ශ්‍රී ලංකාව සහ ඉතාලිය අතර දේශපාලන උපදේශන සාකච්ඡාවල පළමුවැන්න සාර්ථකව අවසන් වේ.

 ශ්‍රී ලංකාව සහ ඉතාලිය අතර දේශපාලන උපදේශන සාකච්ඡාවල පළමුවැන්න සාර්ථකව අවසන් වේ.

 

විදේශ කටයුතු සහ විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍රගේ සහ ඉතාලියේ විදේශ කටයුතු සහ ජාත්‍යන්තර සහයෝගීතාව පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය මරියා ත්‍රිපෝදිගේ සම සභාපතිත්වයෙන් පැවැති, ශ්‍රී ලංකාව සහ ඉතාලිය අතර දේශපාලන උපදේශනවල පළමු වටය 2025 සැප්තැම්බර් 04 වැනි දින කොළඹ පිහිටි විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශයේදී සාර්ථකව අවසන් විය.

උපදේශන සාකච්ඡා ආරම්භ කිරීමට පෙර, නියෝජ්‍ය අමාත්‍යවරුන් දෙදෙනා විසින් දේශපාලන උපදේශන යාන්ත්‍රණයක් ස්ථාපිත කිරීම පිළිබඳ අවබෝධතා ගිවිසුම අත්සන් කරනු ලැබූ අතර එමඟින් දෙරට අතර සංවාදය සඳහා විධිමත්, ව්‍යුහගත රාමුවක් සපයනු ලැබිණි.

ඉතාලි නියෝජ්‍ය අමාත්‍යවරිය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සහ විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් ද හමුවී ඵලදායී සාකච්ඡා පැවැත්වීය.

දේශපාලන උපදේශන අතරතුරදී, ශ්‍රම බලකා හුවමාරුව, වෙළඳාම, ආයෝජනය, සංචාරක, ආරක්ෂක, බලශක්ති, ආහාර සුරක්ෂිතතාව, සංස්කෘතිය සහ අධ්‍යාපනය යන අංශවල ශ්‍රී ලංකාව සහ ඉතාලිය අතර ආයතනික සහයෝගීතාව වැඩි දියුණු කිරීම සඳහා මාර්ග හඳුනා ගැනිණි. ඉතාලි-ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ මෑත කාලීන පුනර්ජීවනය සහ දෙපාර්ශ්වයේම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතර සහයෝගීතාව ශක්තිමත් කිරීමේ ක්‍රම පිළිබඳව ද සාකච්ඡාවලදී අවධානය යොමු විය.

සාකච්ඡා මට්ටමේ පවතින ද්විපාර්ශ්වික ගිවිසුම් කඩිනමින් අවසන් කිරීම කෙරෙහි ප්‍රමුඛතාව ලබා දීමට දෙපාර්ශ්වයම එකඟ වූහ. මෙහිදී දෙරට අතර ආරක්ෂිත, නිත්‍ය සහ තිරසාර සංක්‍රමණය සහතික කිරීම සඳහා සංක්‍රමණ සහ සංචලන හවුල්කාරිත්වය පිළිබඳ අවබෝධතා ගිවිසුම කඩිනමින් අවසන් කිරීම සහ දෙරටේ රියදුරු බලපත්‍ර අන්‍යෝන්‍ය වශයෙන් පිළිගැනීම පිළිබඳ ගිවිසුම අලුත් කිරීම කෙරෙහි විශේෂ අවධානයක් යොමු විය. අන්‍යෝන්‍ය වශයෙන් උනන්දුවක් දක්වන කලාපීය සහ ජාත්‍යන්තර ගැටළු පිළිබඳව ද නියෝජ්‍ය අමාත්‍යවරු අදහස් හුවමාරු කර ගත්හ.

මෙරටට පැමිණි ඉතාලි නියෝජ්‍ය අමාත්‍යවරිය සමඟ පැවති රැස්වීම්වලදී, ඉතාලියට සංක්‍රමණික වී ඇති ශ්‍රී ලාංකික ශ්‍රම බලකායට ලබා දෙන අඛණ්ඩ සහයෝගය වෙනුවෙන් ශ්‍රී ලංකා පාර්ශවය ඉතාලියට සිය ස්තූතිය පළ කළේය. ඉතාලිය තුළ  වෙසෙන ගුණාත්මක හා වෘත්තීය වශයෙන් පරිපූර්ණ ශ්‍රී ලාංකික සංක්‍රමණික ශ්‍රම බලකායේ දායකත්වය නියෝජ්‍ය අමාත්‍ය ත්‍රිපෝදි අගය කළ අතර, එය රට තුළ යුරෝපා සංගමයට අයත් නොවන, 12 වැනි විශාලතම සංක්‍රමණික ශ්‍රම බලකාය බවත් ශක්තිමත් ජනතා සබඳතා ගොඩනැඟීම සඳහා සැලකිය යුතු ලෙස ඉවහල් වී ඇති බවත් පැවසුවාය.

දෙරටේ රියදුරු බලපත්‍ර අන්‍යෝන්‍ය වශයෙන් පිළිගැනීම පිළිබඳ ගිවිසුම සහ සංක්‍රමණ සහ සංචලන හවුල්කාරිත්වය පිළිබඳ අවබෝධතා ගිවිසුම අලුත් කිරීම කඩිනම් කිරීම සඳහා අදාළ ඉහළම මට්ටමේ බලධාරීන් සමඟ පුද්ගලිකව සම්බන්ධ වන බවට නියෝජ්‍ය අමාත්‍ය ත්‍රිපෝදි සහතික විය.

ඉතාලි නියෝජ්‍ය අමාත්‍යවරියගේ මෙම සංචාරය, 2016 වසරෙන් පසු, ඉතාලියේ ඉහළ පෙළේ ප්‍රභූවරයෙකු විසින් මෙරටට කරනු ලැබු පළමු සංචාරය ලෙස සනිටුහන් වේ.

ඉතාලිය, ශ්‍රී ලංකාවේ 5 වැනි විශාලතම අපනයන වෙළඳපොළ වන අතර ආයෝජන සහ සංචාරක කටයුතු සඳහා සැලකිය යුතු ප්‍රතිලාභ ලබාදෙන වෙළඳපොළක් ලෙස ක්‍රියා කරයි.

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය

කොළඹ

2025 සැප්තැම්බර් 04 වැනි දින

 

Please follow and like us:

Close