දේශපාලන කටයුතු පිළිබඳ එක්සත් ජනපද නියෝජ්‍ය රාජ්‍ය ලේකම් තෝමස් ඒ. ෂැනන් (කනිෂ්ට) මහතා සමඟ පැවැති සාකච්ඡාවලින් අනතුරුව විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් ප්‍රසාද් කාරියවසම් මහතා විසින් ජනමාධ්‍යවේදීන් හමුවේ කරන ලද ප්‍රකාශය - විදේශ කටයුතු අමාත්‍යාංශය, 2017 නොවැම්බර් 06 වැනි සඳුදා

දේශපාලන කටයුතු පිළිබඳ එක්සත් ජනපද නියෝජ්‍ය රාජ්‍ය ලේකම් තෝමස් ඒ. ෂැනන් (කනිෂ්ට) මහතා සමඟ පැවැති සාකච්ඡාවලින් අනතුරුව විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් ප්‍රසාද් කාරියවසම් මහතා විසින් ජනමාධ්‍යවේදීන් හමුවේ කරන ලද ප්‍රකාශය – විදේශ කටයුතු අමාත්‍යාංශය, 2017 නොවැම්බර් 06 වැනි සඳුදා

DSC09606

 

දේශපාලන කටයුතු පිළිබඳ එක්සත් ජනපද නියෝජ්‍ය රාජ්‍ය ලේකම් තෝමස් ඒ. ෂැනන් (කනිෂ්ට) මහතා සමඟ පැවැති සාකච්ඡාවලින් අනතුරුව විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් ප්‍රසාද් කාරියවසම් මහතා විසින් ජනමාධ්‍යවේදීන් හමුවේ කරන ලද ප්‍රකාශය

විදේශ කටයුතු අමාත්‍යාංශය, 2017 නොවැම්බර් 06 වැනි සඳුදා

 

ජනමාධ්‍යවේදී මිතුරනි,

නෝනාවරුනි, මහත්වරුනි,

  • දේශපාලන කටයුතු පිළිබඳ එක්සත් ජනපද නියෝජ්‍ය රාජ්‍ය ලේකම් තෝමස් ෂැනන් තානාපතිතුමාත් ඔහුගේ නියෝජිත පිරිසත් මේ සන්ධ්‍යාවේදී විදේශ කටයුතු අමාත්‍යාංශයේදී පිළිගන්නට ලැබීම මට ඉමහත් සතුටක් සහ ගෞරවයක්.

  • මේ පසුගිය මාස දෙකක වැනි කාලයක් ඇතුළත අප දෙදෙනා අතර ඇති වූ දෙවැනි හමුවයි. අප දෙරට අතර දිනෙන් දින වර්ධනය වන සබඳතා හා සහයෝගිතාව ගැන සාකච්ඡා කරන්නට, පසුගිය සැප්තැම්බර් මාසයේ එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරය අතරතුර ෂැනන් තානාපතිතුමා අතිගරු ජනාධිපතිතුමන් බැහැ දුටු අවස්ථාවේ ඔහු සහ මා නිව්යෝක් නුවරදී හමු වුණා. මුදල් සහ ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පසුගිය මාසයේ වොෂිංටන් නුවර සංචාරය කළ විට ෂැනන් තානාපතිතුමා ඔහුත් මුණගැසුණා. අපේ පාර්ලිමේන්තුවේ ගරු කතානායකතුමා සහ බහු පක්ෂ නියෝජිත පිරිසක් පසුගිය සැප්තැම්බරයේ වොෂිංටන් නුවර සංචාරය කළා. අප දෙරට අතර, සෑම මට්ටමෙන්ම ඉහළ නැංවී ඇති සබඳතා සැබැවින්ම දැඩි ප්‍රීතියට කාරණයක්.

නෝනාවරුනි, මහත්වරුනි,

  • නියෝජ්‍ය ලේකම් ෂැනන් මහතා ශ්‍රී ලංකාවටත්, අපගේ සියලුම නායකයන්ටත්, ඔබ සැමටත් අමුත්තෙක් නොවෙයි.

