ජනාධිපති අනුර කුමාර දිසානායක ජර්මානු නිල සංචාරය නිමා කරයි.

ජනාධිපති අනුර කුමාර දිසානායක ජර්මානු නිල සංචාරය නිමා කරයි.

ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් 2025 ජුනි 11 සිට 13 වැනි දින දක්වා ජර්මානු ෆෙඩරල් ජනරජයේ නියැලි පළමු නිල සංචාරය, ද්විපාර්ශ්වික දේශපාලන රැස්වීම්, ව්‍යාපාරික වටමේස සාකච්ඡාවක් සහ ජර්මානු සංචාරක කර්මාන්තකරුවන් සමඟ හමුවකින් සාර්ථකව අවසන් විය.

ජර්මානු ජනාධිපති ෆ්‍රෑන්ක් වෝල්ටර් ස්ටයින්මියර්ගේ ආරාධනාවකට අනුව ජනාධිපති දිසානායක මෙම සංචාරයේ නිරත වූ අතර, 2025 ජුනි 11 වැනි දින බර්ලිනයේ බෙල්වීව් මාලිගයේදී ජර්මානු සන්නද්ධ හමුදාවන් විසින් පිරිනමන ලද ගෞරව සම්මාන පෙළපාලියකින් උත්සවාකාරයෙන්  ඔහු පිළිගනු ලැබිණි.

දෙරට අතර පවතින සුහද ද්විපාර්ශ්වික සම්බන්ධතාව තවදුරටත් ශක්තිමත් කිරීම සහ වෘත්තීය පුහුණුව සහ සංචාරක කර්මාන්තය වැනි ක්ෂේත්‍රවල නැගී එන ආර්ථික අවස්ථා උපයෝගී කර ගැනීම කෙරෙහි රාජ්‍ය නායකයෝ දෙදෙනා ද්විපාර්ශ්වික සාකච්ඡා අතරතුරදී අවධානය යොමු කළහ. ජනාධිපති දිසානායක, ශ්‍රී ලංකාවේ මෑත කාලීන වර්ධනයන්, එනම් ආර්ථික ස්ථායිකරණය සහ ප්‍රතිසන්ධාන ප්‍රයත්න සහ ඉදිරි ආර්ථික සංවර්ධන ක්‍රියාමාර්ග පිළිබඳව ජර්මානු ජනාධිපතිවරයාට පැහැදිලි කළේය.

මෙම සංචාරය අතරතුර, ජර්මානු විදේශ අමාත්‍ය ආචාර්ය ජොහාන් වඩෆුල් සහ ජර්මානු ආර්ථික සහයෝගීතාව සහ සංවර්ධන ෆෙඩරල් අමාත්‍ය රීම් අලබලි-රඩොවන් මහත්මිය ජනාධිපති දිසානායක හමුවූහ. ජර්මානු විදේශ අමාත්‍ය ආචාර්ය වඩෆුල් සමඟ පැවැති සාකච්ඡාවලදී, දෙරට අතර වර්ධනය වන ද්විපාර්ශ්වික හුවමාරු වර්ධනය කිරීම, ආර්ථික ස්ථායීකරණ ප්‍රයත්න, ජර්මානු ආයෝජන වැඩි දියුණු කිරීම, යුරෝපා සංගමය සමඟ GSP ප්ලස් වෙළෙඳ පහසුකම සහ බහුපාර්ශ්වික ක්ෂේත්‍රයේ සහයෝගීතාව ශක්තිමත් කිරීම කෙරෙහි අවධානය යොමු විය.

අමාත්‍ය අලබලි-රඩොවන් සමඟ පැවැති හමුවේදී, ජනාධිපති දිසානායක විසින් වසර 65 කට වැඩි කාලයක් මුළුල්ලේ රටට ප්‍රතිලාභ සලසා දී ඇති ජර්මානු සංවර්ධන සහය අගය කරනු ලැබූවේ ගාල්ලේ ජර්මානු-ශ්‍රී ලංකා මිත්‍රත්ව මාතෘ රෝහල සහ කිලිනොච්චියේ ජර්මානු තාක්ෂණික පුහුණු ආයතනය මෑත කාලීන උදාහරණ ලෙස දක්වමිනි. අනාගත ව්‍යාපෘති, විශේෂයෙන් වෘත්තීය අධ්‍යාපනය සහ පුහුණු අවස්ථා පුළුල් කිරීම පිළිබඳවද සාකච්ඡා පැවැත්විණි.

