මියන්මාරයේ යාගී සුළි කුණාටුවෙන් විපතට පත් සිවිල් වැසියන්ට ශ්‍රී ලංකාවෙන් ලංකා තේ තොගයක් පරිත්‍යාග කෙරේ

මියන්මාරයේ යාගී සුළි කුණාටුවෙන් විපතට පත් සිවිල් වැසියන්ට ශ්‍රී ලංකාවෙන් ලංකා තේ තොගයක් පරිත්‍යාග කෙරේ

මියන්මාරයට බලපෑ යාගී සුළි කුණාටුවෙන් විපතට පත් ජනතාවට උපකාර කිරීමේ සහ සහයෝගීතාව දැක්වීමේ පියවරක් ලෙස සඳුදා (2024 ඔක්තෝබර් 14) විදේශ අමාත්‍ය විජිත හේරත් මහතා එම අමාත්‍යාංශයේදී කොළඹ පිහිටි මියන්මාර තානාපති මාලා තන් හයික් මහත්මිය වෙත ලංකා තේ කිලෝග්‍රෑම් 227 ක් සංකේතාත්මකව  ප්‍රදානය කළේය.

මෙම අභියෝගාත්මක අවස්ථාවේ ශ්‍රී ලංකා රජය සහ ජනතාව විසින් තේ පරිත්‍යාග කිරීමෙන් සුහදතාව පළ කිරීම මියන්මාර රජය අවංකව අගය කරන බව තානාපති හයික් මහත්මිය ප්‍රකාශ කළාය. දෙරට අතර පවතින ශක්තිමත් සබඳතාවට සාක්ෂි වශයෙන් ථෙරවාදී බෞද්ධ බැඳීම් සහ ශක්තිමත් මිනිස් සබඳතා මත ගොඩනැගුණු චිරස්ථායී මිත්‍රත්වයක් පවතින බව විදේශ කටයුතු අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

මියන්මාරයේ මියාවඩි ප්‍රදේශයේ සයිබර් අපරාධ මධ්‍යස්ථානවල සිරවී සිටින ශ්‍රී ලාංකිකයින් සතළිස්දෙනා සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව දක්වන අඛණ්ඩ සැලකිල්ල පිළිබඳව විදේශ අමාත්‍ය විජිත හේරත් මහතා අවධාරණය කළ අතර එම පුද්ගලයන් මුහුණ දෙන මානුෂීය දුෂ්කරතා පිළිබඳවද පැහැදිලි කළේය.  ඔවුන් කඩිනමින් නිදහස් කර ගැනීම සඳහා අමාත්‍යවරයා මියන්මාර බලධාරීන්ගේ සහය ඉල්ලා සිටියේය. තානාපතිවරිය විසින් මේ සම්බන්ධව මියන්මාර බලධාරීන් මුහුණ දෙන අභියෝග ගෙන හැර දැක්වූ අතර ශ්‍රී ලංකාවේ අභියාචනය ඉදිරිපත් කිරීමටත් නිරන්තර සබඳතා පවත්වා ගැනීමටත් ඇය එකඟ වූවාය.

විදේශ කටයුතු අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු සහ කොළඹ පිහිටි මියන්මාර තානාපති කාර්යාලයේ නිලධාරීහුද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

විදේශ කටයුතු අමාත්‍යාංශය

කොළඹ

 2024 ඔක්තෝබර් 14 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close