  • මේ ඔහු ශ්‍රී ලංකාවට පැමිණි දෙවැනි අවස්ථාවයි. ඔහු පළමුවෙන්ම ශ්‍රී ලංකාවේ සංචාරය කළේ 2015 දෙසැම්බර් මාසයේ. 2015 දෙසැම්බර් මාසයේ කළ ඒ පළමු සංචාරය අතරතුරදී මේ ගොඩනැඟිල්ලේදීම ඔහු මාධ්‍ය හමුවක් පැවැත්වූ බව ඔබට මතක ඇතැයි මා විශ්වාස කරනවා. ඒ මාධ්‍ය හමුවේදී පළමුවැනි එක්සත් ජනපද-ශ්‍රී ලංකා සහයෝගිතා සංවාදයේ දින නිවේදනය කෙරුණා. ඒ අනුව එක්සත් ජනපදය සහ ශ්‍රී ලංකාව අතර පළමු සහයෝගිතා සංවාදය පසුගිය වසරේ, එනම් 2016 වසරේ පෙබරවාරි මාසයේදී වොෂිංටන් නුවරදී පැවැත්වුණා. එයට නායකත්වය දුන්නේ අන් කවරකුවත් නොව ෂැනන් තානාපතිතුමායි.

  • මාත්, ෂැනන් තානාපතිතුමාත් අප දෙරටේ නිලධාරීනුත් සමඟ දෙවැනි එක්සත් ජනපද- ශ්‍රී ලංකා සහයෝගිතා සංවාදය පැවැත්වූ බව මා අද නිවේදනය කරන්නේ ඉමහත් සතුටකින්.

  • එය බොහෝ ආකාරයකින් අප දෙරටටම වැදගත් සන්ධිස්ථානයක්.

  • ඔබ දන්නා පරිදි, එක්සත් ජනපදය සහ ශ්‍රී ලංකාව පරම්පරා ගණනාවක් තිස්සේ මිතුරන්. වෙළෙඳ හා වාණිජ ක්ෂේත්‍ර, අන්තර් පුද්ගල සබඳතා, අධ්‍යාපන සහ සංස්කෘතික අංශ මෙන්ම ආරක්ෂක සහයෝගිතාවද ඇතුළුව අපගේ අන්තර් ක්‍රියාකාරකම් මගින් අප විශාල වශයෙන් ප්‍රතිලාභ ලබාගෙන තිබෙනවා. අපගේ ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයන් දෙක විසින්ම පෝෂණය කරනු ලබන හරයන් වන යහපාලනය ශක්තිමත් කිරීම, ප්‍රජාතන්ත්‍රවාදය, නීතියේ ආධිපත්‍යය, සංහිඳියාව සහ තිරසර සාමය වෙනුවෙන් ශ්‍රී ලංකාවේ ජනතාව ඡන්දය ලබා දුන් 2015 මැතිවරණවලින් පසුව අප දෙරට අතර සබඳතාව තවත් දැඩි වුණා. අපගේ සබඳතාව සවිමත් පදනමක් සහ ව්‍යුහයක් මත ගොඩනැගීමටත්, පුළුල් පරාසයක් ආවරණය කරන ක්ෂේත්‍ර රැසක අපගේ සහයෝගිතාව වර්ධනය කිරීමටත් හැකියාව ලබා දෙන 'සහයෝගිතා සංවාදය' නමැති යාන්ත්‍රණය පිහිටුවීමට මේ නිසා හැකියාව ලැබුණා.

එක්සත් ජනපදය සහ ශ්‍රී ලංකාව අතර පුළුල් පරාසයක විහිදුණු වැදගත් කරුණු සහ සහයෝගිතා ක්ෂේත්‍ර සාකච්ඡා කරන මෙම වැදගත් සහ ප්‍රයෝජනවත් යාන්ත්‍රණය තව දුරටත් තහවුරු වීම අද පැවැත්වූ දෙවැනි සහයෝගිතා සංවාදයෙන් පෙන්නුම් කෙරෙනවා.

