නව ගෝලීය මූල්‍ය ගිවිසුමක් සඳහා වන සමුළුව ඇමතීමට ශ්‍රී ලංකාවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා පැරීසියට පැමිණෙයි

නව ගෝලීය මූල්‍ය ගිවිසුමක් සඳහා වන සමුළුව ඇමතීමට ශ්‍රී ලංකාවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා පැරීසියට පැමිණෙයි

2023 ජූනි 22 සිට 23 දක්වා පැවැත්වෙන, නව ගෝලීය මූල්‍ය ගිවිසුමක් සඳහා වන ලෝක නායක සමුළුව අමතන ලෙස ප්‍රංශ ජනරජයේ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් මැතිතුමා යොමු කළ ඇරයුමකට අනුව, ශ්‍රී ලංකාවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා 2023 ජූනි 21 වැනි බදාදා දින පැරීසියට පැමිණියේ ය. ශක්තිමත් බෙදාහැරීම් සහිත වඩාත් සර්ව සාධාරණ සහ අන්තර්ග්‍රහණීය ජාත්‍යන්තර මූල්‍ය සැකැස්මක් ගොඩනැගීම සඳහා ජාත්‍යන්තර ප්‍රජාව අතර හරස් කලාපීය සම්මුතියක් ඇති කිරීමට මෙම සමුළුව උත්සාහ දරයි.

ජනාධිපති වික්‍රමසිංහ මැතිතුමා මෙම සමුළුව අතරතුර, මධ්‍යම ආදායම්ලාභී රටක් ලෙස ශ්‍රී ලංකාව මුහුණ දෙන අත්දැකීම් සහ දැඩි ආර්ථික අර්බුදය හමුවේ ජාත්‍යන්තර මූල්‍ය ආයතන සමඟ කටයුතු කිරීමේ දී ශ්‍රී ලංකාව මුහුණ දෙන අභියෝග පිළිබඳව අදහස් දැක්වීමට නියමිත ය. විශේෂයෙන්ම ණය සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ පවත්වන සාකච්ඡා සහ ආර්ථික ස්ථාවරත්වය සහ ප්‍රකෘතිමත්භාවය කරා යන ගමන් මගෙහි ප්‍රගතිය ගත් කල, ශ්‍රී ලංකාවේ අත්දැකීම් මෙම සමුළුවෙන් ලැබෙන  ප්‍රතිඵලවලට විශේෂයෙන් අදාළ වන බව සැලකේ.

මෙම විශේෂිත තේමාව යටතේ අදහස් දක්වන, වට මේසයේ අනෙකුත් නායකයින් අතරට ටියුනීසියාවේ ජනාධිපති කයිස් සයිඩ් මැතිතුමා, රුවන්ඩාවේ අග්‍රාමාත්‍ය එඩුවර්ඩ් න්ගිරෙන්ට් මැතිතුමා, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂ ක්‍රිස්ටලිනා ජෝර්ජියේවා මහත්මිය, අප්‍රිකානු සංවර්ධන බැංකුවේ සභාපති ආචාර්ය අකිනුවාමි ඒ. අඩෙසිනා මහතා සහ චැඩ් හි හිටපු සභාපති මහමත් ඉඩ්රිස් ඩෙබි මැතිතුමා ඇතුළත් වේ.

ජාත්‍යන්තර සංවිධාන, බහුපාර්ශ්වික මූල්‍ය ආයතනවල ප්‍රධානීහු සහ අනෙකුත් ප්‍රධාන පාර්ශ්වකරුවන්ට අමතරව යුරෝපය, ආසියාව, අප්‍රිකාව සහ දකුණු ඇමරිකාව යන කලාපවල රටවල රාජ්‍ය නායකයින් සහ රාජ්‍ය ප්‍රධානීහු මෙම සමුළුවට සහභාගී වීමට නියමිත ය. ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් මැතිතුමා, එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් මහතා, චීන අග්‍රාමාත්‍ය ලී චියෑං මැතිතුමා, ජර්මානු චාන්සලර් ඔලාෆ් ෂෝල්ස් මැතිතුමා, දකුණු අප්‍රිකානු ජනාධිපති සිරිල් රමෆෝසා මැතිතුමා, බ්‍රසීල ජනාධිපති ලූලා ද සිල්වා මැතිතුමා, බාබඩෝස් හි අග්‍රාමාත්‍ය මියා මොට්ලි මැතිනිය සහ කෙන්යාවේ ජනාධිපති විලියම් රූටෝ මැතිතුමා මෙම සමුළුවේ දී අදහස් පළ කිරීමට නියමිත ලෝක නායකයින් පිරිසට ඇතුළත් වේ.

අදාළත්වයක් සහිත කරුණු පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා ජනාධිපති වික්‍රමසිංහ මැතිතුමා මෙම සමුළුවට සමගාමීව රාජ්‍ය ප්‍රධානීන් සහ බහුපාර්ශ්වික ආයතනවල ප්‍රධානීන් කිහිප දෙනෙකු හමුවීමට ද නියමිත ය. මෙම සමුළුවට සහභාගී වන රාජ්‍ය නායකයින් සහ රාජ්‍ය ප්‍රධානීන් සඳහා ජනාධිපති මැක්‍රොන් මැතිතුමා විසින් ජූනි 22 වැනි දින එලිසී හිදී පවත්වනු ලබන නිල රාත්‍රී භෝජන සංග්‍රහයට ද ජනාධිපතිවරයා සහ ජනාධිපති ආර්යා මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මැතිනිය සහභාගී වනු ඇත. වික්‍රමසිංහ ආර්යාව, 2023 ජූනි 23 වැනි දින ප්‍රංශ ජනරජයේ ජනාධිපති ආර්යා බ්‍රිජිට් මැක්‍රොන් මැතිනිය විසින් පවත්වනු ලබන උත්සවයකට සහභාගී වීමට ද නියමිත ය.

විදේශ කටයුතු අමාත්‍යංශය

කොළඹ

2023 ජූනි 22 වැනි දින

 

Print Friendly, PDF & Email
Please follow and like us:

Close