ජනාධිපති අනුර කුමාර දිසානායක නිව්යෝර්ක්හි පැවැති එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 80 වැනි සැසිවාරයට සහභාගී වීමේ සංචාරය අවසන් කරයි

 ජනාධිපති අනුර කුමාර දිසානායක නිව්යෝර්ක්හි පැවැති එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 80 වැනි සැසිවාරයට සහභාගී වීමේ සංචාරය අවසන් කරයි

ජනාධිපති අනුර කුමාර දිසානායක, එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ (UNGA) 80 වැනි සැසිවාරයට සහභාගී වීම සඳහා එක්සත් ජනපදය වෙත සිදුකළ සිය තෙදින සංචාරය අද අවසන් කළේය. විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා ද ජනාධිපතිවරයා සමඟ මෙම සංචාරයට එක් විය.

2025 සැප්තැම්බර් 24 වැනි දින එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය අමතමින්, ජනාධිපති දිසානායක විසින් දරිද්‍රතාවය තුරන් කිරීම සඳහා ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතා අවධාරණය කරනු ලැබු අතර, පුද්ගලයන්ගේ සහ ජාතීන්ගේ අනාගතය හැඩගස්වන තීරණාත්මක සාධකයක් ලෙස අධ්‍යාපනය ඉස්මතු කරන ලදී. එසේම, හදිසි, සාමූහික හා ජාත්‍යන්තර ක්‍රියාමාර්ග අවශ්‍ය වන සංකීර්ණ ගැටළුවක් ලෙස ගෝලීය මත්ද්‍රව්‍ය අර්බුදය කෙරෙහි ඔහු අවධානය යොමු කළේය. "දූෂණයට එරෙහිව සටන් කිරීම භයානකයි. නමුත් එයට එරෙහිව සටන් නොකිරීම ඊටත් වඩා බරපතල අවදානම් ඇති කරයි" යනුවෙන් පවසමින්, දූෂණය, සංවර්ධනයට සහ ගෝලීය යහපැවැත්මට බාධාවක් බවත්, දරිද්‍රතාවයට හේතුවක් වන බවත් ඔහු අවධාරණය කළේය.

ඊශ්‍රායල සහ පලස්තීන යන දෙරටේම නීතිමය, ආරක්ෂක සහ මානුෂීය ගැටළු විසඳීමේ අවශ්‍යතාවය අවධාරණය කරමින්, පලස්තීන ජනතාවට රාජ්‍යත්වය සඳහා ඇති අහිමි කළ නොහැකි අයිතිය ශ්‍රී ලංකාව පිළිගන්නා බව ජනාධිපතිවරයා තවදුරටත් තහවුරු කළේය. ප්‍රචණ්ඩත්වය ප්‍රතික්ෂේප කරන අතරම, මානව වටිනාකම් තුළින් ගැටළු විසඳීමේ වැදගත්කම ඔහු අවධාරණය කළ අතර සාමයේ දූතයන් වන ලෙස ජාත්‍යන්තර ප්‍රජාවෙන් ඔහු ඉල්ලා සිටියේය. කෘත්‍රීම බුද්ධි තාක්ෂණික අසමානතාවන් ඉවත් කිරීම සඳහා කටයුතු කරන ලෙස ජාත්‍යන්තර ප්‍රජාවට ආරාධනා කරමින්, ශ්‍රී ලංකාවේ මධ්‍යස්ථ ස්වෛරී කෘත්‍රීම බුද්ධි කලාපයක් පිහිටුවීමට ජනාධිපතිවරයා යෝජනා කළේය.

2025 සැප්තැම්බර් 23 වැනි දින, ජනාධිපති දිසානායක මහතා, එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ජනාධිපති ආර්යා මෙලනියා ට්‍රම්ප් විසින් පවත්වන ලද සන්ධ්‍යා භෝජන සංග්‍රහයට සහභාගී විය. ජනාධිපතිවරයා, දකුණු සහ මධ්‍යම ආසියාව සඳහා වූ එක්සත් ජනපද විශේෂ නියෝජිත සර්ජියෝ ගෝර් ද හමුවී, වෙළඳාම, වාණිජ්‍යය, සංචාරක සහ ආයෝජන ඇතුළු අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් කරුණු සාකච්ඡා කරමින්, දෙරට අතර මෙම අංශවල සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීම කෙරෙහි අවධානය යොමු කළේය.

