පාකිස්ථාන ජනාධිපති මම්නූන් හුසේන් මහතාගේ ඇරයුමෙන් 78 වැනි පාකිස්ථාන දින සැමරුමේ ප්‍රධාන විදේශ ආරාධිත අමුත්තා වශයෙන් සහභාගී වීම සඳහා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා 2018 මාර්තු 22 සිට 24 වැනි දින දක්වා පාකිස්ථානයේ තෙදින නිල සංචාරයක නිරත විය.
පාකිස්ථානයට සැපත් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ආචාර වෙඩි මුර විසි එකක් සහ පාකිස්ථාන ගුවන් හමුදාවේ සම්මාන ආචාර මධ්‍යයේ මාර්තු 22 වැනි දින ඉස්ලාමාබාද් නුවර නූර් ඛාන් ගුවන් කඳවුරේදී එරට ජනාධිපති මම්නූන් හුසේන් මහතා විසින් පිළිගනු ලැබිණි.
මාර්තු 23 වැනි දින පැවැති පාකිස්ථාන දින සැමරුමට ජනාධිපති සිරිසේන මහතා සහභාගී වූ අතර ත්‍රිවිධ හමුදා ආචාර පෙළපාළියකින්, සංස්කෘතික සංදර්ශනයකින් සහ ගුවන්යානා සංදර්ශනයකින් සමන්විත ජාතික දින හමුදා පෙළපාළිය නිරීක්ෂණය කළේය.
එදින සවස් වරුවේ පාකිස්ථාන අග්‍රාමාත්‍ය ෂාහිඩ් ඛාකන් අබ්බාසි මහතා හමුවූ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විවිධ ක්ෂේත්‍රවලින් දෙරට අතර සබඳතා සවිමත් කිරීමේ මං සහ විධික්‍රම සම්බන්ධයෙන් සාකච්ඡා කළේය. 2020 වන විට දෙරට අතර වෙළෙඳාම ඇමෙරිකානු ඩොලර් බිලියන 1 ක් දක්වා වැඩිකිරීමේ ඉලක්කය පිළිබඳවද සාකච්ඡාවට බඳුන් කෙරිණි. ද්විපාර්ශ්වික සාකච්ඡාවලින් අනතුරුව, ශ්‍රී ලංකාව හා පාකිස්ථානය අතර අවබෝධතා ගිවිසුම් තුනක් අත්සන් තැබීමේ අවස්ථාව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ නිරීක්ෂණයට ලක් විය. එම අවබෝධතා ගිවිසුම් වූයේ: ශ්‍රී ලංකාවේ බණ්ඩාරනායක ජාත්‍යන්තර රාජ්‍යතාන්ත්‍රික පුහුණු ආයතනය හා පාකිස්ථාන විදේශ සේවා අධ්‍යාපන ආයතනය අතර වන අවබෝධතා ගිවිසුම; ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනය හා පාකිස්ථාන රාජ්‍ය ප්‍රතිපත්ති පිළිබඳ ජාතික විද්‍යාලය අතර වන අවබෝධතා ගිවිසුම; සහ ශ්‍රී ලංකාව හා පාකිස්ථානය අතර තාරුණ්‍ය සංවර්ධනය පිළිබඳ අවබෝධතා ගිවිසුමයි. ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා වෙනුවෙන් පාකිස්ථාන අග්‍රාමාත්‍යවරයා රාත්‍රී භෝජන සංග්‍රහයක්ද පැවැත්වීය.
මෙම සංචාරය අතරතුරදී ජනාධිපති සිරිසේන මහතා පාකිස්ථාන ශ්‍රී ලංකා වෙළෙඳ හා ආයෝජන මිත්‍රත්ව සංගමය ආරම්භ කළ වැඩසටහනක් යටතේ පාකිස්ථානයේ දෘශ්‍යාබාධිත පුද්ගලයන් සඳහා අක්ෂි කනීනිකා පරිත්‍යාගයක්ද කළේය.
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඉස්ලාමාබාද් නුවර රාජ්‍යතාන්ත්‍රික පරිශ්‍රයේ පිහිටා ඇති ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය යළි විවෘත කිරීමේ අවස්ථාවටද සහභාගී විය. ආගමික වතාවත්වලින් අනතුරුව, අලුත්වැඩියා කරන ලද බෞද්ධ මධ්‍යස්ථානය විවෘත කරමින් ජනාධිපතිවරයා සමරු ඵලකයක් නිරාවරණය කළේය. ශ්‍රී ලංකාවේ සිට වැඩම කළ මහා සංඝරත්නය සහ බෞද්ධ රටවල්වල නියෝජිතයෝ රැසක් මේ අවස්ථාවට සහභාගී වූහ.
මාර්තු 24 වැනි ශනිදා පාකිස්ථාන ජනාධිපති මම්නූන් හුසේන් මහතා හමුවූ ජනාධිපති සිරිසේන මහතා ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීය.
විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක මහතා, පාර්ලිමේන්තු මන්ත්‍රීවරු කිහිප දෙනෙක් සහ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සමග මේ සංචාරයට එක් වූහ.
විදේශ කටයුතු අමාත්‍යාංශය
කොළඹ
2018 මාර්තු 25 වැනිදා
















