විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක මහතා පෘතුගාලයේ නිල සංචාරයක නියැලෙයි

විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක මහතා පෘතුගාලයේ නිල සංචාරයක නියැලෙයි

Image 02

විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක මහතා 2018 සැප්තැම්බර් 18-20 යන දිනවල පෘතුගාලයේ නිල සංචාරයක නිරත විය.

මෙම සංචාරයේදී රාජ්‍ය අමාත්‍ය සේනානායක මහතා පෘතුගාලයේ විදේශ කටයුතු හා සහයෝගීතාව පිළිබඳ රාජ්‍ය ලේකම් තෙරේසා රිබෙයිරෝ මහත්මිය හමුවිය. ශ්‍රී ලංකාව හා පෘතුගාලය අතර පවතින දිගුකාලීන ඓතිහාසික බැඳීම් පිළිබඳව අවධාරණය කළ රාජ්‍ය අමාත්‍යවරයා, දෙරටට පොදු වූ ශතවර්ෂ ගණනාවක් පැරණි ඉතිහාසය සහ උරුමයන් සම්බන්ධයෙන් මෙන්ම දැනුම හුවමාරු කර ගැනීම සහ සංචාරකයන් හා වෙළෙඳ සමාගම් සම්බන්ධයෙන්ද මෙම සාකච්ඡාවලදී කරුණු දැක්වීය.

ශ්‍රී ලංකාව තුළ ඇති පෘතුගීසි සංස්කෘතියේ ආභාසය පිළිබඳව සිහිපත් කළ රාජ්‍ය අමාත්‍යවරයා ශ්‍රී ලංකාවේ ඇතැම් වෙරළබඩ ප්‍රදේශවල පවතින පෘතුගීසි ගෘහ නිර්මාණ ශිල්පයේ විභූතිය මෙන්ම භාෂාව, සංගීතය, නර්තනය, ඇඳුම් පැළැඳුම් සහ ආහාරවල ඇති අස්පෘෂ්‍ය පෘතුගීසි සංස්කෘතික උරුමයන්හි ශේෂයන් පිළිබඳවද සඳහන් කළේය.

ශ්‍රී ලංකාව හා පෘතුගාලය අතර පවතින පොදු සම්බන්ධතා ,පෘතුගීසි සංචාරකයන් ශ්‍රී ලංකාවට ආකර්ශනය කර ගැනීමෙහිලා උත්ප්‍රේරකයක් ලෙස ක්‍රියාකරනු ඇති බවට මෙහිදී ප්‍රකාශ විය. සංචාරක අංශය තුළ ඒකාබද්ධ ආයෝජන හා හවුල්කාරීත්වය දියුණු කළ හැකි මංපෙත් පිළිබඳව සොයාබැලීමට දෙපාර්ශ්වය එකඟ විය. වර්ෂ 1560 දී පෘතුගීසි ජාතිකයන් ගොඩනංවන ලද මන්නාරම් බළකොටුව අලුත්වැඩියා කිරීම පිළිබඳව සළකා බැලීමට පෘතුගීසි බලධාරීන්ගේ අවධානය යොමු කරන ලෙස රාජ්‍ය අමාත්‍යවරයා මෙහිදී යෝජනා ක‍ළේය. එහි සිහිවටනයන් සංරක්ෂණය කරමින් හා වැඩි දියුණු කරමින්, ගාල්ලේ ලන්දේසි බළකොටුව මෙන් මන්නාරම් බළකොටුවද අලුත්වැඩියා කිරීමට අමාත්‍යවරයා මෙහිදී යෝජනා කළේය.

ජල විදුලිය, සුළං හා සූර්ය ශක්තිය වැනි පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් භාවිත කිරීම සම්බන්ධයෙන් දෙරට අතර ප්‍රවීණතාව හුවමාරු කර ගැනීම පිළිබඳවද රාජ්‍ය අමාත්‍යවරයා හා පෘතුගීසි රාජ්‍ය ලේකම්වරිය අවධානය යොමු කළහ.

සංහිඳියාව ළඟා කරගැනීමෙහිලා වන ශ්‍රී ලංකා ප්‍රයත්නය පිළිබඳව පෘතුගීසි පාර්ශ්වය මෙහිදී විමසන ලදී.  ඊට පිළිතුරු දුන් රාජ්‍ය අමාත්‍යවරයා යුරෝපා සංගමය ඒ සම්බන්ධයෙන් ලබාදෙන සහයෝගය අගය කළ අතර එම සංගමයේ අඛණ්ඩ සහය ඉදිරියටත් අවශ්‍ය වන බව අවධාරණය කළේය.

මෙම සංචාරය අතරතුරදී රාජ්‍ය අමාත්‍යවරයා පෘතුගාල සංස්කෘතික අමාත්‍ය ලුයිස් ෆිලිපේ දි කස්ත්‍රෝ මෙන්ඩෙස් මහතාද, මුසෙවු දු ඔරියෙන්තෙ කෞතුකාගාරයේ සභාපතිවරයා සහ පෘතුගීසි භාෂාව හා සංස්කෘතිය ලොව පුරා ප්‍රවර්ධනය කිරීම පිණිස 1992 දී පිහිටුවන ලද කමොඒස් ආයතනයේ ප්‍රධානියාද හමුවිය.

පැරීසියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ තුන්වැනි ලේකම් දමිත් හේවාවික්‍රම මහතා රාජ්‍ය අමාත්‍යවරයා සමඟ මෙම රැස්වීම්වලට සහභාගී විය.

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය
පැරීසිය

2018 සැප්තැම්බර් 26 වැනිදා

Image 01

Print Friendly, PDF & Email
Please follow and like us:

Close