ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිංගප්පූරුවේ සාර්ථක සංචාරයක නිරත වෙයි

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිංගප්පූරුවේ සාර්ථක සංචාරයක නිරත වෙයි

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා 2023 අගෝස්තු 21 සිට 22 දක්වා නිරත වූ සිංගප්පූරු සංචාරය සාර්ථක ලෙස නිමා කළේය.

මෙම සංචාරයේදී, ජනාධිපති වික්‍රමසිංහ මහතා සිංගප්පූරු ජනාධිපතිනී හලීමා යාකොබ්, අගමැති ලී සියෙන් ලූං සහ සිංගප්පූරු රජයේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරුන් සමග දෙරට අතර ආර්ථික, ආරක්ෂක සහ පාරිසරික සහයෝගීතාවයට ප්‍රමුඛත්වය දෙමින් ද්විපාර්ශ්වික සබඳතා වැඩි දියුණු කිරීම අරමුණු කර ගත් පුළුල් ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීය.

දේශගුණික විපර්යාස මගින් එල්ල වන අභියෝගවලට මුහුණ දීම සඳහා සහයෝගිතාව වැඩිදියුණු කිරීමේ අවශ්‍යතාවය සම්බන්ධයෙන් දෙරටේ වැදගත්කම ඉස්මතු කරමින්, පැරිස්  සම්මුතියේ  6 වැනි වගන්තිය යටතේ කාබන් ණය පිළිබඳ සහයෝගීතාව සඳහා අවබෝධතා ගිවිසුමට (MoU) සංචාරය අතරතුර දී අත්සන් තබන ලදී.

දෙරට අතර මිත්‍රත්වය, ශක්තිමත් පුද්ගල සබඳතා සහ විවිධ ක්ෂේත්‍රයන්හි සහයෝගීතාවය මත පදනම්ව  ඇති බව ජනාධිපතිනී හලීමා යාකොබ් මහත්මිය පැවසුවාය. අනාගතයේ දී සබඳතා පුළුල් කිරීමට අවකාශ ඇති බව ද ඇය පැවසුවාය.

ආහාර සුරක්ෂිතතාව සහ පුනර්ජනනීය බලශක්තිය දෙරට අතර සහයෝගිතාව ඇති කල හැකි ප්‍රධාන ක්ෂේත්‍ර බව අවධාරණය කරමින්, ජනාධිපති වික්‍රමසිංහ මහතා සිංගප්පූරු සමාගම් සීතල දාම සංවර්ධනය සහ ගබඩා කිරීම මෙන්ම පුනර්ජනනීය බලශක්තිය, විශේෂයෙන් සූර්ය, සුළං සහ හරිත හයිඩ‍්‍රජන් ව්‍යාපෘති

සඳහා ආයෝජනය කරවීමට ශ්‍රී ලංකාව උනන්දු වන බව ප්‍රකාශ කළේය.

ආර්ථික සහයෝගීතාව කෙරෙහි අවධානය යොමු කරමින් හවුල්කාරිත්වය සක්‍රීයව ඉහළ නැංවීම පිළිබඳව ජනාධිපති වික්‍රමසිංහ සහ අග්‍රාමාත්‍ය ලී සියෙන් ලූං යන මහත්වරුන් දෙදෙනාම සාකච්ඡා කළහ. 2018 දී අත්සන් කරන ලද ශී‍්‍ර ලංකා සිංගප්පූරු නිදහස් වෙළඳ ගිවිසුම (SLSFTA) කි‍්‍රයාත්මක කිරීමේ මෑතකාලීන ඉදිරි ගමන මගින් අවධාරණය කරන ලද ශ්‍රී ලංකාව සහ සිංගප්පූරුව අතර ශක්තිමත් වෙළෙඳ සහ ආයෝජන සබඳතා ගොඩනැගීම කෙරෙහි එහිදී එකඟතාව ඇති විය.

ශ්‍රී ලාංකිකයන් සඳහා වැඩි රැකියා අවස්ථා සුරක්ෂිත කිරීම සම්බන්ධයෙන්, විශේෂයෙන් හෙද ක්ෂේත්‍රයේ සහ අතිරේක රැකියා අවස්ථාවන් හි දී ශ්‍රී ලාංකික පුහුණු ශ්‍රමිකයින්ගේ රැකියා සුරක්ෂිත කිරීම සඳහා මෑත කාලීනව ස්ථාවර ප්රගතියක් ලබා ඇති බව පිළිගෙන ඇත.