සාමාජික රාජ්‍යයන්හි 60 වැනි අපරානුමත කිරීමෙන් අනතුරුව, ජාතික දේශ සීමාවෙන් ඔබ්බෙන් පිහිටි ප්‍රදේශවල සමුද්‍ර ජෛව විවිධත්ව සංරක්ෂණය සහ තිරසාර භාවිතය පිළිබඳ එක්සත් ජාතීන්ගේ සාගර නීතිය පිළිබඳ ගිවිසුම (BBNJ Agreement) බලාත්මක වීම සැමරීම සඳහා ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් සහ කොස්ටරිකානු ජනාධිපති රොඩ්රිගෝ චාවේස්ගේ නායකත්වයෙන් යුතුව සහ සාමාජික රාජ්‍යයන් 60 කට අධික සංඛ්‍යාවක නායකයන්ගේ සහභාගිත්වයෙන් යුතුව පැවැත්වූ උත්සවයකට ද ජනාධිපතිවරයා සහභාගී විය.

මෙම බහුපාර්ශ්වික කටයුතුවලට අමතරව, ජනාධිපතිවරයා පාකිස්තාන අගමැති ෂෙබාස් ෂරීෆ්, ඕස්ට්‍රේලියානු අගමැති ඇන්තනි ඇල්බනීස් සහ පෘතුගාල ජනාධිපති මාර්සෙලෝ රෙබෙලෝ ද සූසා සමඟ ද්විපාර්ශ්වික රැස්වීම් පැවැත්වීය. ඔහු දකුණු අප්‍රිකානු ජනාධිපති සිරිල් රමාෆෝසා සමඟ ද්විපාර්ශ්වික හමුවක් ද පැවැත්වීය. ජනාධිපතිවරයා සමඟ විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා ද මෙම හමුවීම් සඳහා සහභාගී විය.

රැස්වීම් අතරතුරදී, ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීමට ගෙන ඇති පියවර, දූෂණ විරෝධී පියවර ක්‍රියාත්මක කිරීම, නීතියේ ආධිපත්‍යය තහවුරු කිරීම සහ සමස්ත ආර්ථික ප්‍රකෘතිය ඇතුළුව ශ්‍රී ලංකාවේ ප්‍රගතිය පිළිබඳව ජනාධිපතිවරයා සඳහන් කළේය. විදේශ ආයෝජන ඉහළ නැංවීම, ජාත්‍යන්තර ප්‍රජාව සමඟ හවුල්කාරිත්වයන් පුළුල් කිරීම සහ අන්‍යෝන්‍ය සහ තිරසාර සංවර්ධනය අරමුණු කරගනිමින් සහයෝගීතාව ඉදිරියට ගෙන යාම සඳහා රටෙහි කැපවීම ද ඔහු අවධාරණය කළේය.

සිය සංචාරය අතරතුරදී, ජනාධිපතිවරයා විසින් එක්සත් ජාතීන්ගේ මහලේකම් (UNSG) අන්තෝනියෝ ගුතරේස් සමඟ ද සාකච්ඡා පැවැත්වූ අතර, එහිදී මහලේකම්වරයා, තමා පාර්ලිමේන්තු නියෝජිතයෙකු ලෙස ශ්‍රී ලංකාව වෙත සිදු කළ සංචාරය සාදරයෙන් සිහිපත් කළේය. එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා සංවර්ධනය වෙමින් පවතින රටවල් සමඟ සිය සහයෝගීතාවය ද ප්‍රකාශ කළ අතර, ඔවුන්ගේ අවශ්‍යතා තවදුරටත් වර්ධනය කිරීම සඳහා දක්වන සිය අඛණ්ඩ සහයෝගය තහවුරු කළේය. මානව හිමිකම් සහ ප්‍රතිසන්ධානයට අදාළ අඛණ්ඩ මැදිහත්වීම පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා ජනාධිපතිවරයා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස් වොල්කර් ටර්ක් ද හමුවිය.

සංචාරය අතරතුරදී, විදේශ අමාත්‍ය හේරත් ගෝලීය සංවර්ධන මුලපිරීමේ (GDI) ඉහළ මට්ටමේ රැස්වීම, G77 සහ චීනයේ විදේශ කටයුතු අමාත්‍යවරුන්ගේ 49 වැනි වාර්ෂික රැස්වීම සහ ආසියාවේ අන්තර්ක්‍රියා සහ විශ්වාසය ගොඩනැගීමේ පියවර පිළිබඳ සමුළුවේ විදේශ කටයුතු අමාත්‍යවරුන්ගේ කවුන්සිලය ඇතුළු සංසද කිහිපයක් ඇමතීය.

