රුසියානු විදේශ කටයුතු අමාත්‍ය සර්ජේ ලැව්රොව් මැතිතුමා ද්විපාර්ශ්වික සාකච්ඡා සඳහා ශ්‍රී ලංකාවට පැමිණෙයි

රුසියානු විදේශ කටයුතු අමාත්‍ය සර්ජේ ලැව්රොව් මැතිතුමා ද්විපාර්ශ්වික සාකච්ඡා සඳහා ශ්‍රී ලංකාවට පැමිණෙයි

රුසියානු සමූහාණ්ඩුවේ විදේශ කටයුතු අමාත්‍ය සර්ජේ ලැව්රොව් මැතිතුමා, විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මැතිතුමා සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීම සඳහා 2020 ජනවාරි 13 වැනි දින ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය. 2019 නොවැම්බර් මස පැවති ජනාධිපතිවරණයෙන් හා ශ්‍රී ලංකාවේ නව අමාත්‍ය මණ්ඩලයක් පත් කිරීමෙන් අනතුරුව රුසියානු සමූහාණ්ඩුවෙන් ශ්‍රී ලංකාවේ නියැලෙන පළමු නිල සංචාරය මෙය වේ.

2009 වසරෙන් පසු එනම් වසර 10කට පසුව, විදේශ අමාත්‍ය ලැව්රෝ මැතිතුමා නොබෝ දිනකින් ශ්‍රී ලංකාවේ නියැලෙන සංචාරය මඟින් දෙරට අතර දීර්ඝ කාලයක් මුළුල්ලේ පවත්වාගෙන එනු ලබන ද්විපාර්ශ්වික සබඳතාවලට නව පණක් ලබා දෙනු ඇත. මෙම සංචාරය අතරතුර දී අමාත්‍ය ලැව්රෝ මැතිතුමා ජනාධිපති රාජපක්ෂ මැතිතුමා සහ අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා හමුවීමට නියමිතය. විදේශ සබඳතා අමාත්‍ය ගුණවර්ධන මැතිතුමා සහ රුසියානු විදේශ අමාත්‍යවරයා අතර පැවැත්වෙන නිල සාකච්ඡාවල දී, ද්විපාර්ශ්වික කටයුතු සමාලෝචනය කිරීමට සහ ආර්ථික, ආරක්ෂක, අධ්‍යාපන, සංචාරක කටයුතු සහ විද්‍යා හා තාක්ෂණ ක්ෂේත්‍රවල නව සහයෝගීතා මාර්ග විවර කිරීමට අපේක්ෂා කෙරේ. දෙරටටම පොදු වූ අභියෝග සඳහා පොදු විසඳුම් ලබා ගැනීමෙහිලා කලාපීය හා බහුපාර්ශ්වීය සංසඳවල දී සමීපව කටයුතු කිරීම පිළිබඳව ද මෙහි දී සාකච්ඡාවට බඳුන්වනු ඇත.

2020 ජනවාරි 14 වැනි දින ද්විපාර්ශ්වික සාකච්ඡාවලින් අනතුරුව පවත්වනු ලබන ඒකාබද්ධ මාධ්‍ය සාකච්ඡාවේ දී අමාත්‍යවරුන් දෙපළ මාධ්‍ය අමතනු ඇත.

 

විදේශ සබඳතා අමාත්‍යාංශය

කොළඹ

2020 ජනවාරි 12 වැනි දින

 

Print Friendly, PDF & Email
Please follow and like us:

Close