2020 ජනවාරි 26 වැනි දින පැවති, ඉන්දියාවේ 71 වැනි ජනරජ දින සැමරුමි උත්සවයේදී විදේශ සබදතා අමාත්‍ය ගරු.දිනේෂ් ගුණවර්ධන මහතා විසින් සව්දිය පුරමින් කරන ලද ප්‍රකාශය 

2020 ජනවාරි 26 වැනි දින පැවති, ඉන්දියාවේ 71 වැනි ජනරජ දින සැමරුමි උත්සවයේදී විදේශ සබදතා අමාත්‍ය ගරු.දිනේෂ් ගුණවර්ධන මහතා විසින් සව්දිය පුරමින් කරන ලද ප්‍රකාශය 

IMG_0937

ශ්‍රී ලංකාව සදහා ඉන්දියානු මහ කොමසාරිස් තරංජිත් සිං සන්ධු මැතිතුමනි,

ගරු අමාත්‍යවරුනි,

තානාපතිවරුනි,

නෝනාවරුනි, මහත්වරුනි,

 

ඉන්දියාවේ ජනරජ දිනය සමරන මෙම අවස්ථාවේදී, ශ්‍රී ලංකාවේ අතිගරු ජනාධිපති, ශ්‍රී ලංකා රජය සහ එහි ජනතාව නියෝජනය කිරීමට ලැබීම මහත් භාග්‍යයක් කොට සලකමි.

තානාපතිවරුනි, නෝනාවරුනි, මහත්වරුනි,

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව, ඉතිහාසය,සංස්කෘතිය සහ ආගම සමඟ සමීපව බැඳී ඇති හා සහස්‍ර ගණනාවක් පුරා ඉපැරණි සබඳතා භුක්ති විඳිති. ඉන්දියාව ශ්‍රී ලංකාවේ ආසන්නතම අසල්වැසියා වන අතර දෙරට අතර ඇති මෙම ආසන්නතාවය එකිනෙකාගේ සංස්කෘතීන් හා සමාජ සාරධර්ම පෝෂණය කළ ශිෂ්ටාචාර‍ාත්මක උරුමයන් හුවමාරු කර ගැනීමට දායක විය. පුරාණ හින්දු හා බුද්ධාගමේ දර්ශනවාදයන් තුළින් දෙරට අතර සමීප සබදතා ඇති කර තිබෙන අතර ඒවා අපගේ පාලන කටයුතුවලට ශක්තිමත් පදනමක් ලෙස පවතී.

ඉන්දියාවේ විදේශ සම්බන්ධතාවලදී ශ්‍රී ලංකාවට සෑම විටම විශේෂ ස්ථානයක් හිමි විය. මිථ්‍යා පුරාවෘත්තවලින් ආරම්භ වී, තුන්වන සියවස දක්වා වූ අතීතයකදී, මෞර්ය අධිරාජ්‍ය සමයේ දී මෙන්, අශෝක අධිරාජ්‍යයා, බුදුන්ගේ සාමය පිළිබඳ පණිවුඩය බෙදා හදා ගැනීම සඳහා තම පවුල ආගමික දූතයින් ලෙස ශ්‍රී ලංකාවට යැවීමට පෞද්ගලික උනන්දුවක් දැක්වීය. කාලයාගේ ඇවෑමෙන්, දෙරට අතර අන්තර් ක්‍රියාකාරිත්වය, ශ්‍රී ලංකාවේ උරුමය හා සංස්කෘතිය හැඩගැස්වීමේදී කැපී පෙනුන අතර අපගේ ජාතින්ගේ අනන්‍යතාවය ගොඩනැගීමට දායක විය

පශ්චාත් යටත් විජිත සමයේදී, මහත්මා ගාන්ධි, ශ්‍රී ජවහල්ලාර් නේරු වැනි ශ්‍රේෂ්ඨ නායකයින් විසින් අපගේ ජාතිය හැඩගස්වා තිබෙන අතර රබීන්ද්‍රනාත් තාගෝර්ගේ සංස්කෘතික ප්‍රතිමූර්තිය මඟින් අප කලාපයේ පුරාණ සාරධර්ම හා ප්‍රඥාව නැවත ලබාගැනීමේ යුගයක් කරා ගෙන ආහ. 1948 දී විධිමත් රාජ්‍යතාන්ත්‍රික සබඳතා ඇති කිරීමත් සමඟ අපේ දෙරට බ්‍රිතාන්‍ය පාලනයේ අලුතින් ස්වාධීන වූ රටවල් ලෙස ශක්තිමත් ද්විපාර්ශ්වික හවුල්කාරිත්වයක් ඇති කර ගත්හ. එතැන් පටන් අපගේ සබඳතා, ප්‍රජාතන්ත්‍රවාදයේ හා නිදහසේ මූලධර්ම මගින් බැඳී ඇති විවිධ ක්ෂේත්‍රයන් ආවරණය කරමින් බොහෝ ආකාරවලින් තවදුරටත් වර්ධනය විය.

