ශ්‍රී ලංකා - දකුණු අප්‍රිකා හවුල්කාරීත්ව සංසදය කොළඹදී පැවැත්වෙයි

ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකා හවුල්කාරීත්ව සංසදය කොළඹදී පැවැත්වෙයි

Image 01 (5)

ශ්‍රී ලංකා - දකුණු අප්‍රිකා හවුල්කාරීත්ව සංසදයේ හත්වැනි සැසිවාරය 2018 ඔක්තෝබර් 16 වැනි දින කොළඹ විදේශ කටයුතු අමාත්‍යාංශයේදී පැවැත්විණි. දෙරට අතර දේශපාලන හා ආර්ථික සබඳතා සමාලෝචනය කිරීම සහ සහයෝගිතාව ශක්තිමත් කිරීම මෙහි අරමුණ විය.

හවුල්කාරීත්ව සංසදය සඳහා සහභාගී වූ ශ්‍රී ලංකා නියෝජිත පිරිසේ නායකත්වය විදේශ කටයුතු අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (ද්විපාර්ශ්වික කටයුතු) සුමිත් නාකන්දල මහතා විසින් දරන ලද අතර දකුණු අප්‍රිකා නියෝජිත පිරිසෙහි නායකත්වය එරට ජාත්‍යන්තර සබඳතා හා සහයෝගිතාව පිළිබඳ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (ආසියා සහ මැද පෙරදිග) ආචාර්ය අනිල් සුක්ලාල් මහතා විසින් දරන ලදී. මෙම සාකච්ඡා සඳහා දෙරටේ විදේශ අමාත්‍යාංශවල ජ්‍යෙෂ්ඨ නිලධාරීහු සහ ශ්‍රී ලංකාව නියෝජනය කරමින් රේඛීය අමාත්‍යාංශ හා නියෝජිතායතන ගණනාවක නිලධාරීහු සහභාගී වූහ.

ඉහළ මට්ටමේ සංචාර මඟින් හා නාවික කටයුතු, ආරක්ෂාව හා සංක්‍රමණ යන අංශවල සහයෝගිතාව ඔස්සේ දේශපාලන සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම මෙන්ම, ද්විපාර්ශ්වික වෙළෙඳාම හා ආයෝජනය වැඩි දියුණු කිරීමද සංසදයේදී සාකච්ඡාවට බඳුන් විය. ප්‍රමුඛත්වය හිමිවිය යුතු අංශ ලෙස දෙරට විසින්ම හඳුනාගෙන ඇති අධ්‍යාපන, සංචාරක කටයුතු, වනජීවී, වනාන්තර, ධීවර, වාරි මාර්ග, බල ශක්ති, ක්‍රීඩා, විද්‍යා හා තාක්ෂණ, හා ජලය යන ක්ෂේත්‍රවල සහයෝගිතාවේ ප්‍රගතිය පිළිබඳවද මෙහිදී පසුවිපරම් කෙරිණි.

දකුණු අප්‍රිකා වෙළෙඳපොළට ප්‍රවේශවීම සඳහා හිතකර තත්ත්වයක් උදාකර දෙන ලෙස මෙහිදී යළිත් වරක් ශ්‍රී ලංකාව ඉල්ලා සිටියේය. පෞද්ගලික අංශය සමඟ වන සංවාදය ශක්තිමත් කිරීම සඳහා දෙරට අතර ව්‍යාපාරික දූත පිරිස් හුවමාරු කර ගැනීමේත් දෙරට අතර ගුවන් ගමන් සබඳතා ඇති කර ගැනීමේත් අවශ්‍යතාව දෙපාර්ශ්වයම අවධාරණය කළේය.

අත්සන් තබන ලද ද්විපාර්ශ්වික ගිවිසුම් ක්‍රියාත්මක කිරීමට හා දෙරටේ පොදු යහපත උදෙසා ඉදිරියේදී අත්සන් තැබීමට බලාපොරොත්තු වන ගිවිසුම් නොපමාව අවසන් කිරීමට අදාළ විධික්‍රම හා වැදගත් කරුණු පිළිබඳවද මෙහිදී සාකච්ඡා විය. සිය පොදු අභිලාෂයන්ට අදාළ කරුණු සම්බන්ධයෙන්  බහුපාර්ශ්වීය සංසදවලදී සබඳතා වැඩි කරගැනීමට තමන් තුළ ඇති කැපවීම ශ්‍රී ලංකාව හා දකුණු අප්‍රිකාව මෙහිදී යළි තහවුරු කළේය. ශක්තිමත් ද්විපාර්ශ්වික සබඳතා කරා යන ගමනේදී දකුණු අප්‍රිකාව සමඟ ඇති ඵලදායී සහයෝගිතාව ශ්‍රී ලංකාවේ ඇගයුමට ලක්විය.

හවුල්කාරීත්ව සංසදයේ අටවැනි සැසිවාරය 2019 වසරේ ප්‍රිටෝරියා නුවරදී පැවැත්වීමට නියමිතය.

විදේශ කටයුතු අමාත්‍යාංශය

කොළඹ

2018 ඔක්තෝබර් 23 වැනිදා

Image 02 (5)

Print Friendly, PDF & Email
Please follow and like us:

Close