මිනිස් ජාවාරම මැඩපැවැත්වීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව හා ඕස්ට්‍රේලියාව සහයෝගිතාව තර කරයි

  මිනිස් ජාවාරම මැඩපැවැත්වීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව හා ඕස්ට්‍රේලියාව සහයෝගිතාව තර කරයි

  Photo (1)

මිනිස් ජාවාරම මැඩපැවැත්වීම සඳහා ශ්‍රී ලංකාව හා ඕස්ට්‍රේලියාව යළිත්වරක් කැප වීමෙන් යුතුව කටයුතු කර තිබෙන අතර මෑතකදී, එනම්, 2019 මැයි මාසයේ සිට දක්නට ලැබෙන ශ්‍රී ලංකාවේ සිට ඕස්ට්‍රේලියාවට සිදු කරන මිනිස් ජාවාරම් කටයුතුවල වර්ධනය මැඩපැවැත්වීම සඳහා සහයෝගිතාව තර කළ හැකි ආකාර පිළිබඳව විස්තරාත්මකව සාකච්ඡා කර තිබේ.

ශ්‍රී ලංකාවේ වෙරළ තීරයෙන් ආරම්භවන මිනිස් ජාවාරම් මෙහෙයුම් කටයුතු මර්දනය කිරීමෙහිලා ශ්‍රී ලංකාවේ පූර්ණ සහය ඕස්ට්‍රේලියාවට ලබාදෙන බව ඕස්ට්‍රේලියාවේ ඒකාබද්ධ කාර්ය සාධන බලකාය, මෙහෙයුම් ස්වෛරී දේශසීමා අණදෙන නිලධාරී මේජර් ජනරාල් ක්‍රැයිග් ෆියුරිනි මහතාගේ නායකත්වයෙන් යුතු මිනිස් ජාවාරම් හා මිනිසුන් නීති විරෝධී ලෙස ප්‍රවාහනය කිරීම මැඩපැවැත්වීම සඳහා වූ නියෝජිත කණ්ඩායමක් සමඟ 2019 සැප්තැම්බර් 03 වැනි දින පැවති රැස්වීමකදී විදේශ ලේකම් රවිනාථ ආර්‍යසිංහ  මහතා ප්‍රකාශ කළේ ය. මහජන මතය වෙනස් කිරීමට සහ මෙම අක්‍රමවත් සංක්‍රමණය නිසා මුහුණ දෙන අවධානම්කාරී තත්ත්ව පිළිබඳව ශ්‍රී ලාංකිකයින් දැනුවත් කිරීමට ඉලක්කගත වැඩසටහන් ඇතුළුව දෙරට ඒකාබද්ධව සැකසූ තිරසාර සහ දිගුකාලීන උපායමාර්ගවල අවශ්‍යතාව ද විදේශ ලේකම්වරයා මෙහිදී අවධාරණය කළේ ය.

2013 සැප්තැම්බර් මස "මෙහෙයුම් ස්වෛරී දේශ සීමා ප්‍රතිපත්තිය" සැකසීමත් සමඟම බෝට්ටුවලින් ඕස්ට්‍රේලියාවට ළගාවීමට කිසිදු අවස්ථාවක් නොලැබෙන බැවින් මුහුදින් නීතිවිරෝධී ලෙස පැමිණෙන සියලුම සංක්‍රමණිකයන් ඔවුන්ගේ මුල් රටවලට ආපසු යවා ඇති බව මේජර් ජනරාල් ෆරිනි මහතා සඳහන් කළේ ය. මිනිස් ජාවාරම සම්බන්ධයෙන් ඵලදායි ලෙස විසඳුම් ලබාදීම සඳහා මෙම ගැටලුවේ මූල හේතුව පිළිබඳව සොයා බලමින් කටයුතු කිරීමට යන්ත්‍රණ සැකසීමට ඔවුන් බලාපොරොත්තු වන බව තවදුරටත් ප්‍රකාශ කළේ ය.

ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් ඩේවිඩ් හෝලි, මිනිස් ජාවාරම හා මිනිසුන් නිතීවිරෝධී ලෙස ප්‍රවාහනය කිරීම පිළිබඳ ඕස්ට්‍රේලියාවේ තානාපති බ්‍රේස් හට්චෙසන් සහ ඕස්ට්‍රේලියානු ෆෙඩරල් පොලිසියේ අණ දෙන නිලධාරීවරයාගේ ජාතික ප්‍රතිචාර මෙහෙයුම් කළමනාකරු ජාසන් විලියම්ස් යන මහත්වරු ද මෙම ඕස්ට්‍රේලියානු නියෝජිත කණ්ඩායමට අයත් වූ අතර ඔවුහු නිතීවිරෝධි සංක්‍රමණ මැඩපැවැත්වීම සඳහා ශ්‍රී ලංකාව දිගින් දිගටම සහයෝගීතාව දැක්වීම වෙනුවෙන් ශ්‍රී ලංකා රජයට ස්තූතිය පුද කළහ.

ශ්‍රී ලංකාව හා ඕස්ට්‍රේලියාව අතර පවතින ස්ථිරසාර හවුල්කාරීත්වය මිනිස් ජාවාරම හා දේශසීමා ඉක්මවමින් සිදු කරනු ලබන අපරාධ මැඩපැවැත්වීමෙහිලා සාර්ථකත්වයක් අත්කර දී තිබේ. ශ්‍රී ලංකාව, දිගින් දිගටම, මිනිස් ජාවාරම මැඩපැවැත්වීමෙහිලා අගනා සහයක් ඕස්ට්‍රේලියාවට ලබාදෙයි. මිනිස් ජාවාරම සහ මිනිසුන් නීති විරෝධී ලෙස ප්‍රවාහනය කිරීමට අදාළ විසඳුම් ලබාදීම සඳහා ප්‍රධාන සංසඳය වන ශ්‍රී ලංකාව සහ ඕට්‍රේලියාව අතර මිනිස් ජාවාරම හා දේශසීමා ඉක්මවා සිදු කරනු ලබන අපරාධ පිළිබඳ ඒකාබද්ධ ක්‍රියාකාරී කණ්ඩායමේ (JWG) පසුගිය රැස්වීම 2018 ඔක්තෝබර් 17 වැනි දින ශ්‍රී ලංකාවේදී පවත්වන ලදී. මෙහි මීළඟ වටය 2019 ඔක්තෝබර් 11 වැනි දින කැන්බරාහිදී පැවැත්වීමට නියමිතය.

විදේශ කටයුතු අමාත්‍යාංශයේ නැගෙනහිර ආසියා, අග්නිදිග ආසියා හා ඕෂේනියා අංශයේ අධ්‍යක්ෂ ජනරාල් දමයන්ති රාජපක්ෂ මහත්මිය, ජාත්‍යන්තර ආරක්ෂාව හා ත්‍රස්තවාදය මැඩපැවැත්වීම පිළිබඳ අංශයේ අධ්‍යක්ෂ ජනරාල් හිමාලි අරුණාතිලක, මහජන රාජ්‍යතාන්ත්‍රික කටයුතු පිළිබඳ අංශයේ වැඩ බලන අධ්‍යක්ෂ ජනරාල් රුවන්ති දැල්පිටිය, සහකාර නීති උපදේශිකා, සන්ජිකා කම්මනන්කඩ සහ අදාළ නිලධාරීහු විදේශ ලේකම්වරයා සමඟ මෙම සාකච්ඡාවට සහභාගී වුහ.

 

විදේශ කටයුතු අමාත්‍යාංශය,
කොළඹ
05 සැප්තැම්බර් 2019

 

 

Print Friendly, PDF & Email
Please follow and like us:

Close