සාමුද්‍රීය ආරක්ෂාව, සුරක්ෂිතතාව සහ සාගර කටයුතු පිළිබඳ තුන්වැනි ශ්‍රී ලංකා-ජපන් සංවාදය කොළඹදී සාර්ථකව නිමා වෙයි

සාමුද්‍රීය ආරක්ෂාව, සුරක්ෂිතතාව සහ සාගර කටයුතු පිළිබඳ තුන්වැනි ශ්‍රී ලංකා-ජපන් සංවාදය කොළඹදී සාර්ථකව නිමා වෙයි

Pic 1

සාමුද්‍රීය ආරක්ෂාව, සුරක්ෂිතතාව සහ සාගර කටයුතු පිළිබඳ තුන්වැනි ශ්‍රී ලංකා-ජපන් සංවාදය 2018 ජූලි 19 වැනි දින කොළඹ විදේශ කටයුතු අමාත්‍යාංශයේදී පැවැත්විණි.

මෙම සංවාදය වනාහී ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා 2015 වසරේදී සිදු කළ ජපන් නිල සංචාරය අතරතුරදී දෙරට එකඟ වූ විස්තීර්ණ හවුල්කාරීත්වය පිළිබඳ ඒකාබද්ධ ප්‍රකාශයෙන් අපේක්ෂිත සහයෝගීතාවේ එක් වැදගත් අංගයකි. සාමුද්‍රීය ආරක්ෂාව, සුරක්ෂිතතාව සහ සාගර කටයුතු යන ක්ෂේත්‍රවල සහයෝගීතාව දැක්වීමේ වැදගත්කම ශ්‍රී ලංකා නායකයන් ඉන් අනතුරුව ජපානයට කළ ඉහළ පෙළේ සංචාරවලදී අඛණ්ඩවම අවධාරණය කෙරිණි. යාත්‍රාකිරීමේ සහ පියාසර කිරීමේ නිදහස සහතික කරනු පිණිසද, බාධාවකින් තොරව කෙරෙන වෙළෙඳාම ඇතුළු නීතියේ ආධිපත්‍යය මත පදනම් වූ සාමුද්‍රීය ක්‍රමයක් පවත්වා ගැනීම පිණිසද මෙම ක්ෂේත්‍රවල සහයෝගීතාව පුළුල් කිරීම සඳහා රාජ්‍යයන් දෙකම කැපවී ඇත.

ඉන්දු-ශාන්තිකර සහ ඉන්දියානු සාගර කලාපයේ තත්ත්වය, වරාය සහ නාවික කටයුතු පිළිබඳ සහයෝගීතාව, සාමුද්‍රීය ආරක්ෂාව හා සුරක්ෂිතබව මෙන්ම කලාපීය බහුපාර්ශ්වික මුල්පිරීම්ද සංවාදයේදී සාකච්ඡාවට බඳුන් විය. මුර යාත්‍රා දෙකක් පිරිනැමීම සහ පුහුණු අවස්ථා විශාල සංඛ්‍යාවක් ලබාදීමද ඇතුළුව ශ්‍රී ලංකා වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුවේ සුරක්ෂිත ශක්නුතාවන් වර්ධනය කිරීම පිණිස ජපන් රජය විසින් ලබා දෙන ලද පුළුල් සහය ශ්‍රී ලංකා රජයේ ඇගයීමට ලක් විය.  ජපන් සාමුද්‍රීය ආත්මාරක්ෂක හමුදා සහ ශ්‍රී ලංකා නාවික හමුදාව, ශ්‍රී ලංකා ගුවන් හමුදාව හා ශ්‍රී ලංකා වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුව අතර සහයෝගීතාව ඉහළ නැංවීමටද මෙම රැස්වීම අතරතුරදී දෙපාර්ශ්වය එකඟ විය.

ආසියාන් කලාපීය සංසදය (ARF) , සහ ආසියානු නෞකාවලට මුහුදු කොල්ලකරුවන්ගෙන් සහ ආයුධ සන්නද්ධ කොල්ලකරුවන්ගෙන් එල්ලවන තර්ජන මැඬීමේ කලාපීය සහයෝගීතා ගිවිසුම(ReCAAP) ඇතුළු බහුපාර්ශ්වීය රාමු තුළ වර්ධනය කරගත් සහයෝගීතාව දෙපාර්ශ්වයේ සාකච්ඡාවට බඳුන් වූ අතර එම සංසදවලදී වර්ධනය කරගත් අන්තර් ක්‍රියාකාරීත්වයේ වැදගත්කම හඳුනා ගැනිණි.

මෙම සංවාදයේදී ශ්‍රී ලංකා නියෝජිත පිරිසේ නායකත්වය විදේශ කටයුතු අමාත්‍යාංශයේ සාගර කටයුතු හා දේශගුණ විපර්යාස අංශයේ අධ්‍යක්ෂ ජනරාල් සශිකලා ප්‍රේමවර්ධන මෙනෙවිය විසින් දරන ලද අතර ජපන් විදේශ අමාත්‍යාංශයේ නිරිතදිග ආසියා අංශයේ අධ්‍යක්ෂ ෂොගො යොෂිතකෙ මහතා විසින් ජපන් නියෝජිත පිරිසේ නායකත්වය දරන ලදී. විදේශ කටයුතු, ආරක්ෂක, වරාය හා නාවික යන අමාත්‍යාංශවලද ශ්‍රී ලංකා වරාය අධිකාරිය, ආරක්ෂක මණ්ඩල ප්‍රධානී කාර්යාලය, ශ්‍රී ලංකා නාවික හමුදාව, ශ්‍රී ලංකා ගුවන් හමුදාව සහ ශ්‍රී ලංකා වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුව යන ආයතනවලද නියෝජිතයෝ ශ්‍රී ලංකා නියෝජිත පිරිසට අයත් වූහ. ජපන් විදේශ කටයුතු අමාත්‍යාංශය, කොළඹ පිහිටි ජපන් තානාපති කාර්යාලය, සහ ජපන් වෙරළ ආරක්ෂක හමුදාව යන ආයතනවල නියෝජිතයන්ගෙන් ජපන් නියෝජිත පිරිස සමන්විත විය.

විදේශ කටයුතු අමාත්‍යාංශය
කොළඹ

2018 ජූලි 20 වැනිදා

Pic 2

Pic 3

Print Friendly, PDF & Email
Please follow and like us:

Close