ශ්‍රී ලංකාව භූ කම්පනයෙන් විපතට පත් තුර්කියට තේ පරිත්‍යාග කරයි

ශ්‍රී ලංකාව භූ කම්පනයෙන් විපතට පත් තුර්කියට තේ පරිත්‍යාග කරයි

ලංකා තේ අපනයනකරුවන්ගේ සහය ලබා ගත් ශ්‍රී ලංකා රජය, 2023 පෙබරවාරි 10 වැනි දින තුර්කියේ සිදු වූ ව්‍යසනකාරී භූ කම්පනයෙන් විපතට පත් වූවන්ට පරිත්‍යාග කිරීම සඳහා වූ “ලංකා තේ” තොගයක් කොළඹ සිටින තුර්කිය තානාපතිවරයා වෙත පිරිනැමී ය.

විදේශ කටයුතු අමාත්‍යංශයේ හදිසි ප්‍රතිචාර අංශයේ අධ්‍යක්ෂ ජනරාල් ඕ. එල්. අමීර් අජ්වාඩ් මහතා මෙම තේ පරිත්‍යාගය කොළඹ පිහිටි තුර්කි තානාපති කාර්යාලයේ දී තුර්කි තානාපති ඩෙමෙට් සෙකසියෝග්ලු මැතිතුමාට භාර දුන්නේ ය.

මෙම පරිත්‍යාගය පිළිබඳ කටයුතු අග්‍රාමාත්‍ය කාර්යාලය, විදේශ කටයුතු අමාත්‍යංශය සහ ශ්‍රී ලංකා තේ මණ්ඩලය විසින් සම්බන්ධීකරණය කරන ලදී.

විදේශ කටයුතු අමාත්‍යංශයේ යුරෝපා අංශයේ අධ්‍යක්ෂ ජනරාල් ප්‍රියංගිකා ධර්මසේන, ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ සභාපති නිරාජ් ද මෙල් සහ ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ ප්‍රවර්ධන අධ්‍යක්ෂ පවිත්‍රි පීරිස් යන මහත්ම මහත්මීහු ද මෙම අවස්ථාවට සහභාගි වූහ.

විදේශ කටයුතු අමාත්‍යංශය

කොළඹ

2023 පෙබරවාරි 14 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close