කුවේට් රාජ්‍යයේ පොදු සමාව ලැබූ ශ්‍රී ලාංකිකයන් නැවත මෙරටට ගෙන්වා ගැනීම හෙට දින ආරම්භ වේ

කුවේට් රාජ්‍යයේ පොදු සමාව ලැබූ ශ්‍රී ලාංකිකයන් නැවත මෙරටට ගෙන්වා ගැනීම හෙට දින ආරම්භ වේ

තවදුරටත් කුවේට් රාජ්‍යයෙහි සේවය කිරීමේ අවස්ථාව අහිමිවූ ශ්‍රී ලාංකිකයන් සඳහා කුවේට් රජය විසින් ප්‍රකාශයට පත් කරන ලද පොදු සමා කාලයෙන් ප්‍රතිලාභ ලබා ගැනීමට අපේක්ෂා කරන ශ්‍රී ලාංකිකයන්, නැවත මෙරටට ගෙන්වා ගැනීමේ කටයුතු හෙට දින ආරම්භ වේ.

අද දින (මැයි 18) කුවේට් විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය අහමඩ් නසර් අල් මොහොමඩ් අල් සබා මහතා සමඟ දුරකතන සාකච්ඡාවක් පැවැත්වූ විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා, ආසන්න වශයෙන් 460 ක් පමණ වන නැවත පැමිණෙන පළමු කණ්ඩායම 2020 මැයි 19 වන අඟහරුවාදා දින ‘කුවේට් එයාර්වේස්’ට අයත් ගුවන් යානා දෙකකින් මෙරටට ගෙන්වා ගැනීමට එකඟ විය.

කුවේට් රාජ්‍යය පොදු සමා කාලය තුළ නීති විරෝධී සංක්‍රමණිකයන් වෙත  ලියාපදිංචි වීම සඳහා නැවත අවස්ථාවක් ලබා දුන් අවස්ථාව වන විට ශ්‍රී ලංකා ආගමන විගමන බලධාරීන් සමඟ සාකච්ඡා කර පොදු සමාව සඳහා සුදුසුකම් ලබන ශ්‍රී ලාංකිකයින් වෙත කුවේට්හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය මගින් කඩිනම් ගමන් බලපත්‍ර සත්‍යාපනය කර ලබා දීමට කටයුතු කළ බව  විදේශ අමාත්‍යවරයා ප්‍රකාශ කරන ලදී. සාමාන්‍ය පොදු සමාව මගින් කුවේට්හි සේවය කිරීමේ අවස්ථාව අහිමිවූ තැනැත්තන්ට කිසිදු බලපෑමකින් තොරව එරට්න් පිටව යාමේ අවස්ථාව හිමිවන අතර, නෛතික වශයෙන් සේවය සඳහා නැවත කුවේට් රාජ්‍යය වෙත පැමිණිය හැකිය.

 කුවේට් රාජ්‍යයේ පොදු සමාව ලද ශ්‍රී ලාංකිකයන් නැවත මෙරටට ගෙන්වා ගැනීමට පහසුකම් සැලසීම සඳහා ශ්‍රී ලංකා රජය කැපවී සිටින බව අමාත්‍ය ගුණවර්ධන මහතා කුවේට්හි විදේශ අමාත්‍යවරයා වෙත සහතික විය. කෙසේ වෙතත්, නිරෝධායන මධ්‍යස්ථානවල පවතින ඉඩ ප්‍රමාණය සීමිත වන බැවින්, ඊට අනුකූලව සැලකිලිමත් ලෙස මෙම සම්බන්ධීකරණය සිදු කිරීමට ශ්‍රී ලංකාවට සිදු වනු ඇත.

කොවිඩ් - 19 මගින් එල්ලවන අභියෝගයන්ට මුහුණ දීම සඳහා අදාළ රජයන් විසින් ගනු ලබන ක්‍රියාමාර්ග පිළිබඳවද අමාත්‍යවරුන් දෙදෙනා සාකච්ඡා කළහ. දැනට කුවේට් රාජ්‍යයේ සේවය කරන ශ්‍රී ලාංකිකයන් 100,000 කට වැඩි පිරිසකට සෞඛ්‍ය පහසුකම් ඇතුලු අවශ්‍ය ආධාර සැපයීම පිළිබඳව අමාත්‍යවරයා කුවේට් රජයට සිය ස්තූතිය පුද කරනු ලැබීය. කුවේට්හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය, කුවේට් රාජ්‍යය පදනම් කරගත් ශ්‍රී ලාංකික ප්‍රජාව සහ අනෙකුත් සුභසාධන කණ්ඩායම් සමඟ එක්ව, විදේශගත ශ්‍රී ලාංකිකයන්ට අවශ්‍ය වියළි සලාක අඛණ්ඩව ලබා දෙන බව අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

දෙරට අතර ගුවන් ගමන් සීමා කිරීම හේතුවෙන් බලපෑමට ලක්ව ඇති ශ්‍රී ලංකා තේ සහ අනෙකුත් නිෂ්පාදනයන් කුවේට් රාජ්‍යය වෙත ආනයනය කිරීමේ කටයුතු ඉහළ නැංවීමට ඇති හැකියාව පිළිබදව සොයා බලන ලෙස ද විදේශ අමාත්‍යවරයා කුවේට්හි විදේශ අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටියේය. කුවේට් රාජ්‍යයේ සිට පොදු සමාව ලැබූ ශ්‍රී ලාංකිකයන් රැගෙන මෙරටට පැමිණෙන ගුවන් යානා, ශ්‍රී ලංකා අපනයනයන් කුවේට් රාජ්‍යය වෙත  ප්‍රවාහනය සදහා යොදා ගැනේ.

මෙම කරුණුවලට අදාළ ප්‍රගතිය සමාලෝචනය කිරීම සඳහා දෙසතියකට වරක් දුරකතන සංවාදයක් පැවැත්වීමට අමාත්‍යවරු එකඟ වූහ.

 

විදේශ සබඳතා අමාත්‍යාංශය
කොළඹ
2020 මැයි 18 වන දින
Print Friendly, PDF & Email
Please follow and like us:

Close