ශ්‍රී ලංකාව 72 වැනි එක්සත් ජාතීන්ගේ මහා සම්මේලනයේ රාජ්‍ය නායක මහා සභාවාරයට  සහභාගී වෙයි

ශ්‍රී ලංකාව 72 වැනි එක්සත් ජාතීන්ගේ මහා සම්මේලනයේ රාජ්‍ය නායක මහා සභාවාරයට  සහභාගී වෙයි

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 72 වැනි සැසිවාරයේ මහා සභාවාරය සැප්තැම්බර් මස 19 දින, “ජනතාව වෙත අවධානය යොමු කිරීම: ධරණීය ලොවක සැමට සාමය සහ යහපත් දිවියක් ලබාදීම සඳහා උත්සාහ දැරීම” යන තේමාව යටතේ ආරම්භ වීමට නියමිතය. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා  එදින පස්වරුවේ මහා මණ්ඩලය අමතනු ඇත. ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති “ඩොනල්ඩ් ට්‍ර‍ම්ප්” මහතා ප්‍ර‍ථම වරට එක්සත් ජාතීන් අමතන, මහා මණ්ඩලයේ උදෑසන ආරම්භක සැසියට ද ජනාධිපතිතුමා සහභාගී වීමට නියමිතය.

සැප්තැම්බර් මස 18 වැනිදා අමෙරිකානු ජනාධිපතිතුමා විසින් සම අනුග්‍ර‍හය දක්වන එක්සත් ජාතීන්ගේ දේශපාලන ප්‍ර‍තිසංස්කරණ පිළිබඳ රාජ්‍ය නායක රැස්වීමෙන් ආරම්භ වන, මහා මණ්ඩල සැසිවාරයට සමගාමීව පැවැත්වෙන තවත් සාකච්ඡා ගණනාවකට ද ජනාධිපතිතුමා සහභාගී වනු ඇත.  එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා ද සහභාගීවන, එම සංවිධානයේ ප්‍ර‍තිසංස්කරණය පිළිබඳ දේශපාලන ප්‍ර‍කාශය සම්මත කිරීමේ අවස්ථාව සඳහා ද ජනාධිපතිතුමා අනෙකුත් ලෝක නායකයින් සමඟ සහභාගී වේ. ඉහත සඳහන් ප්‍ර‍කාශය එක්සත් ජාතීන්ගේ සංවිධානය තවදුරටත් ඵලදායී සහ කාර්යක්ෂම සංවිධානයක් බවට පත්කිරීම වෙනුවෙන් එහි මහලේකම්වරයා ලබාදෙන නායකත්වය සහ පාරදෘශ්‍යභාවය සඳහා සහාය දැක්වීමක් වනු ඇත.

එදින ම පැවැත්වෙන, මහලේකම්වරයා විසින් කැඳවා ඇති ඉහළ තලයේ රැස්වීමක දී, “ලිංගික අපයෝජනය වැළැක්වීම පිළිබද ලෝක නායක කවය” ට ද ශ්‍රී ලංකාව එක්වනු ඇත.  මෙය මානව හිමිකම් සහ නීතියේ ආධිපත්‍යය ශක්තිමත් කිරීම, ප්‍රවර්ධනය කිරීම සහ ආරක්ෂා කිරීම මූලික කොටගත් ශ්‍රී ලංකාවේ සම්මුතිවාදී රජයේ දැක්ම පිළිබිඹු කරයි. මහලේකම්වරයාගේ භාරකාර අරමුදලට ඇමෙරිකානු ඩොලර් 10,000 ක ස්වේච්ඡා දායකත්වයක් ලබාදී ඇති  ශ්‍රී ලංකාව, ඒ සඳහා දායක වූ අනෙකුත් රටවල් සමඟ මෙම රැස්වීමේ දී  ඇගයුමට පාත්‍ර‍ වනු ඇත. මෙම ඉහළ තලයේ රැස්වීමට අදාල ව සහ සාමසාධක ක්‍රියාන්විතයන් පිළිබඳ ව එක්සත් ජාතීන්ගේ සංවිධානය හා එහි සාමාජිකයින්ගේ සාමූහික ප්‍ර‍තිපත්ති අවධාරණය කරමින්, ලිංගික   අපයෝජනයෙන් පුද්ගලයින් ආරක්ෂා කිරීම සඳහා විශේෂයෙන් කැපවන බවට ප්‍රකාශ කරමින්, ශ්‍රී ලංකාව විසින් අනෙකුත් සාමාජික රටවල් හා එක්ව ස්වේච්ඡා සම්මුතියක් දැනටමත් අත්සන් කර ඇත.

