ශ්‍රී ලංකාව අප්‍රිකාව සමඟ සිදු කරන කටයුතුවලට මඟ පෙන්වීම සඳහා ‘තවදුරටත් ශක්තිමත් කරන ලද අප්‍රිකානු ප්‍රතිපත්තිය’

ශ්‍රී ලංකාව අප්‍රිකාව සමඟ සිදු කරන කටයුතුවලට මඟ පෙන්වීම සඳහා ‘තවදුරටත් ශක්තිමත් කරන ලද අප්‍රිකානු ප්‍රතිපත්තිය’

Pic1

 

මාධ්‍ය නිවේදනය

ශ්‍රී ලංකාව අප්‍රිකාව සමඟ සිදු කරන කටයුතුවලට මඟ පෙන්වීම සඳහා ‘තවදුරටත් ශක්තිමත් කරන ලද අප්‍රිකානු ප්‍රතිපත්තිය’

මෑතක දී සැකසූ ‘තවදුරටත් ශක්තිමත් කරන ලද අප්‍රිකානු ප්‍රතිපත්තිය’ ක්‍රියාත්මක කිරීම මඟින් දේශපාලන ආර්ථික හා සංස්කෘතික ක්ෂේත්‍ර සම්බන්ධයෙන් අප්‍රිකානු රටවල් සමඟ ශ්‍රී ලංකාව පවත්වාගෙන යන සහයෝගීතාව වැඩි දියුණු කිරීමට අපේක්ෂා කරන බව විදේශ ලේකම් රවිනාථ ආර්යසිංහ මහතා  ප්‍රකාශ කළේය. ශ්‍රී ලංකා රාජ්‍යතාන්ත්‍රික නියෝජනය පුළුල් කිරීම, ප්‍රබල හා අන්‍යොන්‍ය වශයෙන් ඵලදායී වන ආර්ථික සහයෝගීතාවක් ඇති කිරීම, ඓතිහාසික පුද්ගලාන්තර සබඳතා පණගැන්වීම සහ බහු පාර්ශ්වීය සංසදවල දී හා කලාපීය සංවිධානවල දී සමීප සහයෝගීතාවක් දැක්වීම, අප්‍රිකානු රටවල් සමඟ සහයෝගීතාව වැඩිදියුණු කිරීම සඳහා ගැනීමට අපේක්ෂිත පියවර අතර වෙයි. ඉන්දියානු සාගරයට ඇති සමීපස්ථභාවය, ශ්‍රී ලංකාවේ කේන්ද්‍රීය පිහිටීම සහ 2014 වසරේ ශ්‍රී ලංකාව නිරීක්ෂක තත්ත්වය ලබා ගත් සාමාජික රටවල් 54කින් යුත් අප්‍රිකානු සංගමය (AU) හරහා සහයෝගීතාව දැක්වීම තුළින් ක්‍රමෝපායික සබඳතා උපරිම මට්ටමක් කරා ගෙන ඒම මෙම ප්‍රතිපත්ති ලේඛනයේ අරමුණ වෙයි.

ආර්යසිංහ මහතා විසින් මෙසේ ප්‍රකාශ කරන ලද්දේ, විදේශ කටයුතු පිළිබඳ ඊජිප්තු කවුන්සිලයේ සභාපති තානාපති මවුනිර් සහ්රාන් මැතිතුමාගේ සභාපතිත්වයෙන්, ‘ශ්‍රී ලංකා - ඊජිප්තු සබඳතා හා අප්‍රිකානු මහාද්වීපය සමඟ ශ්‍රී ලංකාවේ සබඳතා ශක්තිමත් කිරීම’ යන තේමාව යටතේ, කයිරෝහි විදේශ කටයුතු පිළිබඳ ඊජිප්තු කවුන්සිලයේ විද්වත් කණ්ඩායමක් අමතමිනි. අප්‍රිකානු රටවල කේබල් විකාශන ජාලයක් වන ‘Nile TV’ සමඟ විදේශ ලේකම්වරයා කළ රුපවාහිනී සාකච්ඡාවක දී ද මේ පිළිබඳව අවධානය යොමු කළේය. විදේශ ලේකම්වරයා කයිරෝ බලා පිටත්වූයේ, ශ්‍රී ලංකාව හා ඊජිප්තුව අතර ද්විපාර්ශ්වික දේශපාලන උපදේශනවල පළමු සැසිවාරයට සහභාගීවීම සඳහා ය.