මෙම සංචාරය අතරතුර, ජර්මානු ආර්ථික කටයුතු සහ බලශක්ති පිළිබඳ ෆෙඩරල් අමාත්‍යාංශයේ රාජ්‍ය ලේකම් ආචාර්ය තෝමස් ස්ටෙෆන්, ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් හමුවී ශ්‍රී ලංකාවේ මෑත කාලීන ආර්ථික ප්‍රගතිය, වැඩිදියුණු කළ දේශපාලන ස්ථාවරත්වය සහ වඩාත් ආයෝජක-හිතකාමී පරිසරයක් නිර්මාණය කිරීම සඳහා රජය දරන අඛණ්ඩ ප්‍රයත්න පිළිබඳව සාකච්ඡා කළේය.

නැගී එන ක්ෂේත්‍රවල සැලකිය යුතු අංශද ඇතුළත්ව දෙරට අතර ආර්ථික සහයෝගීතාව ශක්තිමත් කිරීම කෙරෙහි මෙම සංචාරයේදී ප්‍රධාන වශයෙන් අවධානය යොමු විය. බර්ලින් නුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලය, ජර්මානු වාණිජ හා කර්මාන්ත මණ්ඩලය  සහ ජර්මානු ආසියා-පැසිෆික් ව්‍යාපාරික සංගමය විසින් සංවිධානය කරන ලද ජර්මනියේ වාණිජ හා කර්මාන්ත මණ්ඩල සංගම් මූලස්ථානයේ පැවැති ව්‍යාපාරික සංසදයක් අමතමින්, ශ්‍රී ලංකාව ආයෝජන සඳහා හිතකර, විනිවිදබාවයෙන් යුතු ව්‍යාපාරික පරිසරයක් ලෙස වර්ධනය කරන බව ජනාධිපති දිසානායක අවධාරණය කළ අතර, ශ්‍රී ලංකාවේ සංවර්ධන විභවය සහ උපායමාර්ගික පිහිටීමෙන් ලැබී ඇති අවස්ථාවන් ප්‍රයෝජනයට ගන්නා ලෙස ඔහු ව්‍යාපාරික ප්‍රජාවට ආරාධනා කළේය.

බැහැර සංචාරක ව්‍යාපාරය කෙරෙහි අවධානය යොමු කළ ජර්මනියේ ප්‍රධාන සංචාරක කර්මාන්ත සංගම් සමඟ පැවැති රැස්වීමකදී, ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයේ තිරසර ස්වභාවය ආරක්ෂා කිරීම සහ මෙම  වැදගත් කර්මාන්තයේ අඛණ්ඩ වර්ධනය සහතික කිරීම සඳහා මානව සම්පත් සංවර්ධනය වැනි බාධකවලට විසැඳුම් ලබා දීම සඳහා රජය සතු සැලසුම් පිළිබඳව ජනාධිපතිවරයා පැහැදිලි කළේය. සංචාරක කර්මාන්තයේ ආයෝජනයට අදාළ අංශ පිළිබඳවද ජනාධිපතිවරයා සාකච්ඡා කළේය.

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත්; ජර්මනියේ ශ්‍රී ලංකා තානාපතිනි වරුණි මුතුකුමාරණ; විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශයේ යුරෝපා සහ උතුරු ඇමරිකා අංශයේ අධ්‍යක්ෂ ජනරාල් සුගීෂ්වර ගුණරත්න; ආයෝජන මණ්ඩලයේ සභාපති අර්ජුන හේරත්; සහ රජයේ තවත් ජ්‍යෙෂ්ඨ නිලධාරීහු ජනාධිපතිතුමා සමඟ මෙම රැස්වීම්වලට සහභාගී වූහ.

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය

කොළඹ

2025 ජුනි 14 වැනි දින

Please follow and like us:

Close