එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ නියෝජ්‍ය අගමැති සහ විදේශ කටයුතු අමාත්‍ය ෂෙයික් අබ්දුල්ලා බින් සයිඩ් අල් නහ්යන් මහතාගේ ශ්‍රී ලංකා නිල සංචාරය අවසන් වේ.

 එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ නියෝජ්‍ය අගමැති සහ විදේශ කටයුතු අමාත්‍ය ෂෙයික් අබ්දුල්ලා බින් සයිඩ් අල් නහ්යන් මහතාගේ ශ්‍රී ලංකා නිල සංචාරය අවසන් වේ.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ නියෝජ්‍ය අගමැති සහ විදේශ කටයුතු අමාත්‍ය ෂෙයික් අබ්දුල්ලා බින් සයිඩ් අල් නහ්යන් මහතා 2025 අප්‍රේල් 22 වැනි දින ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත විය.

2025 ලෝක රාජ්‍ය සමුළුවට සහභාගී වීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා 2025 පෙබරවාරි 10-13 දිනවල එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ කළ සංචාරයෙන් පසුව මෙම සංචාරය සිදු විය.

මෙම සංචාරය අතරතුරදී, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ නියෝජ්‍ය අග්‍රාමාත්‍ය සහ විදේශ කටයුතු අමාත්‍යවරයා අද (2025 අප්‍රේල් 22) ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවිය. විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා සමඟ ඔහු ඵලදායී ද්විපාර්ශ්වික හමුවක්ද පැවැත්වූයේය.

අමාත්‍ය හේරත් සමඟ පැවති සාකච්ඡාවේදී, දෙරට අතර පවතින දිගුකාලීන සමීප ද්විපාර්ශ්වික සහයෝගීතාව තවදුරටත් ඉදිරියට ගෙන යෑම පිළිබඳව හා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ව්‍යවසායකයින් සඳහා ශ්‍රී ලංකාවේ ඇති ආයෝජන අවස්ථා, ආර්ථික සහයෝගීතාව සහ වෙළෙඳාම කෙරෙහි අවධානය යොමු විය.

විදේශ අමාත්‍ය හේරත් මහතා, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ව්‍යාපාරිකයින්ට, ආයෝජකයින්ට සහ සංචාරකයින්ට ශ්‍රී ලංකාව වඩාත් ප්‍රියජනක ගමනාන්තයක් වශයෙන් සලකන ලෙස ඉල්ලා සිටියේය. විදුලිබල හා බලශක්ති, පිරිපහදු, ඖෂධ, තොරතුරු තාක්ෂණ අංශය, ඇඟලුම් හා රෙදිපිළි සහ සංචාරක ඇතුළු ක්ෂේත්‍රවල ආයෝජන අවස්ථා ශ්‍රී ලංකාව තුළ පවතින බව ඔහු ප්‍රකාශ කළේය.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයා සහ විදේශ කටයුතු අමාත්‍යවරයා ශ්‍රී ලංකාව ලබා ඇති ස්ථාවරත්වය සහ ප්‍රගතිය අගය කළ අතර, ආර්ථික ස්ථාවරත්වය සහ අනාගත වර්ධනය සඳහා ශ්‍රී ලංකාව නිවැරදි දිශානතියකට ගමන් කරන බවට විශ්වාසය පළ කළේය.

එක්සත් අරාබි එමීර් රාජ්‍යය ශ්‍රී ලංකාව සමග ද්වී පාර්ශවික සබදතා පවත්වන සමීප හවුල්කරුවෙකු වන අතර එය පුද්ගල-පුද්ගල සබඳතා තුළින්ද පැහැදිලි වන බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය. බලශක්ති, සංචාරක සහ ආහාර අංශ ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක සහයෝගීතාව තවදුරටත් වර්ධනය කිරීමට ඇති උනන්දු ඔහු ප්‍රකාශ කළේය. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ශ්‍රී ලාංකික වෘත්තිකයන්ට සහ අර්ධ කුසලතා ඇති සේවකයින්ට වැඩි රැකියා අවස්ථා නිර්මාණය කිරීම පිළිබඳවද සාකච්ඡා කෙරිණි.

ත්‍රිකුණාමලය බලශක්ති මධ්‍යස්ථානයක් ලෙස සංවර්ධනය කිරීමේ සහයෝගීතාව සඳහා ත්‍රෛපාර්ශ්වික අවබෝධතා ගිවිසුම අත්සන් කිරීම ෂෙයික් අබ්දුල්ලා බින් සයිඩ් අල් නහ්යන් මහතා පිළිගත් අතර, එය රටවල් තුන අතර වැඩි සහයෝගීතාවක් සඳහා රාමුවක් සපයන බව ප්‍රකාශ කළේය.

රැස්වීමට සමගාමීව, දෙරටේ ව්‍යාපාරික ප්‍රජාවන් අතර සහයෝගීතාව වැඩි දියුණු කිරීමට මග පාදන, එක්සත් අරාබි එමීර් රාජ්‍ය - ශ්‍රී ලංකා ඒකාබද්ධ ව්‍යාපාරික කවුන්සිලය පිහිටුවීම පිළිබඳ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ වාණිජ හා කර්මාන්ත මණ්ඩල සම්මේලනය සහ ශ්‍රී ලංකා ජාතික වාණිජ මණ්ඩලය අතර අවබෝධතා ගිවිසුම අත්සන් කිරීමද අමාත්‍යවරුන් දෙදෙනා ඉදිරියේදී සිදු විය.

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය

කොළඹ

2025 අප්‍රේල් 22 වැනි දින

 

Please follow and like us:

Close