  • එක්සත් ජනපදයේ නව පරිපාලනය නියෝජනය කරමින් ශ්‍රී ලංකාවේ සංචාරය කළ ජ්‍යෙඨතම එක්සත් ජනපද නිලධාරීයා ෂැනන් තානාපතිතුමායි. ෂැනන් තානාපතිතුමාගේ නායකත්වයෙන් යුතු එක්සත් ජනපද නියෝජිත පිරිසේ සහභාගීත්වයෙන් අප දෙරට අතර පැවැති දෙවැනි සහයෝගිතා සංවාදය, පුළුල් පරාසයකට අයත් සහයෝගිතා ක්ෂේත්‍ර පුරා පැතිරුණු සබඳතාවන් ශක්තිමත් කිරීමට, පරිපාලනයන් දෙකක් යටතේ, එක්සත් ජනපදය සහ ශ්‍රී ලංකාව තුළ ඇති ඇපකැපවීම ප්‍රදර්ශනය කරනවා.

  • අපගේ සාකච්ඡාවලින් අනතුරුව අප ඒකාබද්ධ නිවේදනයකට එකඟ වුණා. එම ඒකාබද්ධ නිවේදනය ඔබ මේ මාධ්‍ය හමුවෙන් පිටව යන විට ඔබ අතට ලැබෙනු ඇති. ඒ ඒකාබද්ධ නිවේදනයෙන් ඔබට පෙනෙනවා ඇති, එක්සත් ජනපදය සහ ශ්‍රී ලංකාව අතර ඇති සහයෝගිතාව ක්ෂේත්‍ර විශාල ගණනාවක් ආවරණය කරන බව. නීතිය ක්‍රියාත්මක කිරීම, මත්ද්‍රව්‍ය විරෝධී පියවර, ත්‍රස්ත විරෝධී පියවර, මුල්‍යමය සහ ණය පිළිබඳ අභියෝගයන්ට මුහුණ දීමට සහයවීම, නීතියේ ආධිපත්‍යය, විනිවිදභාවය සහ ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීම; සංහිඳියාව සහ ජීවනෝපාය මාර්ගවලට සහය දීමේ ප්‍රයත්න; සහ හමුදා සහයෝගිතාව ඉන් කිහිපයක් පමණි.

  • ෂැනන් තානාපතිතුමා සිය කතාවේදී මෙයින් සමහරක් ගැනත්, නව සහයෝගිතා ක්ෂේත්‍ර සහ ශ්‍රී ලංකාවට ලබා දෙන සහයෝගය ගැනත් සඳහන් කරනවා ඇති.

ෂැනන් තානාපතිතුමනි,

  • ඔබගේ ශ්‍රී ලංකා සංචාරය සිදුවන්නේ වසර 32 කට පසු ශ්‍රී ලංකාවට පැමිණි පළමුවැනි එක්සත් ජනපද නාවික හමුදා ගුවන්යානා හාරක නෞකාව වන යූඑස්එස් නිමිට්ස් නෞකාවේ ආගමනයට ඉතාමත් සමීපයෙන්. පසුගිය වසර දෙක තුළ  නෞකාවල ආගමනයන් කිහිපයක්ම සිදු වුණා. ඊට අමතරව එක්සත් ජනපද මැරීන් බළකාය ශ්‍රී ලංකා මැරීන් බළකාය පිහිටුවීමට අපට සහය වුණා. මේ වර්ධනයන් ගැනත්, අන්‍යොන්‍ය වශයෙන් වාසිදායක ද්විපාර්ශ්වික සහ කලාපීය ක්‍රමෝපායී සහ ආරක්ෂක ප්‍රතිලාභ ලබා දෙන දිනෙන් දින දියුණු වන හමුදා සහයෝගිතාව ගැනත් අප අතිශයින්ම ප්‍රීතියට පත් වනවා මෙන්ම අප එය අගය කරනවා.

