ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර ද්විපාර්ශ්වික දේශපාලන උපදේශනයන්හි සයවැනි වටය බැංකොක් නුවරදී පැවැත්වේ

 ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර ද්විපාර්ශ්වික දේශපාලන උපදේශනයන්හි සයවැනි වටය බැංකොක් නුවරදී පැවැත්වේ

ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර ද්විපාර්ශ්වික දේශපාලන උපදේශනයන්හි සයවැනි වටය 2025 මාර්තු 25 වැනි දින බැංකොක් නුවර තායිලන්ත විදේශ කටයුතු අමාත්‍යාංශයේදී පැවැත්වීමට නියමිතය.

මෙම උපදේශනවල සම සභාපතිත්වය දරනු ලබන්නේ විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශයේ ලේකම් අරුණි රණරාජා මහත්මිය සහ තායිලන්තයේ විදේශ කටයුතු පිළිබඳ නිත්‍ය ලේකම් එක්සිරි පින්තාරුචි මහත්මිය විසිනි.

2023 අගෝස්තු මාසයේදී කොළඹදී පැවැති ද්විපාර්ශ්වික දේශපාලන උපදේශනවල පස්වැනි වටයෙන් සහ 2024 පෙබරවාරි මාසයේදී හිටපු තායිලන්ත අග්‍රාමාත්‍යවරයාගේ ශ්‍රී ලංකා නිල සංචාරයෙන් පසු ලබා ඇති ප්‍රගතිය ඉදිරි උපදේශන මගින් සමාලෝචනය කෙරේ.

ශ්‍රී ලංකාව සහ තායිලන්තය, මෙම වසරේ රාජ්‍යතාන්ත්‍රික සබඳතාවල 70 වැනි සංවත්සරය සමරන බැවින්, දේශපාලනික මැදිහත්වීම, වෙළෙඳාම සහ ආයෝජන, පුනර්ජනනීය බලශක්තිය, ධීවර හා කෘෂිකර්ම අංශවල සහයෝගීතාව, ආරක්ෂක, සංස්කෘතිය සහ සංචාරක ඇතුළු ප්‍රධාන ක්ෂේත්‍රවල සහයෝගීතාව ශක්තිමත් කිරීම කෙරෙහි මෙම සාකච්ඡාවලදී අවධානය යොමු කරනු ඇත.

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය

කොළඹ

2025 මාර්තු 23 වැනි දින

Please follow and like us:

Close