එක්සත් ජාතීන්ගේ මහලේකම් “ඇන්තෝනියෝ ගුටෙරෙස්” මහතා තම ධුරයේ වැඩ භාරගැනීමෙන් අනතුරුව පැවැත්වෙන පළමු මහා මණ්ඩල සැසිවාරය මෙයයි. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා, සැප්තැම්බර් මස 19 වැනි දින එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයා විසින් රාජ්‍ය නායකයින් සඳහා සංවිධානය කර ඇති දිවා භෝජන සංග්‍ර‍යට සහභාගී වන අතර, සැප්තැම්බර් මස 22 වැනිදා ද්විපාර්ශ්වික සාකච්ජා සඳහා මහ ලේකම්වරයා හමුවීමට නියමිතවඇත. ජනාධිපතිතුමාගේ නායකත්වය යටතේ ශ්‍රී ලංකාව සහ එක්සත් ජාතීන්ගේ සංවිධානය අතර ගොඩනැගී ඇති ප්‍ර‍ගතිශීලී සබඳතාවය සහ මෙම ඵලදායී සහ අර්ථවත් සබඳතාවය වැඩි දියුණු කරගන්නා ආකාරය  පිළිබඳව ද මෙම සාකච්ජාවේ දී අවධානය යොමුකිරීමට නියමිතය.

සැප්තැම්බර් මස 19 වැනිදා ඇමෙරිකානු ජනාධිපතිතුමා විසින් රාජ්‍ය නායකයින් සඳහා සූදානම් කර ඇති සම්භාෂණයටද ජනාධිපතිතුමා සහභාගී වීමට නියමිත අතර, එදින පස්වරුවේ දී බ්‍රිතාන්‍ය අගමැතිනී “තෙරේසා මේ” මැතිණිය සහ මෝල්ටාවේ අගමැති “ජෝසප් මස්කට්” මහතා විසින් පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායකයින් සඳහා පවත්වනු ලබන  සම්භාෂණයකට ද සහභාගීවීමට අපේක්ෂා කරනු ලැබේ.

මෙදින ම, දේශගුණික විපර්යාසයන්ට විසඳුම් සෙවීම  සහ පරිසරය ආරක්ෂා කිරීම සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම විදහා දක්වමින්, ප්‍රංශ ජනාධිපති “එමානුවෙල් මැක්රෝන්” මහතාගේ මෙහෙයවීමෙන් පවත්වනු ලබන පරිසරය සඳහා වූ  ජාත්‍යන්තර සමුළුවට ශ්‍රී ලංකාවේ නියෝජිත පිරිස සහභාගී වනු ලැබේ.

බලහත්කාරයෙන් ශ්‍රමය සූරාකෑම, නූතන වහල් භාවය සහ මිනිස් ජාවාරම පිටුදැකීම වෙනුවෙන් සම්මුතිවාදී රජයේ කැපවීම ප්‍ර‍දර්ශනය කරමින්, බ්‍රිතාන්‍ය අගමැතිනී “තෙරේසා මේ” මැතිණිය  විසින් කැඳවා ඇති “බලහත්කාරයෙන් ශ්‍ර‍මය සූරාකෑම, නූතන වහල්භාවය හා මිනිස් ජාවාරම  මුලිනුපුටා දැමීමට කටයුතු කරන ලෙස ඉල්ලා සිටීමේ නිවේදනයට ” ද  ශ්‍රී ලංකාව  එක්වනු ඇත.

තොරතුරු දැනගැනීමේ අයිතිය ඇතුළු  විවෘත රාජ්‍ය සංකල්පය අවධාරණය කරමින් ප්‍රංශ ජනාධිපති “එමානුවෙල් මැක්රෝන්”මහතා සහ ජෝර්ජියාවේ අගමැති “ජෝර්ජි ක්විරිකාෂ්විලි” මහතා විසින් නායකත්වය සපයන විවෘත රාජ්‍ය හවුල්කාරීත්වය පිළිබඳ රැස්වීමටද ශ්‍රී ලංකා නියෝජිත පිරිස සහභාගී වීමට අදහස් කරනු ලැබේ.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් “සෙයිඩ් රාද් අල් හුසේන්” කුමරු, මානව හිමිකම් සම්බන්ධයෙන්  සම්මුතිවාදී රජය යටතේ ශ්‍රී ලංකාව අත්පත් කරගෙන තිබෙන ප්‍ර‍ගතිය සම්බන්ධයෙන් සාකච්ජා කිරීම සඳහා ජනාධිපතිතුමා  හමුවීමට නියමිතය.

මීට අමතරව, නොබැඳි ජාතීන්ගේ අමාත්‍ය රැස්වීම, සාර්ක් අමාත්‍ය සභාවේ නිල නොවන රැස්වීම, පොදු රාජ්‍ය මණ්ඩල අමාත්‍ය රැස්වීම, ආසියානු සහයෝගිතා සංවාදයේ අමාත්‍ය හමුව සහ ජී 77 කණ්ඩායමේ රැස්වීම යන අවස්ථාවන්ට ද ශ්‍රී ලංකා නියෝජිත පිරිස සහභාගී වීමට නියමිතය.

විදේශ කටයුතු අමාත්‍යාංශය
කොළඹ

2017 සැප්තැම්බර්  18 වැනිදා

 

Print Friendly, PDF & Email
Please follow and like us:

Close