  • ඉන්දු -ශාන්තිකර කලාපයේ ආරක්ෂාව, ස්ථාවරබව, විනිවිදභාවය සහ ආර්ථික අවස්ථාවන් ඉහළ නංවන ඒකාබද්ධ ක්‍රියාකාරකම් විෂයෙහි එක්සත් ජනපදයේ සම්බන්ධවීම සලකා බලන කල, අගෝස්තු-සැප්තැම්බර් මාසවල ශ්‍රී ලංකාවේ පැවැති ඉන්දියානු සාගර කලාපීය සම්මන්ත්‍රණයට වැඩ බලන සහකාර ලේකම් වෙල්ස් මහතා සහභාගීවීම අපට ඉමහත් අනුබලයක් සැපයූවා.

නෝනාවරුනි, මහත්වරුනි,

  • මෙවර ෂැනන් තානාපතිතුමාගේ ශ්‍රී ලංකා සංචාරය ඉතා කෙටි එකක්. ඔහු අද සන්ධ්‍යාවේ මෙහි පැමිණියා. හෙට උදෑසන ඔහු නික්ම යනවා. රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ අමාත්‍යවරුන් සමඟ සාකච්ඡා කිරීමට අමතරව එතුමා අද සවස ගරු අග්‍රාමාත්‍යතුමාත්, විදේශ කටයුතු අමාත්‍යතුමාත් බැහැ දුටුවා.

ෂැනන් නියෝජ්‍ය ලේකම්තුමනි,

  • මේ සංචාරය සම්බන්ධයෙන් මා ඔබට කෘතඥ වනවා. එහෙත්, ඔබගේ මිළඟ ශ්‍රී ලංකා සංචාරය මීට වඩා දිගු එකක් වනු ඇතැයි මා බලාපොරොත්තු වනවා. අප දෙරට අපගේ ද්විපාර්ශ්වික සබඳතා තර කරගැනීමට ක්‍රියා කරන අතර සහ කලාපීය සහ ගෝලීය වශයෙන් අපගේ අන්‍යොන්‍ය  සැලකිල්ල යොමුවන ක්ෂේත්‍රවල එක්ව කටයුතු කරන අතර, උදාවන දින, සති සහ මාසවලදී ඔබ සමග එක්ව දිගටම කටයුතු කරන්නට අප උදක්ම බලාපොරොත්තු වනවා.

  • පරිපාලනයන් දෙකක් යටතේ එක්සත් ජනපද-ශ්‍රී ලංකා සබඳතා ප්‍රවර්ධනය කිරීමට ඔබ ලබා දුන් නායකත්වය සම්බන්ධයෙන්ද, මෑතක් වනතුරුම, ඇමෙරිකා එක්සත් ජනපදයේ ශ්‍රී ලංකා තානාපතිවරයා වශයෙන් මා කටයුතු කරන විට වොෂිංටන් නුවරදී පෞද්ගලිකවම ඔබ මා වෙත ලබා දුන් සහයෝගය වෙනුවෙන්ද මා ඔබට මගේ කෘතඥතාව පළ කළ යුතුමයි.

  • ගත වන සෑම දිනයක් පාසාම, අප දෙරට අතර බැඳීම් වඩ වඩාත් ශක්තිමත් කරනු පිණිස අප සමඟ ඉතා සමීපයෙන් කටයුතු කරන අතුල් කේෂප් තානාපතිතුමාගේත්, කොළඹ සිටින එතුමාගේ කැපවීමෙන් යුත් කණ්ඩායමේත් දැඩි ප්‍රයත්න සම්බන්ධයෙන් වූ අපගේ ඇගයීමද මා මේ අවස්ථාවේ ප්‍රකාශ කිරීමට කැමැතියි.

  • ඔබ අමතන්නට මා දැන් ෂැනන් තානාපතිතුමාට ඇරයුම් කරනවා. ඉන් අනතුරුව, මාධ්‍යවලට අප දෙදෙනා වෙත ප්‍රශ්න දෙක බැගින් ඉදිරිපත් කිරීමට හැකියි.

 

 DSC09603

  

DSC09621

DSC09638 

 

DSC09628

 

Print Friendly, PDF & Email
Please follow and like us:

Close