනි දින

 

Please follow and like us:

Close