ශ්‍රී ලංකාව සහ එක්සත් රාජධානිය අතර  උපායමාර්ගික සංවාදයේ දෙවැනි රැස්වීම කොළඹදී

ශ්‍රී ලංකාව සහ එක්සත් රාජධානිය අතර  උපායමාර්ගික සංවාදයේ දෙවැනි රැස්වීම කොළඹදී

ශ්‍රී ලංකාව සහ එක්සත් රාජධානිය අතර උපායමාර්ගික සංවාදයේ දෙවැනි රැස්වීම ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ මට්ටමින් 2024 මැයි 07 වැනි දින කොළඹදී පැවැත්වීමට නියමිතය.

විදේශ සහ ආරක්ෂක ප්‍රතිපත්තිවල වර්ධනයන් මෙන්ම වෙළෙඳාම, ආයෝජන, සංචාරක, දේශගුණික විපර්යාස, පරිසර ආරක්ෂණය, සංක්‍රමණය, සමුද්‍රීය සහයෝගීතාව ඇතුළු ද්විපාර්ශ්වික කටයුතුවල ප්‍රගතිය මෙම රැස්වීමේදී සමාලෝචනය කෙරෙනු ඇත.

එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ පොදුරාජ්‍ය මණ්ඩලය ඇතුළු ජාත්‍යන්තර සංවිධානවලදී දෙරටේ සහයෝගීතාව පිළිබඳවද මෙම හමුවේදී විමසා බැලෙයි.

2023 වසරේදී ශ්‍රී ලංකාව සහ එක්සත් රාජධානිය, දෙරට අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවල 75වැනි සංවත්සරය සැමරීය. මෙම අවස්ථාව සැමරීම සඳහා එක්සත් රාජධානියේ ඈන් කුමරිය මෙම වසරේදී මෙරට සිදුකළ සංචාරය අපගේ චිරස්ථායී  මිත්‍රත්වයේ වැදගත්කම අවධාරණය කරයි.

මෙම දෙවැනි උපායමාර්ගික සංවාදයේදී, විදේශ කටයුතු අමාත්‍යාංශයේ යුරෝපා සහ උතුරු ඇමරිකා අංශයේ  අධ්‍යක්ෂ ජනරාල් ශෝබිනි ගුණසේකර මහත්මිය ශ්‍රී ලංකා නියෝජිත පිරිසේ නායකත්වය දරන අතර විදේශ කටයුතු ලේකම් අරුණි විජේවර්ධන මහත්මිය සමඟ පැවැත්වීමට නියමිත ද්විපාර්ශ්වික සාකච්ඡාද මෙයට ඇතුළත් වේ. විදේශ, පොදුරාජ්‍ය මණ්ඩලයීය හා සංවර්ධන කාර්යාලයේ ඉන්දියානු සහ ඉන්දියානු සාගර කලාපය පිළිබඳ  අධ්‍යක්ෂ බෙන් මෙලර් මහතා එක්සත් රාජධානි දූත පිරිසේ නායකත්වය දරන අතර, ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් ඇන්ඩෲ පැට්‍රික්, විදේශ, පොදුරාජ්‍ය මණ්ඩලයීය සහ සංවර්ධන කාර්යාලයේ ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධානී හුමයිරා හයිතා යන මහත්ම මහත්මීන් මෙන්ම බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලයේ නිලධාරීහුද එක්සත් රාජධානි දූත පිරිසට අයත් වෙති.  විදේශ කටයුතු අමාත්‍යාංශයේ සහ අනෙකුත් අදාළ රාජ්‍ය ආයතනවල නිලධාරීන්ද මෙම සංවාදයට සහභාගී වීමට නියමිතය.

විදේශ කටයුතු අමාත්‍යාංශය

කොළඹ

 2024 මැයි 03 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close