‘තවදුරටත් ශක්තිමත් කරන ලද අප්‍රිකානු ප්‍රතිපත්තිය’ යනු, ශ්‍රී ලාංකික රේඛීය නියෝජිතායතන, කොළඹ පිහිටි අප්‍රිකානු රාජ්‍යතාන්ත්‍රික නියෝජනයන් හා නිර්වේතනික කොන්සල්වරුන්, ශ්‍රී ලංකා දූත මණ්ඩල හා අප්‍රිකාවේ නිර්වේතනික කොන්සල්වරුන් හා ලක්ෂ්මන් කදිර්ගාමර් ආයතනය සමඟ සහයෝගීතාවයෙන් යුතුව, විදේශ සබඳතා අමාත්‍යාංශය විසින් සකසන ලද ප්‍රතිපත්තියකි. මෙම පියවර මඟින්, අප්‍රිකානු කලාපය සමඟ කටයුතු කිරීම සඳහා කාර්ය රාමුවක් සපයන අතර, මෙමඟින් ශ්‍රී ලංකා - අප්‍රිකා බැඳීම්, ප්‍රබල බැඳීම් බවට වර්ධනය කරන, අන්‍යොන්‍ය වශයෙන් වැඩදායක වන බහුවිධ වූ සබඳතා ඇති කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.

1956 දී සූවස් අර්බුදය පැවති සමයේ සිට 1960 - 1990 දශක තුළ දී අප්‍රිකාව පුරා වර්ණභේදවාදය සහ වර්ගවාදය මැඩපැවැත්වීම සඳහා ලබා දුන් සහය ද ඇතුළුව, පලස්තීන අරගලයට අඛණ්ඩ සහයෝගය ලබා දීම දක්වා අප්‍රිකාවේ සහ අරාබි ලෝකයේ විමුක්ති අරගල සඳහා ශ්‍රී ලංකාව ලබාදුන් සුවිශේෂී දායකත්වය විදේශ ලේකම් ආර්යසිංහ මහතා සිය දේශනයේ දී අවධාරණය කළේය. 1976 සැප්තැම්බරයේ දී පැවති එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 31 වැනි සැසිවාරයේ දී නොබැඳි ව්‍යාපාරයේ සභාපතිනිය ලෙස, අප්‍රිකානු ජනතාවගේ අරගලයට ඇයගේ හා නොබැඳි ව්‍යාපාරයේ සහයෝගය අවධාරණය කරමින් අග්‍රාමාත්‍ය සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය ප්‍රකාශ කළ වදන් ඔහු මෙහි දී සිහිපත් කළේය. කොළඹ ප්‍රකාශනයන් මඟින් ලබා දීමට අපේක්ෂා කරන පණිවුඩය වන්නේ,

ඉතිහාසයේ ගංගාවට පසුපසට ගලා යා නොහැකි බවත්මෙය අවබෝධ කර ගැනීම සඳහා ජාතිවාදී පාලන තන්ත්‍රයන් වැඩි කාලයක් ගතකළ හොත්එම මහාද්වීපයේ හා වෙනත් තැන්වල සාමය කෙරෙහි එල්ලවන ප්‍රතිවිපාක වඩාත් බරපතල වනු ඇති බවත්ය.

අප්‍රිකාව හා එහි පවතින අවස්ථා පිළිබඳව ශ්‍රී ලංකාව තුළ සහ ශ්‍රී ලංකාව පිළිබඳව අප්‍රිකානු රටවල් තුළ වැඩි අවබෝධයක් ඇති කිරීමෙන්, වඩාත් වැදගත් හා ඵලදායී ප්‍රතිඵල සඳහා අපගේ දිගුකාලීන සම්බන්ධතා ගොඩනඟා ගැනීම පිණිස අප්‍රිකානු මිතුරන් සමඟ කටයුතු කිරීමට ශ්‍රී ලංකාවට හැකි වනු ඇතැයි ඔහු අපේක්ෂා කළේය. මෙම ප්‍රයත්න තුළින්, අප්‍රිකානු රටවලට ශ්‍රී ලංකාවේ ප්‍රවේශය පුළුල් කිරීමට හැකි වන අතර, ද්විපාර්ශ්වික වෙළඳාම, ආයෝජන හා පුද්ගලාන්තර සබඳතා ඇතිකිරීම තුළින් දැනට ආරම්භක අවධියේ පවත්නා අප්‍රිකානු කලාපය සමඟ ආර්ථික සබඳතාවය සැලකිය යුතු අන්දමින් හා අන්‍යෝන්‍ය වශයෙන් වාසිදායක වන ආකාරයෙන් ඉහළ නැංවීමට හැකි වනු ඇත. අප්‍රිකානු මහාද්වීපික නිදහස් වෙළඳ ගිවිසුම ක්‍රියාත්මක කිරීමෙන්, වෙළඳ හා ආයෝජන සම්බන්ධතාවය තවදුරටත් ප්‍රබෝධමත් වන බව විදේශ ලේකම්වරයා සඳහන් කළේය.

විදේශ සබඳතා අමාත්‍යාංශය
කොළඹ
2019 දෙසැම්බර් 19 වැනි දින
Pic2
Print Friendly, PDF & Email
Please follow and like us:

Close