පුද්ගල නාශක බිම්බෝම්බ තහනම් කිරීම පිළිබඳ සම්මුතියේ විශේෂ නියෝජිත මිරෙද් අල්-හුසේන් කුමරු ශ්‍රී ලංකාවේ සංචාරයක

පුද්ගල නාශක බිම්බෝම්බ තහනම් කිරීම පිළිබඳ සම්මුතියේ විශේෂ නියෝජිත මිරෙද් අල්-හුසේන් කුමරු ශ්‍රී ලංකාවේ සංචාරයක

portrait

 පුද්ගල නාශක බිම්බෝම්බ තහනම් කිරීම පිළිබඳ සම්මුතියේ විශේෂ නියෝජිත, ජෝර්දානයේ මිරෙද් රාද් සෙයිද් අල්-හුසේන් කුමරු, ශ්‍රී ලංකා රජයේ ඇරයුමෙන්, 2018 මාර්තු 5 වැනිදා සිට 7 වැනිදා දක්වා මෙරට නිල සංචාරයක නිරත වෙයි.

පුද්ගල නාශක බිම්බෝම්බ තහනම් කිරීමේ සම්මුතියේ 163 වැනි රාජ්‍ය පාර්ශ්වය බවට පත්වෙමින් ශ්‍රී ලංකාව 2017 දෙසැම්බර් 13 වැනි දින එම සම්මුතියට එක් වූ හෙයින් මෙම නිල සංචාරය විශේෂ වැදගත්කමක් උසුලයි. ‘ඔටාවා සම්මුතිය’ නැතහොත් ‘බිම්බෝම්බ තහනම් කිරීම පිළිබඳ සම්මුතිය’ යනුවෙන් සාමාන්‍යයෙන් හැඳින්වෙන, ‘පුද්ගල නාශක බිම්බෝම්බ භාවිතා කිරීම, රැස් කිරීම, නිෂ්පාදනය කිරීම, හා පැවරීම තහනම් කිරීමේ සහ ඒවා විනාශ කිරීම පිළිබඳ සම්මුතියේ අරමුණ වනුයේ ලොවපුරා පුද්ගල නාශක බිම්බෝම්බ භාවිතය අවසන් කිරීමයි. 1997 දෙසැම්බර් 3 වැනි දින අත්සන් තැබීම ඇරඹුණු මෙම සම්මුතිය 1999 මාර්තු 1 වැනිදා බලාත්මක විය. දැනට සම්මුතියට රාජ්‍ය පාර්ශ්ව 164 ක් වෙයි.

සිය ශ්‍රී ලංකා සංචාරය අතරතුරදී විශේෂ නියෝජිතවරයා, ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ විදේශ කටයුතු අමාත්‍ය තිලක් මාරපන යන මහත්වරුන් බැහැ දැකීමට නියමිතය. පුනරුත්ථාපන සහ නැවත පදිංචි කිරීම පිළිබඳ අමාත්‍ය ඩී.එම්. ස්වාමිනාදන් මහතා සමග උතුරු පළාතේ ක්ෂේත්‍ර සංචාරයකද නිරත වීමට නියමිත විශේෂ නියෝජිත මිරෙද් අල්-හුසේන් කුමරු එහිදී බිම්බෝම්බ ඉවත් කිරීමේ කටයුතු නිරීක්ෂණය කිරීමට නියමිත අතර බිම්බෝම්බ ඉවත් කිරීමේ නියෝජිතායතන මෙන්ම බිම්බෝම්බ වින්දිතයන්ද හමුවනු ඇත.

බිම්බෝම්බ ඉවත් කිරීම සඳහා මේ තාක් සිදු කරන ලද කාර්ය භාරය මෙන්ම වසර 2020 වන විට ශ්‍රී ලංකාව බිම්බෝම්බවලින් තොර රටක් බවට පත් කිරීම සඳහා පිළියෙළ කර ඇති සිය සැලසුම් විදහා පෙන්වීමට විශේෂ නියෝජිතවරයාගේ සංචාරයෙන් ශ්‍රී ලංකාවට අවස්ථාව හිමි වේ. මෙම සන්දර්භය තුළ, විශේෂ නියෝජිතවරයා, බිම්බෝම්බ ඉවත් කිරීමට සහ ශ්‍රී ලංකාවේ බිම්බෝම්බ වින්දිතයන් වෙනුවෙන් තවදුරටත් ලබාදිය හැකි සහය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා ශ්‍රී ලංකාවේ සිටින එක්සත් ජාතීන්ගේ කණ්ඩායම, සිවිල් සමාජය සහ සෙසු අදාල පාර්ශ්ව හමුවීමටද අපේක්ෂිතය.

විශේෂ නියෝජිතවරයා, මාර්තු 6 වැනි අඟහරුවාදා පස්වරු 5.30 ට ජාත්‍යන්තර සබඳතා සහ ක්‍රමෝපාය අධ්‍යයනය පිළිබඳ ලක්ෂ්මන් කදිර්ගාමර් ආයතනයේදී ‘පුද්ගල නාශක බිම්බෝම්බ පිළිබඳ ඔටාවා සම්මුතිය: ආසියාවට ඇති අවස්ථා සහ අභියෝග’යන මැයෙන් දේශනයක් පැවැත්වීමටද නියමිතය.

මිරෙද් රාද් සෙයිද් අල්-හුසේන් කුමරු 2004 සිට ජෝර්දානයේ බිම්බෝම්බ ඉවත් කිරීම සහ පුනරුත්ථාපනය පිළිබඳ ජාතික කමිටුවේ සභාපතිවරයා වශයෙන් සේවය කරයි. 2009 වසරේදී පුද්ගල නාශක බිම්බෝම්බ තහනම් කිරීම පිළිබඳ සම්මුතියේ විශේෂ නියෝජිතවරයා වශයෙන් පත් කළ තැන් පටන් ඔහු ලොවපුරා පුද්ගල නාශක බිම්බෝම්බ තහනම් කිරීම ප්‍රවර්ධනය කිරීම උදෙසා එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ සාමාජික රාජ්‍ය සමග සුවිසල් කාර්ය භාරයක් ඉටු කර තිබේ.

 

විදේශ කටයුතු අමාත්‍යාංශය

කොළඹ

2018 මාර්තු 02 වැනිදා

 

Print Friendly, PDF & Email
Please follow and like us:

Close