එක්සත් ජාතීන්ගේ සංවිධානය සඳහා ශ්‍රී ලංකාවේ සාම සාධක හමුදාවෙහි දායකත්වයට එල්ල වන බාධක පිළිබඳව විදේශ ලේකම් ආර්යසිංහ මහතා සාකච්ඡා කරයි

එක්සත් ජාතීන්ගේ සංවිධානය සඳහා ශ්‍රී ලංකාවේ සාම සාධක හමුදාවෙහි දායකත්වයට එල්ල වන බාධක පිළිබඳව විදේශ ලේකම් ආර්යසිංහ මහතා සාකච්ඡා කරයි

 

Photo (1)

විදේශ ලේකම් රවිනාථ ආරියසිංහ මහතා සහ නිව්යෝක් නුවර එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත ක්ෂෙනුකා සෙනෙවිරත්න මැතිනිය ඇතුළු ශ්‍රී ලංකා දූත පිරිස 2019 සැප්තැම්බර් 27 වැනි දින නිව්යෝර්ක් නුවර එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ දී එක්සත් ජාතීන්ගේ සාම මෙහෙයුම් දෙපාර්තමේන්තුවේ උප මහලේකම් ජීන් පියරේ ලැක්‍රොයික්ස් මහතා හමුවෙමින්

 

 

 

මේ වන විට එක්සත් ජාතීන්ගේ 74 වන මහා මණ්ඩල සැසිවාරයට සහභාගී වන ශ්‍රී ලංකා දූත පිරිසට නායකත්වය දෙන විදේශ කටයුතු ලේකම් රවිනාථ ආර්යසිංහ මහතා, එක්සත් ජාතීන්ගේ සංවිධානය තුළ ශ්‍රී ලංකාවේ සාම සාධක හමුදාවෙහි දායකත්වයට එල්ල වන බාධක පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා 2019 සැප්තැම්බර් 27 වැනි සිකුරාදා දින නිව්යෝක් නුවර එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මූලස්ථානයේ දී එක්සත් ජාතීන්ගේ සාම මෙහෙයුම් දෙපාර්තමේන්තුවේ උප මහලේකම් ජීන් පියරේ ලැක්‍රොයික්ස් මහතා හමුවිය.