තානාපතිවරුනි, නෝනාවරුනි, මහත්වරුනි,

අප 21 වන සියවසේ දෙවන දශකය තුළට පිවිසෙන්නේ අන්‍යෝන්‍ය ගෞරවය සහ අපේ ජනතාවගේ සමෘද්ධිය සඳහා වූ කැපවීම් සමඟ අපගේ සබදතා නැවත අර්ථකථනය කරනු ලබන අවධියකදීය. 2019 නොවැම්බරයේ දී, ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණයෙන් ඉක්බිතිව, ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය ජයශංකර් මැතිතුමා ශ්‍රී ලංකාවට පැමිණි අතර, අලුතින් තේරී පත් වූ ජනාධිපතිවරයා සුහදශීලි කථාබහක නිරත වූ පළමු විදේශීය සම්භාවනීය පුද්ගලයා ඔහු විය.

ඇත්ත වශයෙන්ම, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සිය ධුරයට පත්වීමෙන් පසු නිරත වූ සිය පළමු විදෙස් සංචාරය ඉන්දියානු සංචාරය වන අතර අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ අනෙකුත් ඉන්දීය නායකයින් සමඟ ඉතා ඵලදායී සාකච්ඡා පැවැත්වීය. සති කිහිපයකට පෙර විදේශ කටයුතු අමාත්‍යවරයා ලෙස මගේ පළමු නිල විදේශ සංචාරය ඉන්දියාවේ නියැලීමට අවස්ථාව ලැබුණු අතර ඉන්දීය ජාතික ආරක්ෂක උපදේශක අජිත් ඩෝවාල් මහතා පසුගිය සතියේ ශ්‍රී ලංකාවට පැමිණියේය. ගරු. අගමැති මහින්ද රාජපක්ෂ මහතා ඉදිරි සති කිහිපය තුළ ඉන්දියාවේ නිල සංචාරයක් කිරීමට නියමිතය. මෙම ඉහළ මට්ටමේ ද්විපාර්ශ්වික හුවමාරු තුලින් අපගේ අන්‍යෝන්‍ය සම්බන්ධතාවලසුවිශේෂත්වය හා ශක්තිය සලකුණු කරයි. ආසියානු පුනර්ජීවනයේ  ඉදිරි දශක කිහිපය තුළ අපගේ ආර්ථිකයන් ඉදිරියට ගෙන යාමට අසල්වැසියන් හා ජාතීන් වශයෙන් අපි සූදානම්ව සිටිමු. පොදු සමෘද්ධිය ළඟා කර ගැනීම මල් ඵල ගැන්වීම සඳහා පුළුල් කාර්ය න්‍යාය පත්‍රයක් අප ඉදිරියේ තිබේ.

තානාපතිවරුනි, නෝනාවරුනි, මහත්වරුනි,

ගෝලීය ආර්ථික දැවැන්තයෙකු ලෙස ඉහළ යන ඉන්දියාවේ ආර්ථික සාර්ථකත්වයන්ගෙන් ශ්‍රී ලංකාව වැනි ආර්ථිකයන්ට ඉමහත් ප්‍රතිලාභ අත්කර ගත හැකිය. 2050 වන විට ඉන්දියාව දෙවන විශාලතම ගෝලීය ආර්ථිකය වනු ඇතැයි අපේක්ෂා කෙරේ. ගුවන් සම්බන්ධකතාවය, ආරක්ෂක සහයෝගීතාව, වැඩිදියුණු කළ ආයෝජන, පුද්ගලාන්තර සම්බන්ධතා සහ සංස්කෘතික හුවමාරුව වැඩිදියුණු කිරීම තුළින් ශ්‍රී ලංකාවේ අපි ඉන්දියාව සමඟ ශක්තිමත් හවුල්කාරිත්වයක් ඇති කර ගැනීමට බලාපොරොත්තු වෙමු.

මෙම සන්දර්භය තුළ, ශ්‍රී ලංකාවේ තුන්වන ජාත්‍යන්තර ගුවන්තොටුපළ ලෙස උතුරු පළාතේ පලාලි ගුවන්තොටුපළ සංවර්ධනය කිරීම සඳහා ඉන්දීය රජය දක්වන සහාය අපි අගය කරමු. වසර 40 කට පසු චෙන්නායි-යාපනය ගුවන් ගමන් ආරම්භ කර ඇති අතර බැංගලෝරය, කොචින්, මුම්බායි සහ හයිද්‍රාබාද් නගර සම්බන්ධ කරමින් ගුවන් සේවා දීර්ඝ කිරීමට සැලසුම් කර ඇත. මීට අමතරව, ශ්‍රී ලංකා ගුවන් සේවය මේ වන විට ඉන්දියාවේ නගර 14 ක් ආවරණය කරයි. පසුගිය වසරේදී 355,000 ක් වූ ඉන්දියාවෙන් පැමිණි සංචාරකයින් සංඛ්‍යාව ශ්‍රී ලංකාවට එක්රටකින් පැමිණි වැඩිම සංචාරක සංඛ්‍යාව විය.

