තම ආදරණීයයන් ඛේදජනක ලෙස අහිමි වූ විදේශිකයන්ගේ පවුල් වෙත ශ්‍රී ලංකාව සිය සහයෝගීතාවය පළ කරයි

තම ආදරණීයයන් ඛේදජනක ලෙස අහිමි වූ විදේශිකයන්ගේ පවුල් වෙත ශ්‍රී ලංකාව සිය සහයෝගීතාවය පළ කරයි

IMG_4250-21-04-20-01-06

2019 අපේ‍්‍රල් 21 වැනි පාස්කු ඉරුදින එල්ල වූ මරාගෙන මැරෙන ප‍්‍රහාරයේ වසරක සැමරුම වෙනුවෙන් ශ්‍රී ලංකාවේ සහ විදේශයන්හි පිහිටි දූත මණ්ඩල සඳහා අද දින පළ කළ පණිවුඩයක් මඟින් විදේශ සබඳතා අමාත්‍යාංශය මෙසේ ප්‍රකාශ කළේය:

“මීට වසරකට පෙර සිදුකළ ම්ලේච්ඡ ප්‍රචණ්ඩ ක්‍රියාවලින් අහිමි වූ හා සදහටම වෙනස් වූ සියලුම ජීවිත ශ්‍රී ලංකාව අද දින සිහිපත් කරයි. තම ආදරණීයයන් අහිමි වූ පවුල්වල ශෝකය අපි බෙදා හදා ගන්නා අතර, තම ජාතිකයන් අහිමි වූ අනෙකුත් රටවල් සමඟ එක්ව කටයුතු කරන්නෙමු.”

ලොව පුරා වෙසෙන කිතුනුවන්ගේ ඉමහත් ගෞරව බහුමානයට ලක්වන දිනයක දී කතෝලික පල්ලිවලට සහ හෝටල්වලට එල්ල වූ මෙම ප්‍රහාරවලින් ශ්‍රී ලාංකිකයන් මෙන්ම ලොව පුරා රටවල් 14 ක විදේශීය ජාතිකයන් ද ඇතුළු පුද්ගලයන් 270 දෙනෙකු ජීවිතක්ෂයට පත් වූ අතර, තවත් බොහෝ දෙනෙකුට තුවාල සිදු විය. මෙසේ ඝාතනයට ලක්වූවන් අතර ඕස්ට්‍රේලියාව, බංග්ලාදේශය, චීනය, ඩෙන්මාර්කය, ඉන්දියාව, ජපානය, නෙදර්ලන්තය, පෘතුගාලය, සවුදි අරාබිය, ස්පාඤ්ඤය, ස්විට්සර්ලන්තය, තුර්කිය, එක්සත් රාජධානිය සහ ඇමරිකා එක්සත් ජනපදය යන රටවල පුරවැසියන් ද වූහ.

මෙම දිනය මෙන්ම ශ්‍රී ලංකාවේ දී බොහෝ ජීවිත අහිමිවීම ද සිහිපත් කරමින්, මෙම ප්‍රහාරවලින් තම ජාතිකයන් අහිමි වූ, ශ්‍රී ලංකාව සඳහා අක්ත ගන්වන ලද රටවල පිහිටි ශ්‍රී ලංකා දූත මණ්ඩලවල නිලධාරීහු, එම විදේශිකයන්ගේ පවුල් අමතා ඔවුන්ට සිදු වූ වියෝව පිළිබඳව ශ්‍රී ලංකාවේ ශෝකය සහ අඛණ්ඩ සහයෝගීතාවය පළ කිරීමට පියවර ගත්හ. අනෙකුත් රටවල අයට ඔවුන්ගේ විදේශ කාර්යාල හරහා විධිමත් ශෝක පණිවුඩ මඟින් ශෝකය ප්‍රකාශ කරන ලදී. මේ පිළිබඳව එම පවුල්වලින් ද අදාළ නිලධාරීන් වෙත කෘතඥතාව පළවිය.

විදේශ සබඳතා අමාත්‍යාංශය
කොළඹ
2020 අප්‍රේල් 21 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close