අමාත්‍යවරයාගේ කටයුතුවලට, ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය කේ.ජයිශංකර්, මාලදිවයිනේ විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය අබ්දුල්ලා කලීල්, නෝර්වේ විදේශ කටයුතු අමාත්‍ය එස්පන් බාර්ත් අයිඩ්, ෆින්ලන්ත විදේශ කටයුතු අමාත්‍ය එලිනා මරියා වැල්ටොනන්, වෙනිසියුලාවේ විදේශ කටයුතු අමාත්‍ය ඉවාන් එඩ්වාඩෝ ගිල් පින්ටෝ සහ බෙලරුස් විදේශ කටයුතු අමාත්‍ය මැක්සිම් රයිෂෙන්කොව් සමඟ පැවැති ඉහළ මට්ටමේ ද්විපාර්ශ්වික සාකච්ඡා මාලාවක් ද ඇතුළත් විය.

ඔහු, ඉන්දුනීසියාවේ උප විදේශ කටයුතු අමාත්‍ය අර්මානතා ක්‍රිස්ටියාවන් නසීර් සහ ජර්මනියේ උප විදේශ කටයුතු අමාත්‍ය සෙරප් ගුලර් සමඟ අන්‍යෝන්‍ය උනන්දුවක් දක්වන කරුණු සහ ගෝලීය අභියෝග පිළිබඳව තවදුරටත් සාකච්ඡා කළේය. දේශපාලන කටයුතු පිළිබඳ එක්සත් ජනපද නියෝජ්‍ය රාජ්‍ය ලේකම් ඇලිසන් හූකර් සමඟ ද අමාත්‍යවරයා සාකච්ඡාවක් පැවැත්වීය.

මීට අමතරව, ශ්‍රී ලංකාව ගෝලීය වෙළඳ පද්ධතියට ඒකාබද්ධ කිරීම, ශක්තිමත් කිරීම සහ ජාත්‍යන්තර වෙළඳාමේ බහුපාර්ශ්වික ආයතන ශක්තිමත් කිරීමේ අවශ්‍යතාවය පිළිබඳව අමාත්‍ය හේරත් මහතා ලෝක වෙළෙඳ සංවිධානයේ (WTO) අධ්‍යක්ෂ ජනරාල් එන්ගෝසි ඔකොන්ජෝ-ඉවාලා හමුවිය.

අමාත්‍යවරයා එක්සත් ජාතීන්ගේ ආර්ථික හා සමාජ කටයුතු පිළිබඳ නියෝජ්‍ය මහලේකම් ලී ජුන්හුවා සහ සාම සාධක මෙහෙයුම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ නියෝජ්‍ය මහලේකම් ෂෝන්-පියෑර් ලැක්‍රොයි සමඟ ද රැස්වීම් පැවැත්වීය.

මෙම සංචාරය, ගෝලීය වේදිකාව තුළ ශ්‍රී ලංකාවේ ක්‍රියාකාරී හා ඵලදායී සම්බන්ධතාවය නැවත තහවුරු කළ අතර සාමය, සංවර්ධනය සහ බෙදාගත් සමෘද්ධිය සඳහා වන ශ්‍රී ලංකාවේ හවුල්කාරිත්වයන් ශක්තිමත් කළේය.

ජනාධිපති දිසානායක සහ අමාත්‍ය හේරත් විසින් ශ්‍රී ලාංකික ඩයස්පෝරාවේ සාමාජිකයන් සමඟ නිව්යෝර්ක් වෙත සිදුකළ සිය ඵලදායී සංචාරය අවසන් කළහ. ත්‍රෛ-පාර්ශවීය ප්‍රදේශයෙන් සහ එක්සත් ජනපදයේ අනෙකුත් ප්‍රදේශවල සිට පැමිණි ශ්‍රී ලාංකිකයින් සංඛ්‍යාව ඇතුළුව, එක්සත් ජනපදයේ සංචාරය කරන ශ්‍රී ලාංකික රාජ්‍ය නායකයෙකු පිළිගැනීම සඳහා පැවති විශාලතම ශ්‍රී ලාංකිකයන්ගේ රැස්වීම ලෙස එය සනිටුහන් විය. එය ශ්‍රී ලංකාව සහ එහි විදේශීය ප්‍රජාව අතර පවතින ශක්තිමත් බැඳීම පෙන්නුම් කළේය.

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය

කොළඹ

2025 සැප්තැම්බර් 26 වැනි දින

Please follow and like us:

Close