එක්සත් ජාතීන්ගේ සාම සාධක කටයුතු සඳහා යොදවා ඇති ශ්‍රී ලංකා හමුදා සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයාගේ නියෝජ්‍ය ප්‍රකාශක විසින් 2019 සැප්තැම්බර් 25 වන දින සිදුකරන ලද ප්‍රකාශය පිළිබඳව විදේශ ලේකම්වරයා විසින් ඉල්ලා සිටි පැහැදිලි කිරීම සම්බන්ධව උප මහලේකම්වරයා ප්‍රකාශ කළේ, වර්තමානයේ සාම සාධක මෙහෙයුම්වල යෙදී සිටින ශ්‍රී ලංකාවේ භටයින්ගෙන් 25% ක් පමණක් ලෙබනනයේ සිය ධුර කාලය අවසන් වන විට ඔවුන් වෙනුවට ආදේශ කරනු ඇති බවයි. වර්තමානයේ ලෙබනනයේ සිටින සාම සාධක භටයන් නැවත පෙළගැස්වීම මඟින් මෙම පුරප්පාඩු සපුරාලනු ඇත. ශ්‍රී ලංකා සාම සාධක භටයින් තවදුරටත් අඩු නොකරනු ලබන බව උප මහලේකම් ලැක්‍රොයික්ස් මහතා තහවුරු කළේය.
මීට ප්‍රථමයෙන්, විදේශ ලේකම්වරයා පෙන්වා දුන්නේ, ශ්‍රී ලංකා ජනාධිපතිවරයා විසින් ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා යුද හමුදාපති ලෙස පත් කර ඇත්තේ ඔහුට එරෙහිව මානව හිමිකම් උල්ලංඝනය කිරීම් පිළිබඳ සත්‍ය වශයෙන්ම සනාථ කරන ලද හෝ ඔප්පු කර ඇති චෝදනා නොමැති වීම සහ එවකට ඔහු මාණ්ඩලික ප්‍රධානී වශයෙන් කටයුතු කිරීම යන සන්දර්භය තුළ බවයි.
ලුතිනන් ජෙනරාල් සිල්වාට එරෙහි චෝදනාවලට අදාළව සම්පාදනය කරන ලද වාර්තාවල විශ්වසනීයත්වය පිළිබඳව ශ්‍රී ලංකා රජය තර්ක කරන බව ලේකම්වරයා ප්‍රකාශ කළේය. 2011 දරුස්මන් වාර්තාව කෙතරම් බරපතළ ලෙස දෝෂ සහිත වීද යත්, එවකට මානව හිමිකම් කවුන්සිලය විසින් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ලේඛනයක් ලෙස එයට විධිමත් අංකයක් නිකුත් කිරීම පවා ප්‍රතික්ෂේප කරන ලද බව ඔහු සිහිපත් කළේය. තවද, 2015 සැප්තැම්බර් මස ඉදිරිපත් කරන ලද මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස් කාර්යාලයීය විමර්ශන වාර්තාවෙන් ද පැහැදිලි කළේ “එය මානව හිමිකම් පිළිබඳ විමර්ශනයක් මිස අපරාධ පිළිබඳ විමර්ශනයක් නොවන” බව සහ “විධාන දාමය පිළිබඳ විස්තරයේ නම් සඳහන් වීමෙන්, මෙම වාර්තාවේ විශේෂයෙන් ලැයිස්තුගත කර ඇති උල්ලංඝනය කිරීම් සඳහා සෘජු වගකීමක් හෝ විධාන යටතේ හෝ ඉහළ මට්ටමේ වගකීමක් ලෙස, සාපරාධී වගකීමක් දරන බවක් අදහස් නොකරන බවයි. තනිපුද්ගල සාපරාධී වගකීම තීරණය කළ හැක්කේ අවශ්‍ය සියලු නිසි ක්‍රියාදාමයන් සහතික කර ඇති අධිකරණයක් මඟින් පමණි.” 2019 ජනවාරි මස ප්‍රකාශයට පත් කළ ජාත්‍යන්තර සත්‍යය හා සාධාරණත්වය පිළිබඳ ව්‍යාපෘති (ITJP) ප්‍රකාශනය යනු කලින් ප්‍රකාශයට පත් කරන ලද දෝෂ සහිත තොරතුරු නැවත සකස් කොට ඉදිරිපත් කිරීමකි. මෙම වාර්තා කිසිවක් ලුතිනන් ජෙනරාල් සිල්වා මහතා වැරදිකරු බව තහවුරු කිරීමට තරම් ප්‍රමාණවත් නොවන බව ඔහු තවදුරටත් පැවසීය.