තානාපතිවරුනි, නෝනාවරුනි, මහත්වරුනි,

ආරක්ෂක, සමුද්‍රීය ආරක්ෂාව මෙන්ම ජාතික ආරක්ෂාව යන ක්‍ෂේත්‍රයන්හි දෙරට අතර සමීප හා උපායමාර්ගික සහයෝගීතාවයක් ඇත. ගාලු සංවාදය, ශ්‍රී ලංකා - ඉන්දියානු ආරක්ෂක සංවාදය සහ ත්‍රෛපාර්ශ්වික සමුද්‍රීය ආරක්ෂක යාන්ත්‍රණ ඇතුළු වාර්ෂික ආරක්ෂක සංවාද දෙරටටම ඔවුන්ගේ ආරක්ෂක අවශ්‍යතා සමිබන්ධයෙන් කටයුතු කිරීමේදී ප්‍රයෝජනවත් වී තිබේ. ත්‍රස්තවාදයේ හා අන්තවාදයේ හිස ඵසවීම සම්බන්ධයෙන් කටයුතු කිරීමේදී  බුද්ධි තොරතුරු හුවමාරු කර ගැනීම පිළිබඳව ඉන්දීය රජයට අපි කෘතඥ වෙමු. නව ශ්‍රී ලංකා නායකත්වය යටතේ, සහයෝගීතාව තුළින් කලාපයේ තිරසාර සාමය සහ ආරක්ෂාව සඳහා ඉන්දියාව සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට අපි බලාපොරොත්තු වෙමු.

තානාපතිවරුනි, නෝනාවරුනි, මහත්වරුනි,

ඉන්දියාව ශ්‍රී ලංකාවේ විශාලතම වෙළඳ හවුල්කරුවා, 3 වන විශාලතම අපනයන ගමනාන්තය සහ විශාලතම ආනයන මූලාශ්‍ර ගමනාන්තය වෙයි . 2018/19 දී ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර සමස්ත ද්විපාර්ශ්වික වෙළඳාම ඇමරිකානු ඩොලර් බිලියන 6.2 ක් වූ අතර එය 2017/18 හා සසඳන විට 18% කට වඩා වැඩි වීමකි.

ඉන්දියාව ද ශ්‍රී ලංකාවේ ප්‍රධාන සංවර්ධන හවුල්කරුවෙකි. ඇමරිකානු ඩොලර් බිලියන 2.5 ඉක්මවූ ණය, ප්‍රදාන, ණය පහසුකම් සහ තාක්ෂණික ආධාර වශයෙන් ඉන්දියාව අඛණ්ඩව ලබා දෙන ආධාර අපි අගය කරමු.

ඉන්දීය රජයේ ආධාර ලබන නිවාස ව්‍යාපෘතිය  අපි අගය කරන අතර නිවාස 60,000 න් නිවාස 47,000 ක් මේ වන විට නිම කර ඇත. එය ඉන්දියානු රජය විසින් විදේශයන්හි සිදු කරන ලද විශාලතම ව්‍යාපෘති අතුරින් එක් ව්‍යාපෘතියකි.

තානාපතිවරුනි, නෝනාවරුනි, මහත්වරුනි,

අවසාන වශයෙන්, අපගේ දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතා වැඩිදියුණු කිරීම සඳහා ඉටු කරන විශිෂ්ට සේවය සහ කැපවීම වෙනුවෙන් තරංජිත් සිං සන්ධු මැතිතුමාට මාගේ අවංක ප්‍රශංසාව පුදකරමි. නව වගකීම් භාර ගැනීම සඳහා ඔබ අප රටින් කෙටි කලකින්  නික්ම යන බැවින් මගේ රජය වෙනුවෙන් සහ මා වෙනුවෙන් මම ඔබට සෑම සාර්ථකත්වයක්ම ප්‍රාර්ථනා කරමි. එසේම, අඛණ්ඩව සහයෝගය හා සහ‍ාය දැක්වීම වෙනුවෙන් ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ කාර්යය මණ්ඩලයට ස්තූති කිරීමට මම මෙය අවස්ථාවක් කර ගනිමි.

තානාපතිවරුනි, නෝනාවරුනි, මහත්වරුනි,

- ඉන්දියා ජනරජයේ ජනාධිපති අතිගරු ශ්‍රී රාම්නාත් ගෝවින්ද් මැතිතුමාට,

- ඉන්දියා ජනරජයේ අග්‍රාමාත්‍ය අතිගරු ශ්‍රී නරේන්ද්‍ර මෝදි මැතිතුමාට,

- ඉන්දියා ජනරජයේ ජනතාවට,

සහ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදි ජනරජය සහ ඉන්දියා ජනරජය අතර කල්පවත්නා මිත්‍රත්වයට සව්දිය පිරීමට මෙම ප්‍රීතිමත් අවස්ථාවේ මා හා එක්වන්න.

ස්තූතියි

 

IMG_1024 (3)

IMG_1038

IMG_1095 (1)

 

Print Friendly, PDF & Email
Please follow and like us:

Close