ශ්‍රී ලංකාව සහ චීනය දෙරටේ රාජ්‍යතාන්ත්‍රික උපදේශනවල 12 වැනි වටය සාර්ථකව අවසන් කරයි

ශ්‍රී ලංකාව සහ චීනය දෙරටේ රාජ්‍යතාන්ත්‍රික උපදේශනවල 12 වැනි වටය සාර්ථකව අවසන් කරයි

2023 මැයි 30 වැනි දින ශ්‍රී ලංකාව සහ චීනය දෙරටේ රාජ්‍යතාන්ත්‍රික උපදේශනවල 12 වැනි වටය සාර්ථකව අවසන් කළ හ.

ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යංශයේ ලේකම් අරුණි විජේවර්ධන මහත්මිය සහ චීන මහජන සමූහාණ්ඩුවේ විදේශ කටයුතු උපඅමාත්‍ය සන් වෙයිඩොන්ග් මැතිතුමා, කොළඹ විදේශ කටයුතු අමාත්‍යංශයේ පැවති මෙම උපදේශනවල සමසභාපතිත්වය දැරූ හ.

ද්විපාර්ශ්වික සහයෝගීතාව, ආර්ථික සහ වෙළඳ සහයෝගීතාව, ආර්ථිකය යථා තත්ත්වයට ගෙන ඒමේ ක්‍රියාවලිය, ජීවනෝපාය සඳහා සහය ලබා දීම සහ මූල්‍ය සහය ලබා දීම, පුද්ගලාන්තර සබඳතා සහ දෙරටේ බහුපාර්ශ්වික සහයෝගීතාව යන කරුණු කෙරෙහි මෙම සාකච්ඡාවලදී අවධානය යොමු කෙරිණි.

නව සංවර්ධන සුසමාදර්ශ කරා ගෙන යන චීනයේ ඉහළ මට්ටමේ සංවර්ධනය, නවීකරණය කරා ගමන් කරන චීනය සහ පසුගිය දශක හතර තුළ මිලියන සංඛ්‍යාත චීන පුරවැසියන් දරිද්‍රතාවයෙන් මුදවා ගැනීම යනාදිය පිළිබඳව විස්තර කළ චීන උපඅමාත්‍ය සන් වෙයිඩොන්ග් මැතිතුමා, ශ්‍රී ලංකාව සමඟ පැවැත්විය හැකි ප්‍රතිඵල ඉලක්ක කරගත් සහයෝගීතාව සඳහා අවස්ථා පවතින බව සඳහන් කළේ ය.

මෙහිදී අදහස් දැක්වූ විදේශ කටයුතු ලේකම් අරුණි විජේවර්ධන මහත්මිය, මෙම අභියෝගාත්මක කාල පරිච්ඡේදය හමුවේ චීනය ශ්‍රී ලංකාවට ලබා දුන් සහය අගය කළ අතර, විශේෂයෙන්ම ලංකා කුරුඳු, මුහුදු ආහාර, පලතුරු, එළවළු සහ මැණික් අපනයනය කිරීමට චීනය තුළ ශ්‍රී ලංකාවේ අපනයන ව්‍යාප්ත කිරීම සඳහා සහය ඉල්ලා සිටියා ය. තවද, ශ්‍රී ලංකාවේ ආර්ථිකය යථා තත්ත්වයට පත් කිරීමට අදාළ ප්‍රගතිය පිළිබඳව පැහැදිලි කළ එතුමිය, චීන සංචාරකයින්ගේ මෙරට සංචාර ඉහළ යාමේ ප්‍රවණතාව අගය කළා ය. දෙරටේ ජනතාවගේ අන්‍යෝන්‍ය ප්‍රතිලාභ අරමුණු කරගනිමින් ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් තහවුරු කිරීමට ශ්‍රී ලංකාව සහ චීනය මෙම උපදේශනවලදී ප්‍රතිඥා දුන් හ.

චීනයේ විදේශ කටයුතු උපඅමාත්‍යවරයා මෙම සංචාරය අතරතුර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා සහ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මැතිතුමා හමුවිය.

චීන දූත පිරිස ශ්‍රී ලංකා - චීන පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ සාමාජිකයින් හමුවී ඵලදායි සාකච්ඡාවල නිරත විය. තවද ඔවුන් දෙවනගල පිහිටි ශ්‍රී ලංකා - චීන මිත්‍රත්ව ගම්මානයේ සංචාරයක නිරත වීමට ද නියමිත ය.

උපඅමාත්‍යවරයා මහනුවර ශ්‍රී දළදා මාලිගාව වැඳ පුදාගැනීමෙන් අනතුරුව මල්වතු පාර්ශ්වයේ මහානායක ස්වාමීද්‍රයන් බැහැදැකීමට ද නියමිත ය.

විදේශ කටයුතු අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු පිරිසක් මෙම සාකච්ඡාවට සහභාගී වූහ.

 

විදේශ කටයුතු අමාත්‍යංශය

කොළඹ

2023 මැයි 31 වැනි දින

 

Print Friendly, PDF & Email
Please follow and like us:

Close