ස්ලෝවැකියානු නියෝජ්‍ය අග්‍රාමාත්‍ය හා මුදල් අමාත්‍යවරයා දෙදින නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණෙයි

ස්ලෝවැකියානු නියෝජ්‍ය අග්‍රාමාත්‍ය හා මුදල් අමාත්‍යවරයා දෙදින නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණෙයි

SlovakDPM-FM1

 

ස්ලෝවැකියානු ජනරජයේ නියෝජ්‍ය අග්‍රාමාත්‍ය සහ මුදල් අමාත්‍ය පීටර් කසිමීර් මහතා දෙදින නිල සංචාරයක් සඳහා ඊයේ (27) ශ්‍රී ලංකාවට පැමිණියේය. මෙම සංචාරය 2018 මාර්තු මස 29 වැනි දින නිමාවෙයි. ස්ලෝවැකියාවේ ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නියෝජිතයකු මෙරටට පැමිණි පළමු අවස්ථාව මෙයයි.

ඉදිකිරීම්, ඉලෙක්ට්‍රොනික, බලශක්ති, පතල් කැණීම්, තොරතුරු තාක්ෂණ සහ සුරක්ෂා, ජල විද්‍යාව, ආරක්ෂක සහ බැංකුකරණ යන ක්ෂේත්‍ර නියෝජනය කරන විසි දෙදෙනකුගෙන් සමන්විත ව්‍යාපාරික දූත පිරිසක්ද ස්ලෝවැකියානු නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයා සමඟ මෙරටට පැමිණ තිබේ. ඉන්දියානු සාගර කලාපයේ වාණිජමය, මූල්‍යමය සහ සැපයුම්කරණ ක්ෂේත්‍රයන්හි කේන්ද්‍රස්ථානයක් ලෙස ශ්‍රී ලංකාව සංවර්ධනය වමින් පවතින මොහොතක මතුවී ඇති අවස්ථා සැලකිල්ලට ගනිමින් ස්ලෝවැකියානු ජනරජය ශ්‍රී ලංකාව තුළ සිය වෙළෙඳ සහ ආයෝජන කටයුතු ව්‍යාප්ත කිරීමට මහත් උනන්දුවකින් පසුවෙයි.

කසිමීර් මහතා අද දින (28) විදේශ කටයුතු අමාත්‍ය තිලක් මාරපන, මුදල් අමාත්‍ය මංගල සමරවීර, කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් සහ මුදල් සහ ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍ය එරාන් වික්‍රමරත්න යන මහත්වරුන් හමුවිය. එම සාකච්ඡා සඳහා විදේශ කටයුතු, මුදල් සහ කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශවල ජ්‍යෙෂ්ඨ නිලධාරීහූ සහභාගි වූහ. 2018 මාර්තු 29 වැනි දින සිය නිල සංචාරය අවසන් කිරීමට පෙර ස්ලෝවැකියානු නියෝජ්‍ය අග්‍රාමාත්‍ය හා මුදල් අමාත්‍යවරයා, ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන සහ මහබැංකු අධිපති ඉන්ද්‍රජිත් කුමාරස්වාමි යන මහත්වරුන්ද හමුවීමට නියමිතය.

ලංකා වාණිජ මණ්ඩලය විසින් කොළඹ ජයික් හිල්ටන් හෝටලයේදී සංවිධානය කරනු ලැබූ ව්‍යාපාරික සංසදයකටද ස්ලෝවැකියානු ව්‍යාපාරික දූත පිරිස සහභාගි විය. එහිදී ලංකා වාණිජ මණ්ඩලය සහ ස්ලෝවැකියානු ආයෝජන සහ වෙළෙඳ සංවර්ධන නියෝජිතායතනය අතර අවබෝධතා ගිවිසුමකටද අස්සන් තැබිණි.

 

විදේශ කටයුතු අමාත්‍යාංශය

කොළඹ

 

2018 මාර්තු මස 28 වැනිදා

Slovak-FinM2
Slovak-FinM3
SlovakForum4
SlovakForum5
Print Friendly, PDF & Email
Please follow and like us:

Close