බේරූට් හි පීඩාවට පත් ශ්‍රී ලාංකිකයන්ට ශ්‍රී ලංකා තානාපති කාර්යාලය අඛණ්ඩව සහාය ලබා දෙයි

බේරූට් හි පීඩාවට පත් ශ්‍රී ලාංකිකයන්ට ශ්‍රී ලංකා තානාපති කාර්යාලය අඛණ්ඩව සහාය ලබා දෙයි

2020 අගෝස්තු 06 වැනි දින වන විට බේරූට් හි පිපිරීම්වලින් තුවාල ලැබූ ශ්‍රී ලාංකිකයින්ගේ සංඛ්‍යාව පුද්ගලයින් 10 දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති අතර, තුවාල ලැබූවන්ගේ මුළු සංඛ්‍යාව 5,000 ඉක්මවා තිබේ. මියගිය සංඛ්‍යාව 137 ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, අතුරුදහන් වූවන්ගේ සංඛ්‍යාව පිළිබඳ තොරතුරු දැනට ලැබී නොමැත.

ලෙබනනය දින තුනක ජාතික ශෝක කාලයක් ප්‍රකාශයට පත් කළ අතර, එහි උත්තරීතර ආරක්ෂක මණ්ඩලය බේරූට් නගරය ආපදා නගරයක් ලෙස ප්‍රකාශයට පත් කළේය. 2020 අගෝස්තු 04 වැනි දින සිට සති දෙකක කාලයක් සඳහා එහි හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කර තිබේ. ලෙබනනය 2020 අගෝස්තු 10 වැනි දින දක්වා අගුලු දැමීමේ තත්වයේ පවතී.

ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට සහ නිලධාරීන්ගේ නිල නිවාසවලට සිදුව ඇති හානි ප්‍රතිසංස්කරණය කරන අතරතුර,  තානාපති කාර්යාලය දිනපතා පැය 0800 සිට පැය 1600 දක්වා අඛණ්ඩව මහජන සේවය සහ විමසීම්  කටයුතු සඳහා විවෘතව පවතියි. මෙම හදිසි ආපදා තත්ත්වය තුළ තානාපති කාර්යාලය හා නිරන්තරයෙන් සම්බන්ධ වෙමින් එහි සේවාවන් හා  උපදෙස් ලබා ගැනීමට විශාල ශ්‍රී ලාංකිකයන් පිරිසක් යොමුව ඇත.

වියළි සලාක බෙදා හැරීමේ වැඩසටහන අඛණ්ඩව සිදුවන අතර, විශාල පිරිසක් වියළි සලාක ඉල්ලා සිටී. සවිස්තරාත්මක තොරතුරු ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකා තානාපතිවරිය ලෙබනනයේ එක්සත් ජාතීන්ගේ අන්තර් බලකායේ (UNIFIL) සාම සාධක භටයන් මෙන්ම ලෙබනන් බලධාරීන් සමඟ ද ඉතා සමීපව කටයුතු කරයි.

මෙම සිදුවීම පිළිබදව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සහයෝගිතාවය සහ ශෝකය පළකිරීමේ පණිවුඩය ඊයේ, එනම් 2020 අගෝස්තු 05 වැනි දින ලෙබනන් ජනාධිපති මයිකල් අවුන් මැතිතුමා වෙත යවන ලද අතර, එදිනම එය ලැබුණු බව දන්වා එවා ඇත.

(අතිගරු ජනාධිපතිතුමාගේ ශෝක පණිවුඩය අමුණා ඇත.)

 

 

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය

බේරූට්

2020 අගෝස්තු 06 වැනි දින

 

Print Friendly, PDF & Email
Please follow and like us:

Close