ජන සංහාරයක් සිදු වූ බවට චෝදනා එල්ල කරමින් කැනේඩියානු පාර්ලිමේන්තුවේදී සම්මත වූ යෝජනාව ශ්‍රී ලංකාව ප්‍රතික්ෂේප කරයි

ජන සංහාරයක් සිදු වූ බවට චෝදනා එල්ල කරමින් කැනේඩියානු පාර්ලිමේන්තුවේදී සම්මත වූ යෝජනාව ශ්‍රී ලංකාව ප්‍රතික්ෂේප කරයි

ශ්‍රී ලංකාවේ සිදු වූ බවට සඳහන් වන දමිළ ජන සංහාරය සම්බන්ධයෙන් කැනේඩියානු පාර්ලිමේන්තුව තුළ යෝජනාවක් සම්මත කිරීම සහ මැයි 18 දමිළ ජන සංහාර සැමරුම් දිනය ලෙස හැඳින්වීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය සිය කනගාටුව පළ කර සිටියි. කැනේඩියානු රජයේ නිල ස්ථාවරය වන "ශ්‍රී ලංකාවේ ජන සංහාරයක් සිදු වූ බවට කිසිවක් අනාවරණය වී නොමැත" යන්නට පටහැනිව, ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ජන සංහාරය පිළිබඳව එම පාර්ලිමේන්තු යෝජනාව තුළ අඩංගු කරන ලද සාවද්‍ය චෝදනාව ශ්‍රී ලංකා රජය තරයේ ප්‍රතික්ෂේප කරයි.

එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය පරාජය කිරීම සඳහා සුදුසු ක්‍රියාමාර්ග ගන්නා අතරතුර ගැටුම් පැවති කලාපවල විසූ තම ජනතාව මුදාගැනීම සඳහා ශ්‍රී ලංකා රජය ක්‍රියාත්මක කළ මානුෂීය මෙහෙයුම ඇතුළුව ගැටුමේ අවසන් අදියරේදී ශ්‍රී ලංකාවේ පැවති සැබෑ තත්ත්වය පිළිබඳව ශ්‍රී ලංකා රජය විසින් කැනේඩියානු රජය ඉහළම මට්ටමින් දැනුම්වත් කරන ලද බව මෙහිදී සිහිපත් කළ යුතු ය. වර්තමානය වන විට යුද ගැටුම අවසන්ව වසර 13 ක් ගතවී ඇති අතර, ශ්‍රී ලංකාව තම ප්‍රතිසන්ධාන ක්‍රියාවලියේ සැලකිය යුතු ප්‍රගතියක් ද ලබා ඇත. එමෙන්ම එය අඛණ්ඩව ක්‍රියාත්මක වෙමින් පවතින අතර ඒ පිළිබඳව කැනේඩියානු රජය නිරන්තරයෙන් දැනුම්වත් කොට ඇත.

ජන සංහාරය යන යෙදුම සඳහා නිශ්චිත වූ නෛතික අර්ථ ඇති බවත්, එක්සත් ජාතීන්ගේ සංවිධානය හෝ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය ඇතුළු එහි කිසිදු අන්තර් රාජ්‍ය ආයතනයක් ශ්‍රී ලංකාවේ ගැටුම සම්බන්ධයෙන් එම යෙදුම  කිසි විටෙක භාවිතා නොකළ බවත් ශ්‍රී ලංකා රජය යළිදු අවධාරණය කර සිටියි. මෙම යෙදුම ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් අත්තනෝමතික ලෙස සහ වැරදි ලෙස යොදනු ලබන්නේ ශ්‍රී ලංකාවේ අභිලාෂයන්ට හිතකර නොවන, ඩයස්පෝරාවේ සිටින දේශපාලනික අරමුණු සහිත ශ්‍රී ලංකාවට විරෝධී සුළුතරයක් විසින් පමණක් බව සඳහන් කළ යුතු ය.

වර්තමානයේ පවතින ආර්ථික අර්බුදය හේතුවෙන්  ශ්‍රී ලාංකික ජනතාව දැවැන්ත අභියෝගවලට මුහුණ  දෙන වාතාවරණයක් හමුවේ ජාත්‍යන්තර ප්‍රජාවගේ ඵලදායී මැදිහත්වීම අවශ්‍ය මෙවැනි අවස්ථාවක, කැනේඩියානු පාර්ලිමේන්තුව මෙවැනි නොමඟ යවන සුළු ක්‍රියාමාර්ගයක් ගැනීම කනගාටුවට කරුණකි.

විදේශ කටයුතු අමාත්‍යාංශය

කොළඹ

2022 මැයි 19 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close