විශේෂයෙන්ම ගැටුමේ අවසාන අදියරයන් සම්බන්ධයෙන් චෝදනා විභාග කළ දේශීය ක්‍රියාදාමයන් වූ උගත් පාඩම් හා ප්‍රතිසංවිධාන කොමිෂන් සභාව (LLRC) මෙන්ම, පරණගම කොමිෂන් සභා වාර්තා තුළින්, පෙර දී කොමිෂන් සභා දෙකම හමුවේ පෞද්ගලිකව සාක්ෂි දුන් වත්මන් හමුදාපතිවරයාගේ ක්‍රියාකලාපයට එරෙහිව ප්‍රමාණවත් සාක්ෂි හමු වී නැත.
මෙම කාරණය සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් පොදු මහජනතාව වෙත නිකුත් කරන ලද තොරතුරුවල බරපතල විෂමතාවන් පවතින බව ශ්‍රී ලංකාවේ අදහස බව විදේශ කටයුතු ලේකම්වරයා සඳහන් කළේය. සාම සාධක භටයින් සීමා කිරීම පිළිබඳ සාකච්ඡාව පිළිබඳව මුලින්ම ශ්‍රී ලංකා රජයට දැනුම් දුන් අවස්ථාවේ දී ව්‍යංගයෙන් අදහස් කරන ලද ශ්‍රී ලංකා හා එක්සත් ජාතීන්ගේ ඒකාබද්ධ ජාතික මානව හිමිකම් කොමිෂන් සභාව (NHRCSL) මඟින් සාම සාධක හමුදා පරීක්‍ෂා කිරීම ප්‍රමාද වීම පිළිබඳ කිසිදු සඳහනක් එහි නොවීය. එක්සත් ජාතීන්ගේ සාම මෙහෙයුම් දෙපාර්තමේන්තුව සමඟ එළඹි අවබෝධතා ගිවිසුමේ පැහැදිලිව සඳහන් කර ඇති පරිදි, අදාළ පාර්ශ්වයන් අතර සාකච්ඡාවලින් අනතුරුව ගිවිසුම අවසන් කිරීමේ ක්‍රමවේද සඳහා වූ කොන්දේසි සමග එකඟ විය යුතු වන අතර, මෙම අවස්ථාවේදී, එක්සත් ජාතීන්ගේ සංවිධානය සිය වගකීම ඉටු නොකොට ඒකපාර්ශ්වික තීරණයක් ගනිමින් ශ්‍රී ලංකාවට දෝෂාරෝපණයක් ඉදිරිපත් කළ බව පෙන්වා දෙන ලදී.
ශ්‍රී ලංකාවේ නිත්‍ය නියෝජිතවරයා එක්සත් ජාතීන්ගේ උප මහලේකම්වරයා සමඟ සිදුකළ සුහද හමුවක දී මෙම තීරණය දන්වන ලද අතර, එය යෝග්‍ය ක්‍රියාවක් නොවේ. තවදුරටත් කණගාටුවට කරුණක් වන්නේ, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහා ලේකම් කාර්යාල‍යේ නියෝජ්‍ය ප්‍රකාශකවරයා මහජනතාව වෙත යාමට පෙර, එක්සත් ජාතීන්ගේ සාම මෙහෙයුම් දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකාව සමඟ කිසිදු සන්නිවේදනයක් සිදු නොකිරීමයි. මීට අමතරව, මෙම ශ්‍රී ලාංකික හමුදා භටයන් වෙනුවට පත් කිරීමට අපේක්ෂා කරන සාම සාධක භට පිරිස් ලබා දෙන රට පිළිබඳ තොරතුරු ලෙබනනයේ ශ්‍රී ලංකා තානාපතිවරයා හට දැනගැනීමට ලැබුණේ, එක්සත් ජාතීන්ගේ සාම මෙහෙයුම් දෙපාර්තමේන්තුව සමඟ වෘත්තීයමය වශයෙන් සන්නිවේදනය කිරීම තුළින් නොව, රාජ්‍යතාන්ත්‍රික පිළිගැනීමේ උත්සවයක දී අදාළ රටේ රාජ්‍යතාන්ත්‍රිකයෙකු වෙතින් ය.
ශ්‍රී ලංකා රජය විසින් එක්සත් ජාතීන්ගේ සාම මෙහෙයුම් දෙපාර්තමේන්තුව සමඟ කරන ලද සන්නිවේදනවල දී පෙන්වා දී ඇත්තේ, ලුතිනන් ජෙනරාල් සිල්වා මහතා යුද හමුදාපති ලෙස පත් කිරීම සහ ඒකාබද්ධ ලෙස පූර්ණ පරීක්ෂාවකට ලක් කොට එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදාව සඳහා නම් කරනු ලබන යුධ හමුදා භටයින්ගේ යෝග්‍යතාවය හා කටයුතු කිරීම අතර කිසිදු සම්බන්ධයක් නොමැති බවයි. එබැවින්, මෙම