මෙම සංචාරයේදී සිංගප්පූරු ආරක්ෂක අමාත්‍ය නෙග් එන්ග් හෙන් මහතා ජනාධිපති වික්‍රමසිංහ මහතා හමුවූ අතර භූ-දේශපාලනික වර්ධනයන් හේතුවෙන් කලාපයේ ඉහළ යන ආරක්ෂක අභියෝග පිළිබඳව අදහස් හුවමාරු කර ගත්තේය. සමීප ආරක්‍ෂාව සහ ආරක්‍ෂක සහයෝගීතාව වැඩිදියුණු කරමින් ආරක්‍ෂක හවුල්කාරිත්වය ශක්තිමත් කිරීම සඳහා ක‍්‍රමවේද සකස් කිරීමට ද එහිදී එකඟ විය. ගෝලීය වෙළඳාම සහ ස්ථාවරත්වය මත යැපෙන කුඩා සමුද්‍ර රටවලට දෙරටේ පුරවැසියන්ගේ අනාගතය සුරක්ෂිත කර වැඩිදියුණු කළ හැකි ආකාරය ජනාධිපති වික්‍රමසිංහ සහ ආරක්ෂක අමාත්‍ය ආචාර්ය නෙග් එන්ග් හෙන් යන දෙදෙනාම අවධාරණය කළහ.

තිරසරබාවය හා පරිසරය පිළිබඳ  සිංගප්පූරු අමාත්‍ය ග්‍රේස් ෆූ මහතා ද මෙම සංචාරයේදී ජනාධිපති වික්‍රමසිංහ මහතා හමු වූ අතර සිංගප්පූරු රජය විසින් ප්‍රදේශය තුළ සිදු කෙරෙන සිංගප්පූරු හරිත සැලැස්ම, සොබාදහමේ නගරය,දිරිමත් අනාගතය සහ හරිත ආර්ථික වැඩසටහන  ඇතුළු ප්‍රධාන ‍වැඩසටහන් පිළිබඳව විස්තර කළේය. දේශගුණික විපර්යාසවලට විසඳුම් සෙවීමේ ගෝලීය ප්‍රයත්නයට සහාය වීම සඳහා ලබන වසරේ ලොව ප්‍රථම දේශගුණ විශ්වවිද්‍යාලය පිහිටුවීමට ශ්‍රී ලංකාව දරන උත්සාහය ඇතුළුව ශ්‍රී ලංකාවේ දේශගුණික සෞභාග්‍ය සැලැස්ම ජනාධිපති වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය.දේශගුණික විපර්යාස මගින් එල්ල වන අභියෝග අවම කිරීමේ හවුල්කාරිත්වයේ සන්ධිස්ථානයක් ලෙස කාබන් ණය පිළිබඳ සහයෝගීතාව පිළිබඳ අවබෝධතා ගිවිසුම අත්සන් කිරීම දෙපාර්ශවයම විසින් පිළිගන්නා ලදී.

ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සහ ජාතික ආරක්ෂක උපදේශක සාගල රත්නායක, දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජේවර්ධන, ආර්ථික ස්ථාවරත්වය යථා තත්ත්වයට පත් කිරීම සහ වර්ධනය පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය ආර්.එච්.එස්.සමරතුංග, සහ සිංගප්පූරුවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් ශෂිකලා ප්‍රේමවර්ධන යන අය‍ගෙන් සමන්විත ශ්‍රී ලංකා දූත පිරිස මෙම සංචාරයට ජනාධිපති වික්‍රමසිංහ මහතා සමඟ සහභාගි විය.

සිංගප්පූරුවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය විසින් මෙම සංචාරය සම්බන්ධීකරණය කරන ලදී.

ඡායාරූප සඳ‍හා අනුග්‍ර‍හය - සන්නිවේදන හා තොරතුරු අමාත්‍යාංශය (MCI), සිංගප්පූරුව

ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය

සිංගප්පූරුව

2023 අගෝස්තු 24

 

Print Friendly, PDF & Email
Please follow and like us:

Close