භටයින්ට පෞද්ගලිකව දඬුවම් පැමිණවීම හරහා එම දණ්ඩණයන් පැනවීම පිළිගත නොහැකිය. තවද, ඔවුන්ගේ පුහුණුව හා අවි ලබාදීමෙන් අනතුරුව වෙන් කර ඇති අදාළ මෙහෙයුම් සඳහා ඔවුන්ව නීත්‍යානුකූලව නොයෙදවීම ද ඔවුන්ගේ සාධාරණ අපේක්ෂාවන් ලබා දීම ප්‍රතික්ෂේප කිරීමකි. ඒ අනුව, ඉහත කී තීරණය ක්‍රියාත්මක කිරීම මඟින් එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් එහි මානුෂීය පැතිකඩ පිළිබඳව නොසලකා හැර තිබේ. මීට අමතරව, එක්සත් ජාතීන්ගේ සාම මෙහෙයුම් දෙපාර්තමේන්තුව විසින් සිදු කරන ලද ඉහත කී ක්‍රියාව හේතුවෙන් මෙම හඳුනාගත් ශ්‍රී ලාංකික සාම සාධක භටයින්ට ඔවුන්ගේ විශේෂඥ දැනුම ලබා දීම සඳහා වූ අවස්ථාව අහිමි විය. එහි ප්‍රතිඵලය වනුයේ භට පිරිස් ලබා ගන්නා රට අපහසුතාවයට පත් වීම සහ අදාළ සේවා භූමියේ සාම සාධක මෙහෙයුම් අස්ථාවර වීම හා අවදානමට ලක්වීමය.
මෙම තීරණය ක්‍රියාත්මක කිරීමේදී, වඩාත් අවදානමට ලක්විය හැකි ඉහළ තර්ජනාත්මක ස්ථානවල දිගටම රැඳවීමට අපේක්ෂා කරමින්, ශ්‍රී ලංකා සාම සාධක භටයින්ට සේවය කිරීමට පහසු එක් ස්ථානයකට ආදේශ නොකිරීමට උත්සාහ දැරීමෙන්, එක්සත් ජාතීන්ගේ සාම මෙහෙයුම් දෙපාර්තමේන්තුව පාරිශුද්ධ වූ කටයුත්තක් දේශපාලනීකරණය කිරීමේ ලක්ෂණ සහිත සැක සහිත පදනමක් මත “වාසි සහගත තෝරා ගැනීමක්” වෙත යොමුවී සිටින බව විදේශ කටයුතු ලේකම් ආර්යසිංහ මහතා පවසා සිටියේය.
1960 වර්ෂයේ සිටම ඉතා දුෂ්කර සේවා භූමි කිහිපයකම අඛණ්ඩව සේවය කරමින්, තුවාල ලැබූවන් ද සහිතව එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදාවට දිගු කලක් සේවයෙන් දායක වී ඇති රටකට නිසි ගෞරවය දක්වමින්, ශ්‍රී ලංකා රජය විසින් ඉදිරිපත් කරන ලද කරුණු පිළිබඳ සන්දර්භය තුළ, එක්සත් ජාතීන්ගේ සාම මෙහෙයුම් දෙපාර්තමේන්තුව එළඹ සිටින තීරණය නැවත සමාලෝචනය කරන ලෙස විදේශ කටයුතු ලේකම් ආර්යසිංහ මහතා ශ්‍රී ලංකා රජය වෙනුවෙන් ඉල්ලා සිටියේය.
එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත, තානාපති ක්ෂෙනුකා සෙනෙවිරත්න මැතිනිය, එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය දූතමණ්ඩලයේ හමුදා උපදේශක විජේන්ද්‍රලාල් ගුණතිලක මහතා සහ තවත් ජ්‍යේෂ්ඨ නිලධාරීහු පිරිසක් විදේශ කටයුතු ලේකම්වරයා සමඟ එක්වූහ. එක්සත් ජාතීන්ගේ සාම සාධක මෙහෙයුම් පිළිබඳ හමුදාමය උපදේශක ලුතිනන් ජෙනරාල් කාලෝස් හම්බ්‍රෙටෝ ලොයිටි, මහලේකම්වරයාගේ නියෝජිත සහ බෙල්ග්‍රේඩ්හි එක්සත් ජාතීන්ගේ කාර්යාලයේ ප්‍රධානී පීටර් ඩියු සහ උප මහලේකම් කාර්යාලයේ ප්‍රධානී මාකෝ බියන්චිනි යන මහත්වරු උප මහලේකම්වරයාට සහාය වූහ.
 
විදේශ කටයුතු අමාත්‍යාංශය
කොළඹ
2019 සැප්තැම්බර් 28 වැනි දින
Print Friendly, PDF & Email
Please follow and like us:

Close